339. දානානිශංසාදි අනුශාසනා

star_outline

අප විසින් කරන සද්ධර්‍ම රත්නාවලිය ආද්‍යන්ත කොට අසා කවර ත් ශාස්ත්‍රය සුනිශ්චිත කොට දැන ගැන්ම බැරි වුව ත් අඥානයන්ට නො දැන්ම පිළිවන් වන්නා සේ කිරීම බැරි වුව ත් නො කිරීම පිළිවන් ව තිබෙන කුශලයෙහි මහ මෙර ඔසවන්ට කරන යත්නයක් සේ තර ව පිහිටා ගොතා ලූ මල්වඩම් නො විදීම වඳුරන්ට බැරි වුව ත් විදා පීම පිළිවන් සේ නො කිරීම බැරි වුව ත් අඥාන වුව ත් කිරීම පිළිවන් වූ පවින් දුරු ව දෘෂ්ටි විශුද්ධි පරම්පරාවෙන් ගොසින් ඥාන දර්ශන විශුද්ධි ය සපයා නිවන් පුර වදනවුන් දන් දීම නම් දස පින්කිරි ය වතට මුල් ව සිට්ටි. විවරණ ලදින් බුදුකුරු ධම් සොයන බෝසත්වරුන්ට පළමු ව පෙනෙ යි.

පිළිවෙළ කථාවට ත් මුල් ව වෙස්සන්තර ජාතකයෙහි වෙස තුරු ව උපන් බෝසත්හු උපන් ඇසිල්ලෙහි දන් දෙන්ට නිස්සෙක් ඇද්දැ යි ඵුසති බිසොවුන් විචාරා අතුල් සුඟිත්තෙහි දහසින් බැඳි සියල්ලක් තබා ලූ කල්හි එ තැනට පැමිණියවුන්ට බෙදා දුන්හ. අට ඇවිරිද්ද ඇතුළත පලන්-කුමරපළඳනා අට වරෙක කිරි මවුන්ට දන් දුන්හ. පසු ව සොළොස් ඇවිරිද්දෙහි රජ පැමිණ කලිඟු රට සිට දන් ඉල්ලා ආ බමුණන්ට ඇතු පටන් සූවිසි ලක්‍ෂයක් අගනා මුත්හර එබූ මැණික පටන් අනගි වස්තු සයක් හා අනගි වූ පණ්ඩර නම් වූ ඇතු තමා ත් දන් දුන්හ. ඇතු දන් දුන්හ යි දෙවියන්ගේ වශයෙන් නුවර වැස්සන් මුසුප්පු ව පියා රටින් යවන හෙයින් රටින් යන ගමනේ සියල්ලන් සත් සත් සිය ය ඔබාදීන් සතසතු මහ දන් දුන්හ.

නො සිතින් වුව ත් තපස් නිසා වක්ගල් කුසට නික්මුණු ගමනේ සතසතු මහදනට පසු ව පියා ලුහුබඳවා ගිය බමුණන්ට රථයෙහි යෙදූ අසු දන් දුන්හ. පසු ව දන් ඉල්වා ගිය බමුණන්ට රථය දන් දුන්හ. ගොසින් වක්ගල් කුස හිඳිනා ගමනේ දුනු විටි නම් බමුණු ගම සිට අඹුවගේ කැණියලින් වාල් දනක් ඉල්වා ගිය දුගී දුවක[1] බමුණාට දරු සඟළ දන් දුන්හ. අඩු තුන් කෙළක් පුරඟනන් ඇතත් අඹු දන් ඉල්වා බමුණු වෙසින් ගිය සක් දෙවිඳු හට මද්‍රි බිසොවුන් දන් දුන්හ.

පිය මහ රජුන්ගේ අයාමෙන් සිය නුවරට ගොසින් ගිය දවස් වැස පූ සත් රුවන් දන් දුන්හ යි හිමව් මහමෙර ආදි ය හා සමග මහ පොළව වෙවුල් වා දුන් මහ දන් සිහි කොට දන් දීමෙහි යෙදී- තව ද කවරත්ම පිනකට ගං වලට හිමවත මුල් වන්නා සේ නුවණ මුල් ව සිටිනා හෙයින් උමංදායෙහි මහෞෂධ ව උපන් බෝසත්හු සත් හැවිරිදි අවස්ථාවෙහි තමන් සත් හැවිරිදි වුව ත් නුවණ සත් හැවිරිදි නො වන හෙයින් දහසක් දෙනා නුවණින් උකුස්සාගෙන් එළවා ගත නුහුණු මස් කැටි ය තුමූ තනි ව නුවණින් එළවා ගත්හ.

ගොන් යුක්තියෙහි දී ගොන් ගෙය ගෙන ගිය සොරුට ගොන් කෑ තණ ලවා දෙස් කියෙව්වා සේ, බේතින් වැකූ පැන් ගොන් පොවා තණ නංවා පියා උඳු හා තල මුරුවට හෙයින් ගොන් නො නැඟු හෙයින් ගොන් සොරු නුවණින් ම හසු කළහ.

ගැටහූ පළඳනාව සොරා හැරගත් තැනැත්ති ය කෙසේ ගැට කම් කළ ත් සුවඳ කවන තැන සිටියා සේ පුවඟු මල්වල සුවඳින්ම ඒ සෙරගේ සොර කම ත් නුවණින් ම හසු කළහ. හූ වැටි සොර කමත් සොර තැනැත්ති ය කියා ලූ කපු ඇට ය නො ව තිඹිරි ඇට ය හෙයින් අනි ත් දෙසුන් නැත ත් තිඹිරි ඇටින් ම දෙස් කියවා සොරකම් හරවා ලූහ.

දරු ඩබරේ දී යකින්න ලවා තමා යකිනි නියාව කියවා ලා කුමරුන් දරුවන් ඇති තැනැත්තවුන්ට ම දෙවා පීහ.

ගොලකාළයාගේ අඹු ඩබරෙහි උන් තුන් දෙනාගේ ත් දෙමවුපියන්ගේ ත් නම් විචාරා දික්පිටියාගේ කථා සුඟකු ත් සරි නොවන දික් තලගේ කථාවෙනු ත් ගොලකාළයන්ගේ කථාවෙනු ත් දික් තලගේ හා දික්තලයන්ගේ දෙමවුපියන්ගේ නම් සරි හෙයින් ගොලකාළයන්ගේ ත් උන්ගේ දෙමවුපියන්ගේ ත් නම් විචාරා දන්නා නම් ම වඤ්චා නිසා නො කී නියා මුත් තමාගේ නම ත් දෙමවුපියන්ගේ නමුත් ගොලකාළයන් කියාලූ සැලැස්ම කියා ලූ හෙයින් ගොලකාළයන්ගේ ත් උන්ගේ දෙමවුපියන්ගේ ත් දික්තල දන්නා නියාවට නියම කොට ලා ගොලකාළයන්ට ම දික්තල පාවා දුන්හ.

රථ යුක්තියෙහි දී දහසක් දෙනා විචාළ ප්‍රශ්න එක විට විසඳන තරම් නුවණ ඇති ශක්‍රයන් ශක්‍ර නියාව උන් ලවා ම කියවා විජයත් රථ ය ඇති ශක්‍රයන්ට එ සේ වූ රථවලින් ප්‍රයෝජන ම නැති හෙයින් රථය ඇති තැනැත්තවුන්ට ම රථ ය නිල කළහ.

ලියවා පී වියතක් දිග කිහිරි දණ්ඩෙහි අග මුල නුවණ නමැති තරාදියෙහි ලා කිරා බරින් මුල ත් සැහැල්ලු කමින් අග ත් දත්හ.

සම් වගුළ මිනී හිස් දෙක දැක පිල්වන්න කියවා ලා වස්තුයේ නියම දන්නා සේ ම මැස්ම දැක ම ගෑනි හිස ත් පිරිමි හිසත් දත්හ.

නුවණ විමසන්ට ම එළවා ලූ සපු හා සැපින්න දැක නියම ය කියා ලූ කෙනකුන් නැති ව ‘මූ සර්ප වන්ට මේ කාරණය, මෑ සැපිනි වන්ට මේ කාරණය ය’යි පසු ව දතහෙන මහ බෝසත්හු අරේ දැන ගන්ට සලකුණු ඇති ලෙසින් දත්හ.

පය හං ඇති[2] ඉස් මුදුනෙහි මොල්ලියක් ඇති තුන් වේලේ හඬන ගොනකු යවන්ට කියා යැවූ තැන හැළි කුකුළකු යවූහ.

අට තැනකින් වක් තුබූ මැණික දිරා ගිය තුබූ පරණ ලණු ව හැර පියවන්ට ත් අලුත් ලණුවක් අවුණාලන්ට ත් නැති ව තුබූවා තමන් ගෙන් කූඹුවන්ට විධානයක් ඇත්තා සේ උන් ලවා පරණ ලණුවත් හරවා අලුත් ලණුවක් මැණික වක් වුව ත් නුවණ නො වක් හෙයින් ලවා ලා රජ්ජුරුවන්ට යවූහ.

මඟුල් ගොනුගේ භං මුලට බා කපවා පියා හිවූ උඳු කවා බඩ දැරි ඇති බඩක් සේ මහත් කරවා පියා වදවා වසු පස්සේ ලා එවන්ට කියා යවූ තැන එම වේදෙහ රජ්ජුරුවන් ලවා ම තුන් කල් පිරිමින් දරුවන් වැදූ තැනක් ගෑනු ව උපන් කලට මුත් නැතැ යි කියවා මඟුල් ගොනා ත් නො වදන නියාව සාදා ලූහ.

නො සාල් නො දිය නො ගිනි නො දර නො ළිප් නො සැළියක දී නො ගෑනුන් ලවා, නො පිරිමින් ලවා, පැසි බතක් පිසවා ලා නොමඟකින් යවන්ට කියා යවූ තැන සුන් සාල් පිනි පැන් ආදීන් පැසි බත් පැසවා ලා නමින් පැසි බත වුවත් නුවණින් නො පැසි බත යවූහ.

ලණු කඹ බැඳ කෙළිනා කෙළියට වැල්ලෙන් කඹයක් අඹරවා පියා යවන්ට කියා යවු තැන වැල්ලෙන් කඹ තබා වියටක් දිග ලණුවකුත් ඇඹරිය නොහැකි නියාව එ ම රජ්ජුරුවන් ලවා ම කිය වූහ.

දිය කෙළියට පොකුණක් හා උයන් කෙළියට උයනක් යවන්ට කියා යවූ තැන ඈඳා ගෙන එන්ට පොකුණු හා උයන් ඉල්වා යවීමෙන් ම එ ම ලෙස උයන් හා පොකුණු ගෙනෙන්ට බැරි නියාව තුමූ නො කියා එ ම රජ්ජුරුවන් ලවා ම නුවණ නමැති දේවතානුභාවයෙන් කියවූ ය.

හැම තැන දීම පියා පුතුට වැඩි නො වන නියාව කිසි තැනක දී වතත් ඒ බොහෝ නො වන නියා ව අනර්ඝ වූ සෛන්ධව අශ්වයාට පිය වූ කොටළුවා අට මස්සක් විතරින් වඩා නුපුස්නා නියාව කියා සරාජික පර්‍ෂ ත් ගිවිස්වා ලූහ.

පය බරවයට පිටි කර බෙහෙත් බඳනා සේ මැණික තල් ගස උඩු තිබිය දී පොකුණේ පැන් ඉස්වා මඬ හැර වූ සේනක පණ්ඩිතයන් නො දැක්මෙහි පවා කවුඩුවා අවුත් කියා ලූවා සේ මැණික බාවා රජ්ජුරුවන්ට දුන්හ.

කටුසු පැනෙහි රත්රන් සතර වියටක් නිසා කටුස්සාට ඇති වූ අභිමාන ය බුදු වූ අවස්ථාවෙහි අදහස් දන්නා අනික් ලෙසකින් වුවත් මේ ආකාරයෙන් ම දත්හ.

ශ්‍රී කාන්තාව හා කාලකණ්ණියා එක තැනක නො වසන හෙයින් පිංගුත්තරයන් උදුම්බරා බිසොවුන් නො කැමැති වූ නියාව දැන රජ්ජුරුවන් ගිවිස්වා උදුම්බරා බිසොවුන් දිවි රැක තුමූ බොහෝ දවසක් ජීවත් වූහ.

මෙණ්ඩක ප්‍රශ්නයෙහි රජ්ජුරුවන් ප්‍රශ්න විචාළ ලෙසින් ම දැක කියා ලූ බව මුත් සිතින් සිතා කියා ලූ දෙයක් නොවන නියා ව දැන උදුම්බරා බිසොවුන් කියාලූ ලෙසින් රජ්ජුරුවන් එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව දැක ම කී නියා ව දත්හ.

අමරා දේවී ත් සඟවා කියා ලූ යම් දෙයක් ම කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ පැරුමට සාරාසැකි කප් සුවහස් පිරූ පැරුම් බොහෝ හෙයින් තුමූ නො සඟවා ම දත්හ.

සිරිමන්‍ද ප්‍රශ්නයෙහි නුවණ නැතත් සම්පත් ඇත්තහු උතුමැ යි යන කාරණය දෘෂ්ටාන්තයට ගෝරිමන්‍දයන් පෙනෙන හෙයින් බොහෝ දෙන ගිවිසිතත් දුක් පත් වුව ත් නුවණ නමැති ධන ය යම් කෙනකුන්ට ඇත් නම් ඒ ධනයට වඩනා අනික් ධනයෙක් නැති බැවින් උන් ම උතුම් නියාව නොඑක් කාරණ කියා ගිවිස්වූහ.

දේවතා දුව විචාළ ඛජ්ජොපනක ප්‍රශ්න ය විසඳා දේවතා දුවගෙන් සත් රුවන් හා රජ්ජුරුවන්ගෙන් සෙනෙවිරත් පට ලත්හ.

පඤ්ච පණ්ඩිත ප්‍රශ්නයෙහි සෙනකාදි පණ්ඩිතවරුන් සතර දෙනා තමා සිත ඇති රහස් කටයුතු මුන් මුන්ට කීම යහපතැ යි කීවත් තුමූ කාටත් කීම නපුරැ යි කියා ලා කීමෙහි නපුර දෙවන දවස් උන් උන් ගෙන් ම පෑ ලූහ.

නැවත කෙවට්ටයන්ගේ උපදෙසින් චූලනී රජ්ජුරුවන් එක් සියක් රජුනු ත් අටළොස් අක්ෂෞහිණියක් විවර සේනාවත් හැර ගෙන මියුලු නුවරට සටනට ආ තැන කිසි කෙනකුන්ගේ ත් ජීවිතයට හානි නො කොට පසු ව වසවත් මරු හා මර සෙනඟ බිඳ පලවන්නා සේ ම පලවා පියා මා ඇඟි වස්තු මියුලු නුවර වැස්සන් දෙ පෝයක් විචරින් ඇද නිමවන විචර යකඩ ලෝකඩ ආදී වූ දෙය සාරමසක් විචරින් ඇද නිමවා ගන්නා විචර කොල්ල ලත්හ. පසුව එම කෙවට්ටයන්ගේ උපදෙසින් පඤ්චාල චණ්ඩි නම් වූ දුවණියන් සරණ පාවා දෙම්හ යි කියා ලා සරණ පාවා දෙන්ට ඔබ ගෙන්වූ කල චූලනී රජ්ජුරුවන් කළ ප්‍රයෝගයෙහි සිතා කළා කුමක් වුවත් බසින් කීවා සැබෑ කොට උමං සොර කමින් ගෙන්වා ගෙන ඒ සා මහත් රජ සෙනඟක් උපකාරී නුවර වටා සිටියදී ම වෙදෙහ රජ්ජුරුවන්ට පඤ්චාලචණ්ඩි කුමාරිකාවන් සරණ පාවා දී ලා එක රැයින් ම මියුලු නුවරට යවා වේදේහ රජ්ජුරුවන්ගේ අභිමතාර්ථ ය සිද්ධ කළහ.

පසු ව තුමූ ත් තමන් කළ යම් දෙයක් චූලනී රජ්ජුරුවන් සිත් ගන්ට කළා සේ උන් පහදවා ගෙන පහන් රජ්ජුරුවන් ගෙන් රත්රන් පස් විසි දහසක් හා හවුරුදු පතා අසූ ලක්‍ෂයක් බද්ද නිමන ගම් අසූවක් හා කෙල්ලන් සාර සියයක් හා කම්මිත්තන් සියයක් හා තවත් බොහෝ දෑ ලදින් කෙලෙස් සතුරන් සාදා සර්වඥ ගුණ නමැති බොහෝ සම්පත් ලදින් කිඹුල්වතට ගියා සේම මියුලු නුවරට ගියහ. වේදේහ රජ්ජුරුවන්ගේ අයාමෙන් උත්තර පඤ්චාල නුවරට ගිය පසු හෙරී පරිබ්‍රාජිකාවන් හස්ත මුද්‍රිකාවෙන් විචාළ ප්‍රශ්න හස්ත මුද්‍රිකායෙන්ම විසඳා පරිබ්‍රාජිකාවන්ට තමන්ගේ නුවණෙහි තරම හැඟවූහ. පරිබ්‍රාජිකාවන්ගෙන් තරම් අසා රජ්ජුරුවන් එක පැහැර සම්පත් දී පුරා පී හෙයින් කවර අදහසෙකින් දුන් බව ත් නො දැන තමන් රජ්ජුරුවන්ගේ අදහස් දැන්ම තරම් නො වන හෙයින් භෙරී පරිබ්‍රාජිකාවන් ලවා දිය රකුසු පැනයෙන් ලෙංගතු ව ම සම්පත් දුන් නියා ව දත්හ.

මේ හැම නුවණ හෙයින් කරන කියන සිතන යම් දෙයකට නුවණ ම පෙරදැරි කොට තව ද විධුර ජාතකයෙහි විධුර පණ්ඩිත ව උපන් බෝසතුන් ඉරන්‍දතී නම් නාග කන්‍යාවන්ගේ නියෝගයෙන් වෙසවුණු රජ්ජුරුවන්ගේ බෑණ වූ පූර්ණක නම් යක් සෙනෙවියන් කුරු රට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්‍ය රජ්ජුරුවන් දූ කෙළ පරදවා වඩ්ඩියට ලදින් මරා පියා හෘත් මාංශ ය හැරගෙන යන්ට නො එක් ප්‍රයෝග කළ ත්, වානරින්‍ද ජාතකයෙහි වඳුරු ව උපන් බෝසතුන් හෘත්මාංශ ය හැර ගන්ට කිඹුලා කළ උපදෙස් දැන හෘත්මාංශය ගළවා ගත් ලෙස තිබී ගියා සේ ම මරනු නිසා දෙසිය සතළිස් ගවුවක් උස ඇති කාළගිරි නම් ගල් මුඳුනට නැඟි ලා දෙ පය අල්වා ගෙන හිස ගසා මරන්ට අල්වා ගත් තැන ගල නො ගසන තෙක් ‘සාධු නර ධර්‍ම නම් බණක් දනිමි. මා මළොත් ඒ නියා බණක් අපවත් වේද, ඒ බණ අසා පියා මරව’යි කියා ඒ බණ කියා මරණින් ගැළවුණා සේ සියලු පවින් වැළහී-

තව ද නාරද කාශ්‍යප ජාතකයෙහි නාරද නම් මහ බඹ ව උපන් බෝසතුන් අංගාති රජ්ජුරුවන් ගුණෙ‍න් නිර්ගුණී වූව ත් නමින් ගුණ නම් වූ නිවටාගේ සමවායෙන් දෘෂ්ටි ගත් නියා ව දැන උරුවෙල් කසුබු දමනයෙහි තුන් දහස් පන්සියයක් පමණ පෙළහර දක්වා හරවන දෘෂ්ටිය තුනී කරවන්නාක් මෙන් අංගාති රජ්ජුරුවන් කරා ගොසින් බණ කියා දෘෂ්ටි ය හරවා අපායොත්පත්ති හැරවූවා නම් සත්ත්‍වොපකාර ය නිසා හෙයින් තමා ත් සස්ත්‍වොපකාර නිරත ව -

කණ්ඩහාල ජාතකයෙහි ඛණ්ඩහාල නම් පුරෝහිත බමුණු යන්තම් කටයුත්තෙකින් නිරපරාධ බෝසතුන් කෙරෙහි බද්ධ ආඝාත ඇති ව තෝරා ලා කිරීම යුක්ත නො වන හෙයින් නිරපරාධ බොහෝ දෙනාත් එක් කොට ගෙන යාග පිට ලා ලා කරන්ට සිතූ අවැඩ උඩු සුළඟ සිට දමා ලූ හළු ආදි ය දැමුවන් ඇඟට යන්නා සේ ඛණ්ඩහාලයන්ට ම පැමිණි හෙයින් එ බන්දෙක නො හැසිර අනුන්ට වැඩෙහි හැසිරීමෙන් ඒ වැඩ ගොන් මැස්සා දැමු දැමු සේ දැමුවන් කරාම යන්නා සේ තමා කරා පමුණුවා ගෙන-

භූරිදත්ත ජාතකයෙහි භූරිදත්ත නම් නා රජ ව උපන් බෝසත්හු පෙහෙවස් නිසා සොපද්‍රව වූ මිනිස් ලොවට ගොසින් පාම්බට්ටියකුට සම්භව ව කෙළවා ඇවිදිනා ගමන්නේ සුදර්ශන නම් බෑණන් හා එක පියන්ට දා අච්චිමුඛී නම් නැඟණියන් දැක ලජ්ජා වූවා සේ පාපයෙහි ලජ්ජා ඇති ව -

නිමි ජාතකයෙහි නිමි රජව උපන් බෝසතුන් කලාර ජනක රජහු[3] සිඳ පූ දානප්‍රවෙණි ය පෙරළා පවත්වා ලූවා සේ කරන්නවුන් නැති වීමෙන් අපවත්ව තුබූ කුශල ය පවත්වමින්-

සාම ජාතකයෙහි සාම බෝසතුන් ඇස් නැති දෙමවුපියන් රැක්කා සේ රකින්නන් ඇති ව මුත් තමා ම තමාට නො රැකෙන කුසල් ධම් රැක ගෙන -

මහා ජනක ජාතකයෙහි මහා ජනක රජ්ජුරුවන් නැඟී නැව නට ත් එ තෙර වන්ට සත් දවසක් මූද පීනුවා සේ පින් කිරීමෙන් සසර සයුරෙන් එ තෙර වන්ට වීර්‍ය්‍ය ඇති ව-

මූගපක්ක ජාතකයෙහි තෙමිය බෝසතුන් ජාති සිහි කරන නුවණින් එක් කලෙක බරණැස රජ ව ඉපැද විසි හවුරුද්දක් දැහැමෙන් සෙමින් රජ කොට අසූ දහසක් හවුරුදු ඔසුපත පැසුණු නියා ව දැක රජ කම් කිරීමට මැළි ව නො ගොළු ව ගොළු ලෙසින් හා නො බිහිරි ව බිහිරි ලෙසින් හා නො පිළිව පිළි ලෙසින් හා සොළොස් පැයක් විචර ත් අනුන්ට බැරි වූවා සොළොස් හවුරුද්දක් දවස් යවා නිෂ්ප්‍රයෝජන එකෙකැ’යි අමු සොහොනෙක වළලන්ට යවු තැන එ ලෙසින් රජ ගෙය නමැති සිර ගෙන් ගැල වී ගෙන රාජ්ජ ය කිරීමට ගොළු - බිහිරි - පිළි වුව ත් තපසට පැමිණෙනු නිසා එ හැම නැති ව මහ වල් වැද මහණ ව අභිඥාලාභී වූවා සේ ම සියලු පවු හැර කුසල්හි පිහිටා ‘චිත්ත ශුද්ධිය කරතොත් අද ක ඊයෙ ක නොව වල් සොරුන් පරිද්දෙන් අනන්ත කාලයෙක සතුරු ව ආ කෙලෙස් සතුරන් නසා නිවන් රට සාදා මුත් බැරි ය. නිවන් රටත් කෙලෙස් සතුරන් නසා මුත් සාදා ලිය නො හැක්ක.

________

  1. ජූජක

  2. පය අං ඇති

  3. රජ කරණ රජහු