තව ද ඒ ඒ දෙය කැමැති විමෙන් වන අත්‍රිච්ඡතාව ද බොහෝ කොට කැමති වීමෙන් වන මහිච්ඡතාව ද අසන්ත ගුණ සම්භාවනා වශයෙන් පැවැති පාපිච්ඡතාව ද හැර චීවාරාදී වූ චතුර්විධ ප්‍රත්‍යයෙහි ද්වාදස විධ ආර්‍ය්‍ය සන්තොෂයෙන් සන්තුෂ්ට ව අපිස් ව විසීමෙහි අනුසස් දක්වනු පිණිස නිගම තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
සැවැත් නුවරට නුදුරු ව එක් නියම් ගමෙක උපන් වැඩිකුල දරුවාණ කෙනෙක් බුදු සස්නෙහි ළ දී මහණ ව උපසම්පදාව ත් ලදින් වස් පිරී නියම් ගම් තිස්ස තෙරුන් වහන්සේ ය යි ප්‍රසිද්ධ ව අපිස් සතොස් ව වසන සේක. උන් වහන්සේ එක්වන් නෑයන් ගේ ගම ම සිඟා වළඳා වැඩ හිඳිනා සේක. අනේපිඬු මහ සිටු ආදීන් මහ දන් දෙන කල ත් කොසොල් මහ රජ්ජුරුවන් නුවර ඇත්තවුන් වඩන්ට ය. නුවර වැස්සන් කොසොල් රජ්ජුරුවන් වඩන්ට ය යි මෙ සේ දන් දෙන කල ත් ඔළ ගොසිනු ත් යැපෙන පමණක් ම වේ දැ යි සැවැත් නුවරට නො වඩනා සේක. වහන්දෑ ද මුන් වහන්සේ නො වඩනා ම හෙයින් ‘නිගමතිස්ස තෙරුන් වහන්සේ සිවුරු පෙරවා ත් නෑයන් හා ම හැදී වසන හෙයින් කෙසේ වූ විට ත් සැවැත් නුවරට නො වඩනා සේකැ’යි කථාව ත් ඉපද වූ සේක.
බුදුහු ඒ අසා ඔබගේ අදහස යහපත් නියා ව දනිත ත් ඔබ ගෙන්වාලා ‘සැබෑ ද තෙපි නෑයන් අත්හැර නොයවුදැ’යි විචාරා ‘ස්වාමීනි, මා නෑයන් හා එක්වීමෙක් නැත. මා උන්ගෙන් යැපෙන පමණෙකින් වඩා ලබන දෙයක් නැත. යහපත් වත් කිම? නපුරුත් කිම ? යැපෙන පමණක් ලත් කල නැවත සිඟීමෙන් කම් කිම් දැ යි සිතා නොයෙමී’ කී කල්හි අනල්ප කල්ප කොටි ශත සහශ්‍රයෙක පුරන ලද වාක් සුචරිතානුභාවයෙන් පැරුම් ජල භරිත සර්‍වඥ විල්හි හට ගත් ජිව්හා නමැති පද්ම කර්ණිකාවක් ඇති, දන්ත ශ්‍රෙනි නමැති කුඩා පෙති ඇති, ඔෂ්ඨ යුග්ම නමැති මහ පෙති ඇති, සර්‍වඥතා ඥාන නමැති හිරු රැස් ගැසී ප්‍රබුද්ධ වූ සද්ධර්‍ම මධු ඇති, බින්දූන් වහනය කරණ චතුර් විධ විනෙය ජන නමැති බමරුන් විසින් ගැවසී ගත් මුඛ පද්ම ය විවෘත කොට තුන් විටක් සාධුකාර දෙවා වදාරා ම ‘මා බඳු වූ ඇදුරකු ලදින් මූ අපිස් වීම විස්මය නො වෙයි.
“මේ අපිස් බව නම් මා ගේ ම ප්‍රවෙණි ය’යි වදාරා භික්ෂූන් වහන්සේ ඒ කෙ සේ දැ යි විචාළ කල්හි ‘යට ගිය දවස හිමවු පියස ගඟක් බඩ එක් දිඹුල් වනයෙක නොඑක් දහස් ගණන් ගිරවු වෙසෙති. ඉන් ගිරා රජ්ජුරුවෝ තමන් හිඳිනා දිඹුල් ගස ඵල නිමි කල්හි දළු වේව යි සුඹුළු වේව යි ඒ කාලා ගඟින් පැන් බීලා අපිස් ව අනික් තෙනකට නො යෙති. උන්ගේ ගුණ මහිමයෙන් පඬු ඇඹුල් සල හස්න හුණු වී ය. ශක්‍රයෝ ද විමසන්නෝ එපවත් දැන උන් විමසන පිණිස තමන්ගේ ආනුභාවයෙන් ගිරා රජ්ජුරුවන් වසන දිඹුල් ගස මරා පූ ය. ගසත් කණු පමණෙක් ව සිදුරු ව ගොසින් සුළං පහළ කල හඬ හඬා සිටී. ගස් සිදුරෙන් සුණු වැගිරෙයි. ගිරා රජ්ජුරුවෝ ඒ සුණු ත් කා ලා ගඟින් පැන් බී ලා අනික් තෙනකට නො ගොසින් අවු සුළං නො සලකා දිඹුල් කණුව මත්තේ හිඳිති. ශක්‍රයෝ ගිරවාණන් ඉතා අපිස් නියාව දැන මිත්‍ර ධර්මයෙහි ගුණ කියවා ගෙන වර ද දීලා දිඹුල් ගස අමා ඵල ගන්වා එමී සිතා ගොසින් කථා කොට වර දුන් නියාව ත් අමා ඵල ගන්වා එමී සිතා ගොසින් කථා කොට අමා ඵල ගැන්වූ නියාව ත් වදාරා ‘එ කල ශක්‍රයෝ නම් අනඳ මහ තෙරහු ය. ගිරා රජ්ජුරුවෝ නම් මම ය.
“එ හෙයින් අල්පෙච්ඡතාව නම් මාගේ ප්‍රවෙණි ය’ යි වදාරා අනික් උපදෙශක කෙනකුන් නැති ව ගිරා ව උපන් මා එ ලෙස කළ කල මාගේ උපදේශයෙන් මුන් මෙ ලෙස කිරීම විස්මය නොවෙයි. මේ වැන්නෝ ලැබ ගත් ගුණ විශේෂයෙන් පිරි හෙන්නෝ ත් නො වෙති. නො පැමිණියා වූ මාර්‍ග ඵලයට නො පැමිණෙන්නෝ ත් නො වෙති. යම් සේ. සත් පුරුෂයෝ කෙ තෙක් දුර හුණ ත් බුදුන්ට ළඟ ද එ මෙන් මොහු ත් නිවනට ළං ව සිටිතී’ වදාළ සේක. බණ නිමි කල මෙම ලබනු නිසා මෙ තෙක් කල් නො ගියා සේ නිගම තිස්ස තෙරුන් වහන්සේ අත්‍ථ පටිසම්භිදා ය, ධම්ම පටිසම්භිදා ය, නිරුත්ති පටිසම්භිදා ය. පටිභාණ පටිසම්භිදාය යන මේ හා සමඟ රහත් වූ සේක. සෙසුත් බොහෝ දෙන සෙදගැමි, අනගැමි, රහත් වූහ.
එ හෙයින් සත් පුරුෂ තැන් විසින් අධිගමප්පිච්ඡතාව ඇතිවන්ට අධිගම කාලයක් නොවන හෙයින් එ කුම් වූව ත් ආගමප්පිච්ඡතා-ධුතඞ්ගප්පිච්ඡතා- පච්චයප්පිච්ඡතා ඇති ව කුසල් පුරා ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.