33. එක්තරා භික්ෂු කෙනකුන් ගේ වස්තුව

star_outline

තව ද නො‍ පමා බව අනුසස් දක්වනු සඳහා එක්තරා භික්ෂු කෙනකුන් ගේ වස්තුව මෙ තැන්හි දක්වමු. කෙසේ ද යත්:

එක්තරා භික්ෂු කෙනකුන් වහන්සේ බුදුන්ගෙන් රහත්වීම දක්වා කමටහන් ඉගෙන ගෙන වලට ගොසින් බොහෝ යත්න කොට ත් නුවණ මුහුකුරා නො ගිය හෙයින් ගුණ විශේෂයක් ලද නොහී ‘කමටහනෙහි අවුල් හැර කියවා ගනිමී’ බුදුන් ළඟට එන සේක් අතුරු මඟදී මහත් ලැව් ගින්නක් දැක වහ වහා එක් ගස් කොළ නැති මුඬු ගලකට නැඟී ලා උන් සේක. වල දවන්නා වූ ලැව්ගින්න දැක ‘යම් සේ මේ ගින්න කුදු මහත් දෙය දවමින් දිවේ ද, එ සේ ම අර්හත් මාර්‍ගඥාන නමැති ගින්න ත් බොල් වීමෙන් මහත් වූ ත් තුනී වීමෙන් කුඩා වූ ත් කෙලෙසුන් දැවිය යුතු ය’යි සිතූ සේක.

බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ ම ඔබගේ අදහස දැන රස් කඳක් විහිදුවා උන් වහන්සේ ලවා ලඟට වැඩියා කොට සිතවා ගෙන එම්බල මහණ, තා සිතූ නියාව යහපත. යම් සේ වල වැදගත් ගින්න නිවාලිය හැකි ගින්නක් නො ව ලැව් ගිනි හෙයින් දන්නට නිසි සියල්ලක් නො තෝරා දවා නිමවා ද? එ පරිද්දෙන් අර්හත් ඵල මාර්‍ගඥාන නැමැති ගින්න ත් සව් කෙලෙස් නමැති කසළ දවාපිය’යි වදාළ සේක. ඒ බණ කෙළවර ගල් මුදුනේ වැඩහුන් භික්ෂූන් වහන්සේ ද ලැව් ගින්නෙන් ගල් පාවුල වූ කසළ දෑවා සේ රහත් මඟ නුවණ නමැති ගින්නෙන් කෙළෙස් කසළ දවා නිකෙලෙස් ව සිව් පිළිසිඹියා පත් රහත් ව ආසින් වැඩලා ත් රහත් ගුණට බුදු ගුණයෙන් වැඩී සිටි බුදුන් වැඩ වසන තැනට නික්මුණු සේක.

සත් පුරුෂයන් විසින් නරක ගින්නෙන් දන කුදු මහත් සතුන්ගේ දුක් අසා මේ ජාතියෙහි සිද්ධ කොට නොහෙත ත් අන් භාවයෙහි උපස්තම්භ වනු නිසා භාවනාභියෝග කටයුතු.