341. කාශ්‍යපාදි සූවිසි බුදුවරයන්ගේ සංක්ෂිප්ත ජීවන චරිත

star_outline

1. කසුබ් බුදුන් උපන් නුවර බරණැස් නම. පිය වූ බමුණු උතුමාණෝ බ්‍රහ්මදත්ත නම්හ. මවු බ්‍රාහ්මණීහු ධනවතී නම්හ. දකුණත් සවු නම තිස්ස නම් සේක. වමත් සවු නම භාරද්වාජ නම් සේක. උවටා නම සබ්බමිත්ත නම් සේක. අග්‍රශ්‍රාවිකා තැනින් දකුණත් සවු නම අනුලා නම්හ. වමත් සවු නම උරුවෙලා නම්හ. බෝධි වූයේ නුග ගසෙක. උසින් වඩුවෙන් විසි රියන් වන සේක. බුදු ව විසි දහසක් හවුරුදු ජීවත් වූ සේක.

2. කෝණාගමන නම් බුදුන් උපන් නුවර සෝභවතී නම්හ. පියවූ බමුණු උතුමාණෝ යඤ්ඤදත්ත නම්හ. මවු බැමිණිනියෝ උත්තරා නම්හ. අග සවු දෙනමින් දකුණත් සවු නම භියස[1] නම් සේක. වමත් සවු නම උත්තර නම් සේක. උවටා තෙරුන් වහන්සේ සොත්ථිජ නම් සේක. අග්‍රශ්‍රාවිකා තැනින් දකුණත් සවු මෙහෙණින්නෝ සමුද්දා නම්හ. වමත් සවු මෙහෙණින්නෝ උත්තරා නම්හ. බෝධි වූයේ දිඹුල් ගසෙක. ඒ බුදුහු උසින් තිස් රියන් සේක. බුදු ව තිස් දහසක් හවුරුදු ජීවත් වූ සේක.

3. කකුසඳ බුදුන් උපන් නුවර ඛේම නම. පියවූ බමුණු උතුමාණෝ අග්ගිදත්ත නම්හ. මවු බැමිණිනියෝ විශාඛා නම්හ. විධුර නම් තෙරුන් වහන්සේ දකුණත් සවු සේක. සංජීව නම් තෙරුන් වහන්සේ වමත් සවු සේක. උපස්ථායක නම බුද්ධිජ නම් සේක. සාමා නම් මෙහෙණින්නෝ දකුණත් සවු වූහ. වමත් සවු මෙහෙණින්නෝ චම්පා නම්හ. බෝධි වූයේ මහරි ගසෙක. උසින් සතළොස් රියන් උස ඇති සේක. බුදු ව සතළිස් දහසක් හවුරුදු ජීවත් වූ සේක.

4. වෙස්සභූ නම් බුදුන් උපන් නුවර අනූපම නම. පිය මහ රජහු සුප්පතීත නම් හ. මවු බිසවු යසවතී නම්හ. සෝණ නම් තෙරුන් වහන්සේ දකුණත් සවු වූහ. වමත් සවු නම උත්තර නම් සේක. උවටා තෙරුන් වහන්සේ උපසන්ත නම් සේක. දාමා නම් වූ ත් සමලා නම් වූ ත් මෙහෙණින්නෝ දෙන්නෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. බෝධි වූයේ මහ සල් ගසෙක. උසින් සැටරියන් සේක. බුදු ව සැට දහසක් හවුරුදු ජීවත් වූ සේක.

5. සිඛී බුදුන් උපන් නුවර අරුණවතී නම. පිය මහ රජහු අරුණ නම. මවු බිසව ප්‍රභාවතී නම්හ. අභිභූ නම් තෙරුන් වහන්සේ දකුණත් සවු සේක. සම්භව නම් තෙරුන් වහන්සේ වමත් සවු සේක. උවටා තෙරුන් වහන්සේ ඛෙමඞ්කර නම් සේක. අඛිලා ය, පදුමා ය යන මෙහෙණින්නෝ දෙන්නෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ ඇටඹ ගසෙක. සැත්තෑ රියන්, පමණ උස ඇති සේක. බුදුව සැත්තෑ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

6. විපස්සී බුදුන් උපන් නුවර බන්ධුමතී නම. පිය මඟ රජහු බන්ධුමා නම්හ. මවු බිසවු බන්ධුමතී නම්හ. ඛන්ධ ය - තිස්ස ය යන තෙර සඟළෙක් අග සවු වූ සේක. අසෝක නම්

තෙරුන් වහන්සේ උපස්ථායක සේක. චන්ද්‍රා ය - චන්‍දමිත්තා ය යන මෙහෙණින්නෝ දෙන්නෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ පළලු ගසෙක. ඔබ උසින් අසූ රියනක් වූ සේක. බුදු ව අසූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

7. ඵුස්ස බුදුන් උපන් නුවර කසී නම. පිය මහරජහු ජයසේන නම්හ. මවු බිසවු සිරිමා නම්හ. සුරක්ඛිත ය-ධම්මසේන ය යන තෙර සඟළෙක් අග සවු වූ සේක. උපස්ථායක තෙරුන් වහන්සේ සභිය නම් සේක. සාලාය-උපසාලා ය යන මෙහෙණින්නෝ දෙන්නෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. බෝධි වූයේ ඇඹුලු ගසෙක. ඔබ අට පණස් රියන් උස ඇති සේක. බුදු ව අසූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

8. තිස්ස බුදුන් උපන් නුවර ඛේම නම් පිය මහ රජහු ජනසන්ධ නම් හ. මවු බිසවු පදුමා නම්හ. බ්‍රහ්මදෙව ය- උදය ය යන තෙර සඟළෙක් අග සවු සේක. සමඞ්ග නම් තෙර කෙනකුන් වහන්සේ උපස්ථායක සේක. ඵුස්සා ය-සුදත්තා ය යන මෙහෙණින්නෝ දෙන්නෙක් අග්‍රශ්‍රාවිකා වූහ. බෝධි වූයේ පියා ගසෙක. ඔබ උසින් සැට රියන් වූ සේක. බුදුව හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

9. සිද්ධාර්ථ බුදුන් උපන් නුවර වේහාර නම. පිය මහරජහු උදෙන නම්හ. මවු බිසවු සුඵස්සා නම්හ. සම්බල ය- සුමිත්ත ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් රේවත නම් සේක. සීලවා ය සුරාමා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍රශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ කිහිරි ගසෙක. සැට රියන් විචර උස ඇති සේක. හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

10. ධම්මදස්සි බුදුන් උපන් නුවර සරණ නම. පිය මහ රජහු ත් සරණ නම්හ. මවු බිසවු සුනන්දා නම්හ. පදුමය – ඵුස්සදේව ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සුනෙත්ත නම් සේක. ඛේමා ය - සබ්බනාමා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ රත් කරව් ගසෙක. උසින් අසූ රියන් සේක. හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

11. අත්‍ථදස්සි බුදුන් උපන් නුවර සෝභන නම. පිය මහ රජහු සාගර නම්හ. මවු බිසවු සුදස්සනා නම්හ. සන්ත ය – උප සන්ත ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ අභය නම් සේක. ධම්මා ය - සුධම්මා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ සපු ගසෙක. අසූ රියන් පමණ උස ඇති සේක. හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

12. පියදස්සී බුදුන් උපන් නුවර සුධඤ්ඤ නම. පිය මහ රජහු සුදත්ත නම්හ. මවු බිසවු චන්ද්‍රා නම්හ. පාලිත ය – සබ්බදස්සි ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සෝභිත නම් සේක. සුජාතා ය-ධම්මදින්නාය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. බෝධි වූයේ කුඹුක් ගසෙක. අසූ රියන් විචර උස් වූ සේක. අසූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

13. සුජාත නම් බුදුන් උපන් නුවර සුමඞ්ගල නම. පිය මහ රජහු උග්ගසෙන නම්හ. සුදස්සන ය-දෙව ය යන තෙර සඟළෙක් අග සවු වූ සේක. උවටා තෙරුන් වහන්සේ නාරද නම් සේක. නාගා ය - නාගසමාලා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ මහ හුණ ගසෙක. ඒ බුදුහු පණස් රියන් උස ඇති සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

14. සුමේධ බුදුන් උපන් නුවර සුදසුන් නම. පිය මහ රජහු සුදත්ත නම්හ. මවු බිසවු සුදත්තා නම්හ. සරණ ය - සබ්බකාමී ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සාගර නම් සේක. රාමා ය සුරාමා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ බක්මී ගසෙක. අට අසූ රියන් පමණ උස ඇති සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

15. පියුමතුරා බුදුන් උපන් නුවර හංසවතී නම, පිය මහ රජහු ආනන්‍ද නම්හ. මවු බිසවු සුජාතා නම්හ. දේවල ය - සුජාත ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සුමන නම් සේක. අමිතා ය - අසමාය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. සළල රුකෙක් බෝධි වි ය. ඔබ තමන් වහන්සේ අට පණස් රියන් උස ඇති සේක. දෙවුර හස්ස අටළොස් රියන. නළල පස් රියන. අතුල් දෙක ත් එකොළොස් එකොළොස් රියන.

ඔබට ආයු හවුරුදු ලක්‍ෂයක් හෙයින් ඒ හවුරුදු ලක්‍ෂ ය මුළුල්ලෙහි ම යම් තැනකට වඩිතො ත් ශ්‍රී පාදය පිළිගන්ට පොළොව පළාගෙන නැගෙන සුදු පියුමෙහි ත් රත් පියුමෙහි ත් ආස[2] සිටිනා මහ පෙති අනූ රියනෙක. කෙසුරු තිස් රියන. එකි එකී පියුමෙහි රේණු නව කළයක් විචර ය. එකොළොස් රියන් පතුල් වලින් දොළොස් රියන් පියුම් කෙමි නො විසිර රන් මර වැඩිවල සිටියා සේ වැඩ සිටි කලට නව කළයක් විචර රේණු ශ්‍රී පාදයේ පටන් සිරස දක්වා රන් පිළිමයක හිඟුල් රේඛා දෙන්නා සේ නැඟී ලා පෙරළා පියුමට බැස ගන්නි. වඩනා යම් තැනකට පියුම් මත්තෙන් ම වඩනා හෙයින් ඔබට ම එ නම තරම.

16. නාරද බුදුන් උපන් නුවර ධඤ්ඤවතී නම. පිය මහ රජහු සුදේව නම්හ. මවු බිසවු අනෝමා නම්හ. භද්දසාල ය - ජිත මිත්ත ය යන දෙ නමක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ වාසෙට්ඨ නම් සේක. උත්තරා ය–ඵග්ගුනී ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. බෝධි වූයේ මුරුත ගසෙක. ඔබ වූ කලි උසින් අටාසු රියන් වූ සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

17. පදුම බුදුන් උපන් නුවර රම්මක නම. පිය මහ රජහු අසම නම්හ. මවු බිසවූ අසමා නම්හ. සාලය-උපසාල ය යන තෙර සඟළෙක් අග සවු සේක. වරුණ නම් තෙර කෙනකුන් වහන් සේ උවටා සේක. රාමා ය-සුරාමා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ හුණ ගස ය. උසින් අට පණස් රියන් විතර උස ඇති සේක. හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

18. අනෝමදස්සී බුදුන් උපන් නුවර චන්‍දවතී නම. පිය රජහු යසවා නම්හ. මවු බිසවු යසොධරා නම්හ. නිසභ ය – අනොම ය යන තෙර සඟළෙක් අගසවු වූ සේක. සුන්දරී ය – සුමනා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. බෝධි වූයේ කුඹුක් ගසෙක. ඔබ උසින් අට පණස් රියන් සේක. හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

19. සෝභිත බුදුන් උපන් නුවර සුධම්මා නම්. පිය මහ රජහු ත් සුධර්ම නම්හ. මවු බිසොවුත් සුධර්මා නම්හ. අසම ය සුනෙත්තය යන තෙර සඟළෙක් අග සවු වූ සේක. උවටා තෙරුන් වහන්සේ අනෝම නම් සේක. නකුලා ය සුජාතා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ නා ගසෙක. ඒ බුදුහු අට පණස් රියන් සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

20. රේවත බුදුන් උපන් නුවර සුධඤ්ඤක නම. පිය මහ රජහු විපුල නම්හ. මවු බිසවු විපුලා නම්හ. වරුණය, බ්‍රහ්මදෙවය යන තෙර සඟලෙක් අග සවු සේක. සමභව නම් තෙර කෙනකුන් වහන්සේ උවටා සේක. භද්දා ය, සුභද්දා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට ත් බෝධි වූයේ නා ගසෙක. ඔබ වූ කලි අසූ රියන් සේක. සැට දහසක් හවුරුදු ජීවත් වූ සේක.

21 සුමන බුදුන් උපන් නුවර මේඛලා නම. පිය මහ රජුහු සුදත්ත නම්හ. මවු බිසවු සිරිමා නම්හ. සරණය, භාවිත ය යන තෙර සඟළෙක් අගසවු වූ සේක. උවටා තෙරුන් වහන්සේ උදේන නම් සේක. සෝණා ය, උප සෝණා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට ත් බොධි වූයේ නා ගසෙක. උසින් අසූ රියන් සේක. අනූ දහසක් හවුරුදු ජීවත් වූ සේක.

22 මඞ්ගල බුදුන් උපන් නුවර උත්තර නම්. පිය මහ රජහු ත් උත්තර නම්හ. මවු බිසවුත් උත්තරා නම්හ. සුදේව ය, ධම්මසේන ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ පාලිත නම් සේක. සීවලා ය, අසෝකා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට ත් බෝධි වූයේ නා ගසෙක. උසින් අටාසූරියන් සේක. අනූ දහසක් භවුරුදු ජීවත් වූ සේක.

23. කොණ්ඩඤ්ඤ බුදුන් උපන් නුවර රම්මවතී නම. පිය මහ රජහු සුනන්‍ද නම්හ. මවු බිසවු සුජාතා නම්හ. භද්දය, සුභද්ද ය යන තෙර සඟළෙක් අග සවු සේක. අනුරුද්ධ නම් තෙර කෙනකුන් වහන්සේ උවටා සේක. තිස්සා ය, උපතිස්සා ය යන මෙහෙණින්නෝ දෙ දෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ සල් කලණ ගසෙක. අට අසූ රියන් පමණ උස ඇති සේක. හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

24. දිවකුරු බුදුන් උපන් නුවර රම්මවතී නම. පිය මහ රජහු සුදේව නම. මවු බිසවු සුමේධා නම්හ. සුමඞ්ගල ය, තිස්ස ය යන තෙර සඟළෙක් අග සවු සේක. උවටා තෙරුන් වහන්සේ සාගත නම් සේක. නන්‍දා ය, සුනන්‍දා ය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වූහ. ඔබට බෝධි වූයේ පුලිල ගසෙක. උසින් ඔබ අටාසූ රියන් සේක. හවුරුදු ලක්‍ෂයක් ජීවත් වූ සේක.

  1. හීයොස

  2. අස