338. මංගල කාරණා

star_outline

මෙසේ යම් කෙනෙක් නුවණැත්තෝ නම් බුදුන් උන් හැමට උත්කෘෂ්ට හෙයින් බුදුන් භජනය කළාවූ අසඞ්ඛ්‍ය ගණන් සත්තු ලොවී ලොවුතුරා සැපත් සාදා ගත්හ. සැරියුත්-මුගලන් ආදී වූ අසූ මහ සවුවන් වහන්සේ භජන ය කළවුන්ගෙන් නිවන් දුටුවොත් බොහෝ වූ ය. අසු අසූ දහසක් පමණ දෙව්ලොව උපන්හ. එ හෙයින් නුවණැත්තවුන් භජනය කිරීම වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද පිදි ය යුතු වූ බුදු පසේ බුදු සවුවන්ට කරන්නා වූ පූජා ත් අට නැළියක් විචර දෑ සමන් මල් අට මිටක් කොට බුදුන්ට පූජා කළ සුමන නම් මාලාකාරයාණන් අට පැයක් නො ව අට දවසක් නො ව, අට මසක් නොව, අට හවුරුද්දක් නො ව, අට සියයක් හවුරුදු නොව, අට දහසක් හවුරුදු නො ව, කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි නරකාදි වූ සතර අපායට නො ගොසින් දෙව්ලොව දෙව් සැපත් වළඳා, මිනිස් ලොව සැපත් වළඳා කෙළවර සුමන නම් පසේ බුදු වූ හෙයිනුත් සඞ්ඛ නම් බමුණු ව උපන් අප මට බෝසතුන් සුසීම නම් පසේ බුදුන්ගේ දා ගබට කළ යන්තම් විතර පූජාවක් නිසා බුදු වූ අවස්ථාවෙහි නා ලොව පටන් අකනිටා බඹලොව දක්වා සක්වළ ඇතුළ පැවැති පූජා සත්කාර ගඞ්ගාරෝහණ වතින් පෙනෙන බැවිනු ත් ලොවී ලොවුතුරා වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද මධ්‍ය දේශාදි වූ යම් දේශයක සිවුවනක් පිරිස් වෙසෙත් නම් දානාදි වූ දස පින් කිරිය වත පවතී නම් තෙවළා බුදු වදන් පවතී නම් එසේ වූ නිසි තැන විසීම ත් ලොවී ලොවුතුරා වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද සක්විත්තන් වුවත්, පසේ බුදුන් වුව ත්, රහතන් වුවත්, දඹදිව නැගෙනහිර දිසාවෙන් කජඞ්ගලා නම් නියම් ගමට එපිට සල් ගසින් හා ගිනි කොනින් සලලවතී නම් වූ ගඟින් හා දකුණු දිග ශ්වේත කර්ණිකා නම් නියම් ගමින් හා බස්නාහිර ථුන නම් බමුණු ගමින් හා උතුරු දිග උසීරද්ධජ නම් පර්වතයෙන් හා එපිට පසල් දනවුව ය. මැද මධ්‍ය දේශය. එහි උපදිති. ඉන් සක්විත්තන් හා පසේ බුදුන් උපන් සමයෙහි එ තැන්ගේ අවවාදයෙහි පිහිටා ලොවී සැපත් ලැබෙති. බුදුන් උපන් සමයෙහි ලොවී ලොවුතුරා සැපත් දෙකම ලැබෙති. එ හෙයින් එ සේ වූ කාලයෙහි එ සේ වූ දේශයෙහි විසීම ලොවී වූත් ලොවුතුරා වූ ත් වැඩට කාරණ හෙයින් මඟුල.

බුද්ධාදීන් අරභයා පෙර කළ පින් ඇති බවත් බුද්ධාදීන් කරා පමුණුවා ලා ලොවී ලොවුතුරා සැප ත් සාදා දී ලන හෙයින් මඟුල.

තව ද යම් කෙනෙක් පන් සිල් පමණකුත් නො රැකීමෙහි ආදීනව සලකා පන් සිල් පමණක් වුවත්, වඩා වුවත්, සිල් රකිත් ද මකුළු හුයක් යටි පිටින්දා උඩු පිටින් කළු වන් නො වන තෙක් රැකි පන්සිල් පමණක් අනන්ත දිව සැපත් සාධා දී ලන හෙයින් මඟුල.

තව ද යම් කෙනෙක් සැදෑ නැති කල ගල තල පිට ගොයම් හට නොගන්නා සේ කුසල් නමැති බිජු වටින් ලොවී ලොවුතුරා සැපත් නමැති ශස්‍ය ඵල ලබන්ට නැතැ යි සැදෑ ඇති වූ නම් ඒ නිසා අනාථ පිණ්ඩික - විශාඛා ආදීන්ට මෙන් කුශල සිද්ධි ය වන හෙයින් එයිත් මඟුල.

තව ද අදින්නපුබ්බක, මච්ඡරිය කොසියාදීන් මෙන් තද මසුරු වූ කලට දානමය කුශල නම් තෑගි කමක් මුල් ව මුත් මසුරු ව කට නො හැක්කැයි තෑගි වූ නම් ඒ තෑගි කම නිසා දානමය කුශලය ත් සෙසු කුශලය ත් සිද්ධ වන හෙයින් තෑගි වූ නම් එයි ත් මඟුල.

තව ද බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවත් විදර්ශී ආදී බුදුවරුන් සත් දෙනකුන් වහන්සේ සමයෙහි ආගමාභියෝග ය කළ කොට්ඨිල මහ තෙරුන් වහන්සේට අපගේ බුදුන් සමයෙහි අධිගම ය නිරායාස වූ හෙයින් එයි ත් මඟුල.

තවද යම් ශිල්පයක් උගැන්ම නිසා මෙලෝ පරලෝ දෙකින්ම අවැඩක් නොවේ නම් එ සේ උගන්නා නකත් ආදී වූ අගාරිකයන්ට නිසි වූ අගාරික ශිල්ප උගැන්මත් අනගාරික තැනට නිසි වූ සිවුරු ගෙත්තම් ආදි වූ ශිල්ප උගැන්ම ත් තමන්ටත් අනුන්ට ත් මෙලෝ පරලෝ දෙකින් වැඩ සාදන හෙයින් මඟුල.

ගිහි වුවොත් පණිවා ආදීන් දුරුව දාන මානාදියෙහි හැසිරීමත් පැවිදි වුවොත් සිවු පිරිසුදු සිල් පිහිටීම ත් ලොවී ලොවුතුරා සැපතට පිහිට බැවින් මඟුල.

තවද බොරු නො වන කේලාම් නොවන රළු පරළු නොවන නිෂ්ප්‍රයෝජන කථා නො වන තෙපුල් කීම ත් මෙලෝ පරලෝ දෙකට වැඩ කාරණ හෙයින් මඟුල.

නොහොත් නිස්සරණාධ්‍යාසයෙන් අනුන්ට බණ කීමත් බණ කියන්නවුන්ට අමා මහ නිවන් දෙන හෙයින් එයිත් මඟුල.

තව ද දෙමවුපියන් නම් වදා පූ දරුවන්ට ඉතා උපකාරී හෙයින් පිටත කෙළ පියා ආ දරුවන් දැක ඇඟ වැලි පස් පිස පියා හිස සිඹ පියා උපදවා පී ස්නේහ ය හවුරුදු සියයක් වුව ත් දාසක් වුව ත් මුළුල්ලෙහි බිම බා නො තබා දෙමවුපිය දෙන්නා කරින් උසුලා ත් ගෙවා ලිය නොහැකි හෙයින් දෙමවුපියන් නෑවීම් හිස් සේදීම් කැවීම් පෙවීම් ආදියෙන් උපස්ථාන කෙරෙත්ද මෙලෝ පරලෝ දෙක්හි ම බොහෝ වැඩ සාධා දී ලන හෙයින් මඟුල.

තව ද අඹුවන්ට හා දරුවන්ට උන් කෙරෙහි හරසර ඇති වීමෙන් හෙළා නො දැක්මෙන් උන් හික්ම නොපැවැත්මෙන් ඉසුරු උන්ට අත් හැරීමෙන් ආභරණ කරවා දීමෙනැ යි මෙලෙස සංග්‍රහ කිරීමෙන් අඹුවෝ වුවත් ගෙය දඩ ඉඳුරා විචාරති. දරුවෝ වුව ත් ඉතා පක්‍ෂ වෙති. ගෙයි ඇති කෙලි කොල්ලෝ හිත පක්‍ෂ වෙති. ස්වාමීහු ඉක්ම පවන්නෝ ත් නො වෙති. උපයා රැස් කළ දෙය නො නසා රැකත් ලති. සියල්ලෙහි ම අනලස ත් අප්‍රමාද ත් වෙති. අඹුවන්ට හා දරුවන්ට සංග්‍රහ කරන්නෝ-

“යෙ ගහට්ඨා පුඤ්ඤකරා – සීලවන්තො උපාසිකා,

ධම්මෙන දාරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලී”

යනු හෙයින් ශක්‍රයන්ගෙන් පවා වැඳුම් ලැබෙති. එහෙයිනු ත් මෙලෝ පරලෝ දෙකට කාරණ හෙයින් මඟුල.

තව ද නො කිරීම ය, කල් ඉක්මවා කිරීම ය, නපුරු කොට කිරීම ය, මැළි ව කිරීම ය යනාදිය නැති ව කල් දැන නිසි ලෙසින් නො මැළි ව කොට ගන්නා වූ සී වප් ආදි වූ කර්මාන්ත ඇති බවත් ධන ධාන්‍ය සම්පත් ඇතිවීමට කාරණ බැවින් මඟුල.

“පතිරූපකාරී ධුරවා - උට්ඨාතා වින්‍දතෙ ධනං”

යනුත් -

“න දිවා සුප්පන සීලෙන - රත්තිනුට්ඨාන දස්සිනා,

නිච්චං මත්තෙන සොණ්ඩෙන - සක්කා ආව සිතුං ඝරං”

යනු ත් -

“අතිසීතං අති උණ්හං - අතිසායමිදං අහු,

ඉති විස්සට්ඨකම්මන්තෙ - අත්‍ථා අච්ච‍ෙන්ති මානවෙ.

යොච සීතඤ්ච උණ්හඤ්ච - තිණා භීය්‍යො න මඤ්ඤති,

කරං පුරිසකිච්චානි - සො සුඛා න විහායති.”

යනු ත් -

“භොගෙ සංහරමානස්ස - භමරස්සෙව ඉරීයතො,

භොගා සන්නිවයං යන්ති - වම්මිකො වුපවීයති.”

යනු ත්-

එ හෙයින් වදාරණ ලදී.

තව ද කුඩු කැවුම් දුන්නා වූ මාලාකාරීන් දූන්ට පවා බිසෝ පට ලබන හෙයින් පාත්‍රය සෝධන්ට කොළ පමණක් කඩා දුන්න වුන් රුක්දෙවි ව උපදනා හෙයින් දන්දෙන ගෙවලට අත ඔසවා මං පෑවවුන් අතින් කල්ප ලතාවෙකින් මෙන් අභිමතාර්ථ සිද්ධවන හෙයිනුත් කම් පල අදහා දන් දීම ත් මෙලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තවද දන් දීම්, සිල් රක්‍ෂා කිරීම්, පින් දීම්, පින් අනුමෝදන් වීම්, බණ කීම්, බණ ඇසීම් ආදි වූ දස පින්කිරිය වත හැසිරීම ත් ස්වර්ගොත්පත්තියට කාරණ බැවින් මඟුල.

තව ද මවු පක්‍ෂ ය පිය පක්‍ෂය සත් වන කුල පරම්පරා ව පටන් පැවත ආ දුක් පත් ව ගොසින් තමා කරා ආ නෑයන්ට බල පමණින් බත් පිළී ආදිය දීමෙන් සංග්‍රහ කිරීමත් මෙලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද පොහෝ දවස් නො වරදවා පෙහෙ වීම, ගුරුන් වතුන් කුල දෙටුවන්ට මෙහෙ කිරීම හා මල් වතු පැන් පොකුණු උයන් ගොනටු අම්බලම් හේ දඬු ආදිය පින් නිසා කිරීම ත් මෙලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද ‘මේ අපගේ ජාතියට අපගේ තරමට නිසි නො වෙ’යි සිතින් ම සලකා පියා පවින් වැලැක්ම ත් මෙ බන්දක් මෙ වක් පටන් නො කරම්හ’යි කියා ලා නො කිරීම ත් පවින් වැලක්ම ත් මෙලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තවද රා පූව වුන් කාරණාකාරණ නොදන්නා හෙයිනු ත් මවු පියන් වුවත් කුල දෙටුවන් වුව ත් බුදු පසේ බුදු මහ රහතන් වුව ත් නො හඳුනන හෙයිනු ත් මෙලොව වියරු වෙස් ගෙන ඇවිදිනා හෙයිනුත් පරලෝ අපාය දුක් විඳිනා හෙයිනු ත් එයින් නැවත් ම ත් මෙලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද කරන පින් කමු ත් සකස් කොට කිරීම, එක්වන් කිරී ම, නො තබා කිරීම, නො මැළි ව කිරීම, වීර්‍ය්‍ය ඇති ව කිරීම, සිහි ඇති ව කිරීමැ යි මෙ සේ පින්කම් නො පමා වීම ත් නිවන් නො පමා වන හෙයින් උතුම් මඟුල.

තව ද ගරු කළ මනා උසස් කළ මනා බුදු පසේ බුදු මහ රහතනු ත් දෙමවුපිය නැඳි මයිල් බෑ බුන් ආදීනුත් ගරු කෙරෙත් ද එ සේ වූවන් දෙව්ලොව ඉපැද බොහෝ සම්පත් ලබන හෙයින් මිනිස් ලොව උපදිත ත් උසස් කුලයෙහි උපදනා හෙයින් අභිවෘද්ධි කාරණ වේ නු යි ගරු කළ මනාවුන් ගරු කිරීම ත් මඟුල.

තව ද ගුණෙන් – නුවණින් කවර තරම් තරමක් ඇති වත් නිහතමානී බැවින් පා පිස්නා බිසි වැනි ව, සියල්ලවුන්ට ම යටත් ව පැවැත්ම ත් කීර්ති ආදි ගුණයට හේතු බැවින් මඟුල.

තවද යම් භික්ෂු කෙනෙක් යහපත් වුව ත්, නපුරු වුව ත් සිවුරු පිඬු පා සෙනසුන් ගිලන්පස යන සිවුපස ය ලදින් ලද දෙයින් ම යැපෙත් ද, අනිකක් නොපතත් ද, ඉදින් රෝගීහු වී නම් බර සිවුරු වැළැන් ද නො හෙත් නම්, රූක්‍ෂාහාරය වළඳා ගත නොහෙත් නම් අයප සෙනස්නෙහි සැතපිය නොහෙත් නම්, රූක්‍ෂාහාර වූ බෙහෙත් වැළඳිය නොහෙත් නම්, සභාග තැනට ඒ දී පියා එ තැනින් විහිත දෙයක් හැරගෙන ප්‍රයෝජන විඳි ත් ද ඉතා මා හැඟි වූ සිවුරු හෝ බත් හෝ සෙනසුන් හෝ ගිලන්පස හෝ ලදින් මහලු සබ්‍රම්සර තැනට දී පියා පසුල් සිවුරෙන් හා සිඟා ලත් කෙණෙසි අහරින් හා රුප්පා අබවස් ආදියෙන් හා ගෝ මූ අරළු පමණෙකින් සතුටු වෙත් ද ඒ මෙලෙසින් පැවති ද්වාදශ විධ ආර්‍ය්‍ය සන්තෝෂයත් ඒ ඒ දෙයෙහි ඉච්ඡාව හා බොහෝ දෙයෙහි ඉච්ඡාව හා තමා කෙරෙහි නැති ගුණ හැඟවීමෙහි ඉච්ඡාව හා නසා ලොවී ලොවුතුරා ගුණ විශේෂය සාදා දී ලීමට කාරණ බැවින් මඟුල.

තව ද මඳක් වුව ත්, බොහෝ වුවත්, අනුන් තමන්ට කළ උපකාර දැන්මත් ඒ නිසා උන්ට උපකාර කිරීම් මුඛයෙන් කුසල්හි හැසිරෙන හෙයින් එයි ත් මඟුල.

අනුන්ට උපකාර කරන්නෝ ත් කළ උපකාර සලකන්නෝ ත් අරුමයෝ ය යි බුදුහු වදාළ සේක.

තව ද යම් වේලෙක සිත උඩඟු ව පවතී නම් ඒ වේලෙහි ත් නිරන්තරව බැරි වුව ත් පස් පස් දවසින් වුව ත් බණ ඇසීම සියලු කුශලයට ම මුල් ව සිටිනා හෙයින් මඟුල.

තව ද යම් කෙනකුන් කලාබු නම් කසී රජහු කළ අපකාර උපකාර මෙන් සැලකූ ඛන්තිවාදි තවුසන් මෙන් සහන ය ඇත් නම් එයි ත් උන්ට ඛන්තිවාදි තවුසන් කළ සහන ය බුදු බව සාදා දී ලූවා සේ අභිවෘද්ධි කාරණ හෙයින් මඟුල.

සරභංග බෝසත්හු ත් සහනයෙහි ම යොදා -

“කොධං වධිත්‍වා න කදාචි සොචති -

මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති,

සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ -

එතං ඛත්තිං උත්තමමාහු සන්තො.”

යනු කිවු ය. සක් දෙවිඳු ත් කවර තරමෙක අනර්ථ කරන්ට බලී වුවත් සහන ය ම කරන්ට කිවු ය. බුදුහු ත් සහන ය ම උතුම් කොට නො එක් තැන වදාළ සේක.

කුශල විෂයෙහි යොදා අවවාද කළ කල මුසුප්පු ත් නො ව කළ අවවාදයෙ හි වේව යි අවවාද කළවුන් කෙරෙහි වේවයි නිහරසරත් නො ව රාහුල තෙරුන් වහන්සේ මෙන් කීකරු වීමත් මෙලෝ පරලෝ වැඩට කාරණ හෙයින් මඟුල.

තව ද ගුණ ඇත්තවුන් කරා එලඹීම ය. උන්ට උපස්ථාන කිරීමය. උන් එක් වන්ව සිහි කිරීම ය. උන්ගේ පවත් ඇසීම ය සිත් පහදවා බලා පී වන්ට නො එක් දහස් ගණන් ජාතිවල ත් ඇසට වන රෝග නැති හෙයින් දැකී ම ය යන මේ සියල්ල ත් භික්ෂු සඞ්ඝයා වහන්සේ පිරිවරා වෙදිය[1] නම් පර්වතයෙහි වැඩහුන් බුදුන් දැක සිත පහදවා බලා පී බකමූණා පවා කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො ගොස් හොඳ මුහුණු ඇති ව දෙව් සැපත් වළඳා කෙළවර සෝමනස්ස නම් පසේ බුදු වන හෙයින් ගුණ ඇත්තවුන්ගේ දැකීමු ත් මඟුල.

තව ද පෙර යම හෝ අළුයම හෝ සූත්‍ර පිටකයෙහි අභ්‍යාස ඇති තැන් සූත්‍ර කථා කරන සේක් ද, විදම් දෙසීමෙහි අභ්‍යාස ඇති තැන් විදම් කථා කරන සේක් ද, ජාතකයෙහි අභ්‍යාස ඇති තැන් ජාතක කථා කරන සේක් ද, අටුවායෙහි අභ්‍යාස ඇති තැන් ඉන් කථා කරන සේක්ද, ඒ කථාව ආගම ව්‍යක්ති ආදී වූ ගුණයට කාරණ බැවින් මඟුල.

තව ද යම් කෙනෙක් චක්ෂුරාදී වූ ස දොරට විෂය වූ ඉෂ්ට රූපා දී සාරමුණෙහි ඇලුමු ත් නොවෙද්ද, අනිෂ්ට දෙයෙහි ගැටීමුත් නොවෙත්ද, එ ලෙසින් ඉන්ද්‍රිය සංවරය හෝ කෙළෙසුන් තවන්නා වූ වීර්‍ය්‍ය ය හෝ ඇත් නම් එ තෙමේ ධ්‍යානාදීන්ගේ ප්‍රතිලාභයට කාරණ බැවින් මඟුල.

තව ද යම් කෙනෙක් මෙවුන්දමින් වැළැක්කෝ ද, සෙසු ත් මහණ ධම්හි යෙදී වෙසෙත්ද, ප්‍රතිවෙධය පසු කොට ත් පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති දෙක්හි යෙදී වෙසෙත්ද, ඒ සියල්ල ම ලොවී ලොවුතුරා ගුණ ලැබීමට කාරණ බැවින් මඟුල.

තව ද යම් කෙනෙක් භාවනාභියෝගයෙන් මාර්ගාධිගම ය ඵලාධිගමය කළෝ නම් සසර දුකින් මිදීමට කාරණ හෙයින් මඟුල.

මාර්ගාධිගම ඵලාධිගම දෙකිනු ත් රහත් වීම ජාති දුක් ආදී වූ සියලු දුක් ගෙවන හෙයින් උතුම් මඟුල.

තව ද යම් කෙනෙක් ලාභයක් වත් යසසක් වත් ප්‍රශංසාවක් වත් සැපයක් වත් ලදින් එම තර දෙයක් සේ සිතා උඩඟු නො වෙත් ද නැවත අලාභයකට හෝ නින්දාවකට හෝ දුකකට හෝ පැමිණ අනිත්‍යතාව වටහත් මුත් මුසුප්පු නැත්තෝ ද එ තරම් තම අදහස් ඇත්තෝත් බුදු බවත් සාදා දී ලන හෙයින් උතුම් මඟුල.

තව ද යම් කෙනකුන්ට කිසිවෙක ත් ශෝක නැත් නම් නැවත රාගාදී වූ රජසුත් නැත් නම් කෙලෙස් සතුරන් ගෙන් උපද්‍රව නැත් නම් සියලු ලෙසින් ම ඒ හැම සම්භ වන්නා රහතන්ට හෙයින් නිශ්ශොකි වීම ත් නිකෙලෙස් වීම ත් බබුරන් වුව ත් ශක්‍රාදීන් ගෙන් වැඳුම් ලබන ලෙසට කරවා ලන හෙයින් මඟුල.

.

බුදුහු “අසේවනා ච බාලානං” යනාදි වූ ගාථා දහසයකින් මඟුල් අට තිසක් වදාළ සේක. මඞ්ගල සූත්‍ර ය දෙසා වදාළ කල්හි දෙවියෝ කෙළ ලක්‍ෂයක් රහත් වූහ. සෝවාන් සෙදගැමි අනගැමි වූවෝ අසඞ්ඛ්‍යයෙක.

දෙ වන දවස් බුදුහු අනඳ මහ තෙරුන් බණවා ‘ආනන්‍දයෙනි, ඊයේ රෑ එක දෙවතාවක් මා කරා අවුත් මඟුල් විචාළ. මම ඕහට මඟුල් අට තිසක් කීමි. ආනන්‍දයෙනි, මේ මඞ්ගල සූත්‍ර ය ඉගෙන ගෙන භික්ෂූන්ට උගන්ව’යි වදාළ සේක. ඔබත් ඉගෙන වහන්දෑ ඉගැන්වූ සේක. එ හෙයින් එවක් පටන් මෙ වක් දක්වාත් මෙවක් පටන් පස්වා දහස මුළුල්ලෙහිත් මේ සූත්‍රය සප්‍රයෝජන වන්නා සේම නුවණැත්තවුන් හා එක් ව නුවණැත්තවුන් භජනය කොට පිදිය යුත්තවුන් පුදා, සුදුසු පියස පෙර කළ පින් ඇති බැවින් තමා යහපත් ව නිරවද්‍ය ශිල්ප ඉගැන්මෙන් බොහෝ ඇසූ පිරිවූ තැනුත් ඇති බැවින් සුපිළිවෙතින් සස්න හොබවා කියන බසෙක් ඇත් නම් යහපතක් ම කියමින් දෙ මවු පියන්ට උපස්ථාන කිරීමෙන් සාලිකෙදාර ජාතකයෙහි ගිරා ව උපන් බෝසතුන් කී ලෙස දරණ ණය ගෙන්වා ගෙන අඹු දරුවන්ට සංග්‍රහ කිරීමෙන් මත්තට නිසා පොලී පිට ලා ගෙන නිරවද්‍ය වූ කෘෂි වණික් ආදිය ඇති වීමෙන් ධනධාන්‍යාදී සම්පත් ඇති ව දන් දීමෙන් භෝගයෙහි සාරය හැර ගෙන ශීල සංරක්‍ෂණයෙන් ජීවිත සාර ය හැර ගෙන නෑයන්ට සංග්‍රහ කිරීමෙන් ස්ව පක්‍ෂය හිත කරවමින් නිරවද්‍ය වීමෙන් අනුන් හිත කරවමින් පවින් වැළැක්වීමෙන් ජන පීඩා ත් නැතිව රාමෙරෙන් දුරු වීමෙන් තමාට වන පීඩා ත් නසා නො පමා වීමෙන් කුසල් ධම් වඩමින් පිනට සිත් නැමුණු බැවින් ගිහි සැපත් හැර මහණ ව,

බුද්ධාදීන් කෙරෙහි ගෞරව ත් ඇතිව උද්ධතා වාස¨ය ශාසනානුරූප නොවන බැවින් කො තැන් කෙරෙහිත් යටත් වූ පැවැතුම් ඇතිව, වත් පිළිවෙත් සාරව, චතුර්විධ ප්‍රත්‍යයෙහි ද්වා දශ විධ ආර්‍ය්‍ය සන්තෝෂ ඇති බැවින් පසයෙහි ලොල් බැව් හැර හළ දෙයෙහි ගුණ දන්නා බැවින් සත් පුරුෂ ව, පින්කම්හි මැළි බවෙක් ඇත් නම් බණ ඇසීමෙන් දුරු කොට ක්‍ෂමා කරවීමෙන් සියලු උවදුරු නසා කීකරු බැවින් සියල්ලකට ම නිසි ව ගුණ ඇත්තවුන්ගේ දැක්ම නිසා උන්ගේ අනුශාසනාවෙන් තමා ත් ගුණ ඇති ව කුසල් විෂයෙහි උපන් සැක ඇත් නම් නුවණැත්තවුන් හා කථා කිරීමෙන් ඒ දුරුකොට ගෙන සිවු පිරිසිදු සිල්හි පිහිටීමෙන් ශීල විශුද්ධිය සපයා ගෙන සමථාභියෝගයෙන් චිත්ත විශුද්ධි ය උපදවා, දෘෂ්ටි විශුද්ධි ආදි ය නැතිව ඥාන දර්ශන විශුද්ධි ය සපයන්ට බැරි බැවින් ලක්‍ෂණාදි විසින් නාමරූප නිශ්චයාදි විසින් සෙසු විශුද්ධි ත් සපයා ගෙන මාර්‍ග පිළිවෙළින් ගොසින් රහත් ව සුළඟෙකින් මහමෙර සොලවා ලිය නො හැක්කා සේ අෂ්ටලෝක ධර්‍ම නමැති මහ පවනින් නො වෙවුලා නිශ්ශෝක වීමෙන් නිකෙලෙස් වීමෙන් හැම තැන්හි ම නො පරදනා ලද අත් බැව් සාර්ථක කටයුතු.

  1. වෙදියක