340. සංක්‍ෂිප්ත ගෞතම බුද්ධ චරිතය

star_outline

කෙලෙස් සතුරන් හා සටනත් ප්‍රයෝග බලයකින් මුත් නිකම් කට නො හැක්ක යි සිතා සමථ භාවනා විදර්ශනා භාවනා නමැති යුද්ධ ප්‍රයෝගත් දැන ගෙන කෙලෙස් නමැති සතුරන් විදිනා අකුසල් නමැති හී දඬු ඇඟ වැද නොගන්නා නිසා සිල් නමැති සන්නාහ ලා ගෙන නුවණ නමැති අසුන් නැඟී සමථ හස්තයෙන් අර්පණා ඵලකය විදර්ශනා හස්තයෙන් මාර්‍ග ඥාන නමැති කඩුව හැර ගෙන බල ධර්ම නමැති සෙනඟ පිරිවරා කෙලෙස් රණ බිම් වැද කෙලෙස් සතුරන් නසා අසංඛ්‍ය ගණනුත් රඳා හිඳිනට අවසර ඇති නිවන් රට සාදා ගෙන සාදා ගත් නිවන් රට පිහිටි සිවු පිරිසිදු සිල් නමැති කෙලෙස් සතුරන් වැද්ද නොහැකි අගළ ඇති සවිතර්ක සවිචාර සමාධි ය, අවිතර්ක අවිචාර සමාධි ය, සප්‍රීතික සමාධි ය, නිප්‍රීතික සමාධි ය, උපචාර සමාධි ය, අර්පණා සමාධිය, මාර්‍ගසමාධි ය, ඵලසමාධි ය යි කියන ලද සමාධි නමැති බඹ ලොවට වුවත් උස ඇති මහ පවුරක් ඇති, චතුර් විධ වූ ආර්‍ය්‍ය මාර්‍ග නමැති වාසල් සතරක් ඇති, ඵල සම වත් නමැති අට්ටාල ඇති, සිහිවටන් නමැති වීථි ඇති චතුරාර්ය සත්‍ය නමැති අංගාණි ඇති, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම නමැති රුවන් තබා විකුණන සල්පිල් ඇති -

අබුද්ධෝත්පාද කාලයෙක සිස්වත් බුද්ධෝත්පාද කාලයෙක අරී පුඟුලන් ගෙන් පිරී සිටිනා නිවන් මහ නුවරට වදනා ගමන සර්වඥ නමැති හිමාලය පර්‍වතයෙන් හී නිවන් මහ මුහුදට ගොසින් වන් අෂ්ටාංගික මාර්‍ග නමැති පැණින් පිරුණු පර්යාප්ති-ප්‍රතිපත්ති නමැති මෙ තෙරක් ඇති, ප්‍රතිවේධ නමැති එ තෙරක් ඇති, සදහම් නමැති මහ ගඟින් නා පියා චතුර් විධ ආර්‍ය්‍ය‍ මාර්‍ග නමැති වාසල්වලින් වැද විවසුන් මහ වෙය හොස්සේ ගොසින් එම නිවන් නුවර පිහිටි විවසුන් නමැති තීර ලේඛා ඇති, අෂ්ටාංගික මාර්‍ග ජලයෙන් පිරී සිටිනා පඤ්චවිධ විමුක්ති නමැති පස් පියුමෙන් සුසන්තර සිහිවටන් ආදී වූ දහම් නමැති මසුන් ඇති, නිවන් පොකුණේ පැන් බී ගෙන, හිරි-ඔතප් නමැති සළු හැඳ, සිල් නමැති සුවඳ විලවුන් ගෙන, ශ්‍රද්ධාදී ගුණ ධර්ම නමැති ආභරණ ලා සැරහී ගෙන, බල ධර්ම නමැති සෙනඟ පිරිවරා, දහසක් නය නමැති ඇමැත්තන් පිරිවරා, මෙත්තා කරුණාදී ගුණ ධර්ම නමැති පුරඟනන් හා සමඟ, කුශල ධර්ම නමැති භට්ටවරුන් ලවා, කීර්ති නමැති ආශීර්වාද කරවමින් එ නුවර පිහිටි ඉද්ධිපාද නමැති ටැම් ඇති, ඍධිය නමැති පේකඩ ඇති, ආයතන නමැති දැව වළලු ඇති, ධාතු නමැති පෝරු ඇති, සෙසුත් ලොවුතුරා දහම් නමැති සඟල සඟාලියම් උඩුමාල් පා ගොනැස් පූට්ටු ආදි ය ඇති, නව ලොවුතුරා දහම් නමැති නව මාල් පායේ අට වැනි මාලට නැඟී ලා-

තුන් ලෝ පතල කීර්ති නමැති ධවලච්ඡත්‍ර ය යට පනවන ලද අර්හත් ඵල විමුක්ති යහනෙහි හිඳ ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලයෙහි ධැමින් සෙමින් උපන් සතර පසයෙහි ලෝභ-ද්වේෂ-මෝහ දුරු කොට නා මනා මඳ බොහෝ නො ඉල්වා සසර කතර ගෙවන්ට කාරණ සලකා පස් විකීමෙන් අපගේ බුදුහු ගිහි අවස්ථාවෙහි පිය මහ රජුන් විසින් කරවා දුන් රම්ම ය, සුරම්ම ය, සුභ ය යන මාළිගා තුනෙහි බිම්බා බිසොවුන් ප්‍රධාන වූ සතළිස් දහසක් පුරඟනන් පිරිවරා ශක්‍ර සම්පත් විඳ කුසී ව මිනිස් සම්පත් විඳිනට බට ශක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන් විසි නව හවුරුද්දක් ගිහි සැපත් වළඳා මහණ වීම කල් යන හෙයින් පැරුම් නමැති රජ දරුවන් ගෙන් මහණ වන්ට විධානයේ ආ බාල කෙනකු මෙන් බිම්බා බිසොවුන් කුසින් රහල් කුමරුන් උපන් දවස් ම අස් වාහනයකින් ගොසින් මහණ ව සාවුරුද්දක් බුදු වන්ට වීර්‍ය්‍ය කොට බුදු වය්‍ය -

බුදු වන දවස් කිරි බතක් දෙමී පතා කප් ලක්‍ෂයක් පින් කළාවූ සේනානී නම් නියම් ගම සිටාණන්ගේ දූ වූ සුජාතා නම් වූ සිටු දුවණියන් පිසන කිරි බතට කිරි ඝන කරණු නිසා දෙනුන් දහසක් සතියක් මුළුල්ලෙහි වැල්මී වෙනෙහි කවා ගෙට බණවා ගෙන දහස දෙ භාග කොට පන්සියයක් දෙනුන්ගේ කිරි දෙවා ගෙන අනික් දෙනුන් පන්සියයට පොවා පියා කිරි පූ දෙනුන් පන්සිය ය තව ත් සතියක් වැල්මී වෙනෙහී කවා ගෙට බණවා ගෙන පන් සිය ය දෙභාග කොට දෙනුන් දෙ සිය පනසකගේ කිරි දෙව ගෙන අනික් දෙසිය පනස පොවා පියා කිරි පූ දෙනුන් දෙසිය පණස තව ත් සතියක් වැල්මී වෙනෙහි කවා ගෙන ගෙට බණවා ගෙන දෙ සිය පණස දෙ භාග කොට එක් සිය පස් විස්සක් දෙනුන් ගේ කිරි දෙව ගෙන අනික් එක් සිය පස්විස්ස පොවා පියා කිරි පූ දෙනුන් තව ත් සතියක් වැල්මී වෙනෙහි කවා ගෙට බණවා ගෙන එක් සිය පස් විස්ස දෙ භාග කොට දෙ සැටක් හා තෙ සැටක් තෝරා ලා දෙනුන් තෙ සැට දෙනාගේ කිරි දෙව ගෙන දෙසැටක් දෙනුන් පොවා පියා කිරි පූ දෙනුන් දෙ සැට දෙනා තව ත් සතියක් වැල්මී වෙනෙහි කවා ගෙට බණවා ගෙන දෙ සැට දෙනා සම භාග කොට එක් තිස් දෙනකුගේ කිරි දෙව ගෙන අනික් එක් තිස් දෙනා කිරි පොවා ලා-

කිරි පූ දෙනුන් එක් තිස් දෙනා තව ත් සතියක් වැල් මී වෙනෙහි කවා ගෙට බණවා ගෙන සම භාග ව බැරි හෙයින් පසළොසක් හා සොළසක් තෝරා ලා සොළොස් දෙනාගේ කිරි දෙව ගෙන දෙනුන් පසළොස් දෙනාට පොවා ලා, කිරි පූ දෙනුන් පසළොස් දෙනා තව ත් සතියක් වැල්මී වෙනෙහි කවා ගෙට බණවා ගෙන සත් දෙනකු හා අට දෙනකු තෝරා ගෙන අට දෙනාගේ කිරි දෙව ගෙන දෙනුන් සත් දෙනාට පොවා ලා, කිරි පූ දෙනුන් සත් දෙනා තව ත් සතියක් වැල්මී වෙනෙහි කවා ඒ දෙනුන් සත් දෙනා ගෙට බණවා ගෙන දෙනුන් පන් සියයකගේ කිරි ත් දෙසිය පණසකගේ කිරි ත් එක් සිය පස් විස්සකගේ කිරි ත් දෙ සැටක් දෙනුන්ගේ කිරි ත් එක් තිස් දෙනාගේ කිරි ත් සොළොස් දෙනකු ගේ කිරිත් අට දෙනකුගේ කිරිත් යයි නව සිය තෙයානූවක් වන ගණනේ දෙනුන්ගේ කිරි ස පණස් දවසක් ඇතුළත මේ දෙනුන් සත් දෙනා පූ හෙයින් කිරි ඝන වූ හෙයිනුත් පිට පිට හෙළා පණස් දවසක් වැල්මී වෙනෙහි කෑමෙන් මියුරු වූ හෙයිනු ත් ඒ දෙනුන් සත් දෙනාගේ කිරින් පිස පිළිගන්වන ලද කිරි බත් වෙසඟ මැදි පොහෝ දවස් වළඳා ලා බුදු වූ සේක.

ඔබ උපන් නුවර කිඹුල් වත් නම. පිය මහ රජහු සුදොවුන් නම්හ. මවු බිසවු මහාමායා නම්හ. දකුණ ත් සවු නම සැරියුත් නම් සේක. වම ත් සවු නම මුගලන් නම් සේක. උපස්ථායක නම ආනන්‍ද නම් සේක. අග්‍ර ශ්‍රාවිකා තැනින් දකුණ ත් සවු නම ඛේමා නම්හ. වමත් සවු නම උපුල්වන් නම්හ. බෝධි වූයේ ඇසතු ගසෙක. බ්‍යාමප්‍රභා මණ්ඩල ය එකි එ කී අතින් බඹ ය බඹ ය ඔබාදීන් සොළොස් රියනෙක පැතිර සිට්ටි. ඔබ තමන් වහන්සේ අටළොස් රියන් සේක. බුදු ව හවුරුදු පන් සාළිසක් ජීවත් වූ සේක.