32. මහාලී ප්‍රශ්න වස්තුව

star_outline

තව ද කුසල්හි නො පමා වූ මඝ මානවකයන් ලත් ශක්‍ර සම්පත්තිය සත්‍වයන් කුසල්හි අසුරුවනු පිණිස මහාලී ප්‍රශ්න වස්තුව කියමු.

කෙ සේ ද යත්:

විසල් මහ නුවර මහාලී නම් ලිච්ඡවි රජ්ජුරු කෙනෙක් ඇත. ඌ බුදුන් සක් පැන සුත් දෙසා වදාළා අසා ‘බුදුහු සක් දෙවිඳුහුගේ සම්පත බෝ නියාවක් වදාරන සේක. සම්පත දැක ම වදාරන නියා දෝ හෝ නොහොත් සම්පත් මහත් නියාව ඔබ්බකින් අසා වදාරන නියා දෝ හෝ ශක්‍රයන් හඳුනන නියා දෝ හෝ නො හඳුනන නියා දෝ හෝ විචාරමි’යි සිතා මහාලී ලිච්ඡවීහු බුදුන් කරා ගොසින් වැඳ එකත් පස්ව හිඳ බුදුන්ට ‘ස්වාමීනි, ශක්‍රයන්ගේ සම්පත් වදාරන නියාව ඉතා විස්තර ය. උන් දුටු විරූ ඇද්දැ’යි කිවු ය. ‘එ සේ ය, මහාලීනී, දුටු විරූම්හ’යි වදාළ සේක. ඒ අසා මහාලීහු ‘ස්වාමීනි, උන් එක් වැනි කෙනකුන් නියාය. එක් වන්නවුනු ත් ලොව ඇති හෙයින. ශක්‍රයන්ගේ අත් බැව දිව අත් බැව් හෙයින් දක්නට බැරි ය’යි තමන්ට බැරි හෙයින් ඔබටත් බැරි දෝ හෝ යි සිතා කිවු ය. ‘හෙම්බා මහාලීනි මා උපන් දවස් පටන් මෙ වක් දක්වා මඟුල් මෙහෙ කොට සිටි හෙයින් මම ශක්‍රයන් හඳුනමි. දැන් හැඳිනීමෙහි විස්ම කිම්ද? මහෞෂධ පණ්ඩිත කලත් වෙස් වළා සිටියවුන් හැඳින ගතිමි. ශක්‍රයන් තබා යම් පිනක් කොට ශක්‍ර වූ නම් ඒ ශක්‍ර සම්පත් සාධා දී ලූ පින්කමුත් දනිමී’ වදාළ සේක.

එ සේ වදාරා ලා ‘හෙම්බා මහාලීනි, සක් දෙවිඳු පෙර මිනිස් ලොව දී මඝ නම් වී ය. එ හෙයින් මඝ ය යි කියති. නැවත මේ සක් දෙවිඳු පෙර මිනිස් ලොව දී දනක් දේ නම් හැම දෙනාට පෙරාතු ව දෙයි. එ හෙයින් දැන් පුරින්‍ද ද ය යි කියති. නැවත මේ සක් දෙවිඳු මිනිස් ලොව දී දෙන දනක් යහපත් අදහසින් සකස් කොට දෙයි. එ හෙයින් ශක්‍ර ය යි කියති. නැවත මේ සක් දෙවිඳු මිනිස් ලොව දී මාවත යන එන්නවුන් සැතපෙනු සඳහා ගෙයක් කරවා දින. එ හෙයින් වාසව ය යි කියති. නැවත මේ සක් දෙවිඳු දහසක් කාරණ ඇසිල්ලෙකින් සිතයි. රූ දැක්මෙහි සමර්ථ ඇස් දෙක වුව ත් නුවණැස් දහසක් හෙයින් සහශ්‍රාක්ෂි යයි කියති. තව ද, මහාලීනි, සක් දෙවිඳු හට සුජාතා නම් අසුර කන්‍යාවක් වුව. එ හෙයින් සුජම්පති නම කියති. මහාලීනි, මේ ශක්‍රයෝ දෙ දෙව් ලොව දෙවියනට නායකය හ. එ හෙයින් දෙවිඳු යයි කියති. යම් පින් කමක් කොට මූ ශක්‍ර වූ නම් එ සේ මුන් කළ පින්කම් සතෙක් ඇත. ඒ කවරේ ද යත්:

“මාතාපෙත්තිභරං ජන්තුං - කුලෙජෙට්ඨාපචායිනං,

සණ්හං සඛිලසම්භාසං – පෙසුණෙය්‍යප්පහායිනං.

මච්ඡෙරවිනයෙ යුත්තං - සච්චං කොධාභිභුං නරං,

තං වෙ දෙවා තාවතිංසා - ආහු සප්පුරිසො ඉති”

යනු හෙයින් දෙමවු පියන් නෑවීම් ඉස් සේදීම් කැවීම් පෙවීම් ආදි විසින් ද:

“බ්‍රහ්මාති මාතා පිතරො – පුබ්බාචරියා ච වුච්චරෙ

ආහුනෙය්‍යා ච පුත්තානං - පජාය අනුකම්පකා;

තස්මාහි තෙ නමස්සෙය්‍ය - සක්කරෙය්‍යාථ පණ්ඩිතො”

යනු හෙයින් දිවි හිමියෙන් උපස්ථාන කොට ලා දිවි හිමියෙන් නැඳි මයිල් බෑබුන් ආදි වූ කුල දෙටුවන්ට ආදර සම්භාවනා කළහ. දිවි හිමියෙන් ම කවුරුන් වුව ත් අනුන්ට බස් මොළොක් කොට ම කිවු ය. දිවි හිමියෙන් ම භෙදාභිප්‍රායෙන් වේව යි පිය කම්මතාව නිසා වේවයි කේළාම් නො කීවෝ ය. දිවි හිමියෙන් ම දන් දීමෙහි මසුරු සිත් නැත්තෝ ය. දිවි හිමියෙන් ම බොරුවක් නො කීහ. දිවි හිමියෙන් ම අනුන් කෙරෙහි ක්‍රෝධ නො කළාහ. පෘථක් ජන සන්තාන හෙයින් ක්‍රෝධයක් හට ගත් නමුත් වහා ම සන්හිඳුවති. ඒ ක්‍රෝධ නො කළා හා ම සරි ය. මෙ සේ, හෙම්බා මහාලීනි, මඝ මානවකයන් මේ කළ පින් කම ය’යි වදාරා ලා මහාලී රජ්ජුරුවන් විස්තර කොට ම අසනු කැමැති හෙයින් ‘එ සේ වී නම් අවික්ෂිප්ත ව අසව’යි වදාරා ලා ඉකුත් වත් කථාව දක්වන සේක්:-

යටගිය දවස මගධ රට මච්ඡල නම් ගම මඝ නම් ළදරුවාණ කෙනෙක් ගම කර්‍මාන්ත කරණ තෙනට ගොසින් තමන් සිටින තෙන පයින් කසළ ඉවත් කොට පියා පවිත්‍ර කොට ගෙන සිටියහ. අනික් කෙනෙක් එතැනට අවුත් එතැන පවිත්‍ර නියාව දැක මඝයන් සිටියවුන් බලා උන් උරවටින් ගසා ඉවත් කොට ලා තුමූ එ තැන සිටියාහු ය. ඉනු ත් ප්‍රකාශ වන්නා ක්‍ෂමා ව ම හෙයින් මඝයෝ ඊට නො කිපී ම එ තැන උන්ට ම හැර ලා අනික් තෙනක් පවිත්‍ර කොට ගෙන සිටියහ. අනික් කෙනෙක් එ තැනට අවුත් එ තැන පවිත්‍ර නියාව දැක මඝයන් උරවටින් ගසා ඉවත් කොට ලා තුමූ එ තැන සිටියහ. මඝයෝ උන්ට ත් නො කිපී අනික් තෙනක් ඉදි කොට ගෙන ගියහ. තම තමන් ගෙවල සිට එ තැනට ආ කීප දෙනෙක් මඝ නම් ළදරුවාණන් උරවටින් ගසා ඉවත් කොට ලා උන් ඉදි කළ තෙන තුමූ සිටියහ.

මඝ මාණවකයෝ‍ ‘මා ඉදි කළ කළ තැන් මුන්ට ප්‍රිය වූවා සේ ම මුන් හැම අවුත් සිටි නියාව මට ත් ප්‍රිය ය. මේ එක් තරා පින් කමක් විය යුතු ය. පින් කමෙහි ඉෂ්ට විපාකයක් මුත් අනිෂ්ට විපාකයක් වන්ට නැතැ’යි සිතා දෙ වන දවස් එන්නෝ උදැල්ලක් ගෙනවුත් කළ විටක් විවර[1] තැන් සැස පියා හැමඳ පවිත්‍ර කළහ. ඊයේ දවස් එක් තැන් වූවෝ හැම අවුත් ඒ සැස පී තෙන සිටියෝ ය. උන්ට සීත වේලෙහි ගිනි‍ මොළවා දුන්හ. ඉක් බිත්තෙන් ‘සිත් කලු තැන් කවුරුන්ට ත් ප්‍රිය නියා වේ ද? මෙ වක් පටන් යන්ට එන්ට දුර්‍ග මං පෙත් ඉදි කෙළෙම් නම් ඒ මඟ නිසා පැවැති කුසල් මගින් දෙව් ලොවට යා හැක්කැ’යි සිතා උදාසන ම අවුත් මං තනමින් කපා හළ යුතු කැල කපා හරිමින් ඇවිදිති. උන් කරණ දෑ දැක අනික් කෙනෙක් ‘සබඳ කුමක් කරව්දැ’යි විවාරා ‘දිව්‍ය ලෝකයට යන්ට මඟක් ඉදි කෙරෙමි” කී කල්හි ‘මම ත් තොපට සහාය වෙමි’යි කීහ. ‘යහපත, සබඳ, ස්වර්‍ග සම්පත් නම් කවුරුන් ට ත් යහපත් වේදැ’යි කියා ලා එ වක් පටන් දෙන්නෙක් වූ ය. තවත් එ සේ ම විචාරත් අනික් කෙනකුත් සහාය වූ ය. අනික් කෙනකුත් සහාය වූ ය යි එක් ව තෙතිස් දෙනෙක් මුළු වූහ. ඌ හැම දෙන ම කැති-පොරෝ-හුදලු හැර ගෙන මං ඉදි කෙරෙමින් සතර ගවු අට ගවු පමණට ත් යෙති.

උන් හැම මෙ ලෙස කරන්නවුන් දැක එම ගම ගම් මුදලියා ‘මූ හැම මං ඉදි කරම්හ යි කියා ලා නො කළ මනා දෙයක් ම කෙරෙති. මූ හැම දෙන වලට ගොසින් දඩ මස්සන් කුඩ මස්සන් ගෙනවු නම් හෝ රායක් බොත් නම් හෝ අනිකුත් එ බන්දක් කෙරෙත් නම් හෝ ඉන් ගම් පිඩි ආදි ය මමත් ලබමි’ සිතා උන් හැම ගෙන්වා ලා කුමක් කොට ඇවිදිනා නියා ද යි විචාළෝ ය.

‘අපි දෙව් ලොව යන්ට මං ඉදි කරම්හ’යි කී කල්හි ‘ගිහි ව රැකෙන්නවුන් තෙලේ කළ මනා දෙයෙක් නොවෙයි. දඩ යම් කොට දඩ මස් හෝ ගෙනව මැනව කුඩ මස්සන් හෝ මරා ගෙන ගෙනව මැනව. රා හෝ පුව මැන ව. තව තවත් රැකෙන්ට මඟක් කළ මැනව. තෙල කරන්නේ නො මඟක් මුත් මඟෙක් නො වෙ’යි කිවු ය. ඌ ඒ නො ගිවිස්සෝ ය. තව තවත් කීව ත් නො ගිවිස්සෝ ම ය. එ තෙමේ තමා කී ලෙස නො කරත් හෙයින් කිපී පියා ‘ඊට නිහඬ දනිමි’ රජ්ජුරුවන් ළඟට ගොසින් ‘මුළු ව ගෙන සොර කම් කොට ඇවිදිනා සොරුන් මුළක්[2] දිටිමී’ කියා ලා ‘පිරිස් ඇර ගෙන ගොසින් අල්වාගෙන එව’යි විධාන ලදින් එන්ට කියා ලූ පමණින් එන ඇත්තවුන් ගෙනවුත් රජ්ජුරුවන්ට පෑ ය. රජ්ජුරුවෝ ද ආද්‍යන්ත නො සලකා ‘ඇතුන්ට ලවා පියව’යි විධාන කළහ.

මඝ මාණවකයෝ ඒ අසා සෙස්සවුන්ට ඔවා[3] දෙන්නෝ ‘සබඳිනි, අපට මෙ තැන්හි දී මෙත් පිහිටට වඩා අනික් පිහිටෙක් නැත. තෙපි කිසි කෙනකුන් කෙරෙහි ත් නො ඝටා රජ්ජුරුවන් වහන්සේ කෙරෙහි ත් විෂම කම් යෙදූ ගම් මුදලියා කෙරෙහි ත් නියෝගයෙන් මඬ නා ඇතු කෙරෙහි ත් තොප හැම දෙනා කෙරෙහිත් සම ව මෙත් පවත්වව’ කිවු ය. උයි ත් එ ලෙස ම කළහ. උන් හැම දෙනාගේ මෙත්තානුභාවයෙන් මඬනා තබා ගිනි වැටක් ළඟට මැස්සකු පරිද්දෙන් ළං විය නො හිණ. රජ්ජුරුවෝ ඒ අසා බොහෝ දෙනා හෙයින් මැඬ ගත නො හෙන නියා යැ යි කළාල් කඩ වලින් වසා මඬවාපියව යි කිවු ය. කළාලෙන් පැදුරෙන් වසා ලා මඬවන්ට මෙහෙයූව ත් ක්‍රොධයෙන් නො වැසුනු හෙයින් හා උන් තෙ තිස් දෙනාට පිට පුරා මෙත් නැමැති යෝධයන් ඇති හෙයිනුත් මිරිකන්ට ගිය ඇතා දුරම රඳා පීය. රජ්ජුරුවෝ එයිත් අසා කාරණයක් ඇත මැනැවැ’ උන් හැම ගෙන්වා ගෙන ‘ඇයි සගයෙනි, මා නිසා කුමක් නො ලබවු ද? මෙ සේ කරන්නේ හැයි දැ’යි විචාරා ‘කුමක් ද රජ්ජුරුවන් වහන්සැ’යි විචාළ කල්හි ‘තොප වල් සොරව ගෙන සොරකම් කෙරෙතී අසමී’ කිවු ය. ‘කීවෝ කවුරු දැ’යි විචාළ කල්හි ගම් මුදලියා කී නියාව කිවු ය.

ඔහු හැම දෙන ඒ අසා ‘ස්වාමීනි, අප කරණ සොර කම් නැත. සොර කම් නම් අපායට මඟක් සෙයින් බුදු හමුවක් නො වන හෙයින් දෙව් ලොවට යන්ට අනික් මඟක් නො දැක නිවන් පුර යන්ට මං පානවුන් නැති හෙයින් නිකම් හිඳිනා ගමන් දෙව්ලොවට යන්ට මං ඉදිකරම්හ’යි කියා ලා ‘ගම්මුදලි නො එක් පව් කම් යොදා අප නො යෙදෙන හෙයින් අපට විනාස කමට කිවු ය’යි කීහ. රජ්ජුරුවෝ ඒ අසා ‘අනේ තිරිසනුන් පවා තොප හැමගේ තරම දත. මම දන්නා තරමේ සිට ත් නො දත්තෙමි. නොදැන කළ දෙයට ක්‍ෂමා කරව’ යි කියා ලා අඹු දරුවන් පිටින් ම ගම් මුදලියා උන්ට ප්‍රසාද වහල් කොට දෙවා පියා ඇතු ත් නැඟී ඇවිදින්ට දී ලා මචලගමත් පමුණු කොට දුන්හ. ඌ හැම දෙනත් ‘අප කළ පිනෙහි විපාකය කුසල් ජවන් සතින් පළමු ජවන ය දෘෂ්ට ධර්‍ම වෛද්‍ය විපාක දායි හෙයින් මේ ලොව ම ලදුම්හ’යි බලවත් ව සතුටු ව ලද්දා වූ ඇතා දවස එක් කෙනකුන් ඔබාදීන් නැගී ඇවිදිනාහු ‘මේ තරම් පිනෙකින් මේ තරම් ලෙසක් ලත් කල වැඩියුරුවක් ලබනු නිසා වැඩියුරු පින් කම් කරන්ට වුව මනා වේ ද, කුමක් කර මෝදැ”යි කථා කොට මා වත් බඩෙක යන එන්නවුන් සැතපෙන ලෙස තර පාරු කොට ලා සිවුරැස් ගෙයක් කරම්හ යි නියම ව වඩුවකු ගෙන්වා ගෙන ඌ ලවා ශාලාව කරවන්ට පටන් ගත්හ.

තමන් හැම දෙනා රජ්ජුරුවන් කරා ගෙන යන නියාව දැන්වූ සේ යහපතැ යි සතුටු වූ හෙයින් විරක්ත වූ සිත් ඇති ව පසු වත් එක් ව යෙද් දෝ හෝ යි ගෑනු කෙනකුන් ම එ තමන් කරණ පින්කම මුසු නො කොට ශාලාව කරවන්ට සිතති. මඝ මානවකයන්ගේ ගෙයිත් නන්දාවෝ ය, චිත්‍රාවෝ ය, සුධර්මාවෝ ය, සුජාතාවෝ යයි අඹුවෝ සතර දෙනෙක් ඇත. උන් සතර දෙනාගෙන් සුධර්මාවෝ ඒ පින් කම තමන් එක්ව නො කරණ හෙයින් වඩුවාට සංග්‍රහයක් කොට ඌ සිත් ගෙන ලා ‘අයිය’ මේ පින් කමට තොපගේ බලයෙන් මා ත් මුසු කරව’යි කිවු ය. උයි ත් අත්ලස් බලයෙන් යහපතැ යි ගිවිස පළමු කොට කැණි මඬලට නිසි දණ්ඩක් කපා දිය බස්වා ගෙන සැස විද කැණි මඬල නිමවා ලා කැණි මඬල පත්ලෙහි ‘මේ ශාලාව සුධර්මාවන්ගේ ශාලාව ය’යි අකුරු කොට ලා කඩෙකින් වසා ලා තබා ලූ ය.

ඉක් බිත්තෙන් ඒ ශාලාව නිමවා ලා කැණි මඬල නඟන දවස් ‘හැයි ස්වාමිවරිනි, සලකුණු නො කළ දෙයෙක් ඇතැ’යි කියා කුමක් දැ යි විචාළ කල්හි කර්ණිකා මණ්ඩලයෙකැ යි කියා ගෙනෙම්හ යි කී කල්හි ‘දැන් ගෙනා දඬු දිය බස්නට නැති හෙයින් ගෝණැස් පුරවා ලූ කලට සිථිල වෙයි. එසේ හෙයින් ඉන් කට නො හැක්ක. කොට නිමවා තුබූ කැණි මඩලක් ලදොත් යහපතැ’යි කිවු ය. ‘එසේ වන්නා, කළ මනා කුමක් දැ’යි විචාළහ. ඉදින්, කිසි කෙනකුන්ගේ ගෙයි විකුණන්ට තිබෙන කැණි මඬුල්ලෙක් ඇත් නම් ඒ සෙවිය යුතු ය’යි කිවුය. උයිත් සොයන්නාහු සුධර්මාවන්ගේ ගෙයි තුබූ කැණි මඬල දැක මසුදහසකට ඉල්ලාත් පින් මිල මුත් රන් මිලයෙන් කම් නැති හෙයින් උන් ගෙන් නො ලත්හ. ‘ඒ පින් කම මුසු කරතොත් දෙමි’යි කී කල්හි කැණි මඬලක් පමණකට මුසු නොකරම්හ’යි කිවු ය.

වඩුවාණෝ කියන්නෝ ‘මුඹ දෑ හැම කියන්නේ කුමක්ද? බඹ ලොව හැර ගෑනුන් නැති තැනකුත් ඇද් ද ? කැණි මඬල පමණ කින්ම මුසු වන්නේ ත් කිම් ද ? කැණි මඬල ගත මැනව. අපගේ කර්‍මාන්ත ය නිමවා යන්ට වුව මනා වේ දැ’යි කිවු ය. උයි ත් යහ පතැ යි කැණි මඬල හැර ගෙන මඬුලු නංවා ශාලාව නිමවා ලා එක් භාගයෙක පොහොසතුන් සැතපී හිඳිනා ලෙස හා එක් භාගයෙක දුක්පතුන් හා එක් භාගයෙක ගිලන් මිනිසුන් හා සැතපී හිඳිනා ලෙසට තුන් භාගයෙක් කොට බෙදා ලූහ. තෙ තිස් දෙන පුවරු තෙතිසකු ත් ලා ලා ඇතුට ‘ආගන්තුක කෙනෙක් අවුත් යම් කෙනකුන් ලූ පෝරුව පිට හුන්හු නම් උන් පිට හිඳුවා ගෙන අවුත් පෝරුව ලූ තෙනැත්තන්ගේ ගෙයි ලාලව’යි විධාන කළහ. ඇතා ත් එලෙස ම කෙරෙයි. එ දවස් උන්ට කළ මනා යම් සාදයෙක් ඇත්නම් පෝරුව ඇති තැනැත්තෝ ම කෙරෙති.

මඝ මාණවකයෝ ශාලාවට නුදුරු කොට කොබෝලීල පැළයක් හිඳුවා ලා ඒ පැළය මුල ගල් ලෑල්ලක් ලවා ලූ ය. ශාලාවට වන් කෙනෙක් කැණි මඬලෙහි අකුරු කියවා පියා සුධර්මා නම් ශාලාව ය යි කියති. වෙහෙර කළවුන් පිටත ඇන්දූ සේ තෙ තිස් දෙනාගේ ම නමෙක් නො පෙනෙයි. නන්දාවෝ සිතන්නෝ ‘මූ ශාලාව කරණ ගමනේ අප මුසු නො කොළෝ ය. සුධර්මාවෝ තමන් නුවණැති හෙයින් මුසු වූහ. මා ත් මුසු වුව මැනව. කුමක් කෙරෙම් දෝ හෝ’යි සිතා ‘මේ ශාලාවට ආවවුන් බී පියන්ට පැනු ත් නා පියන්ට පැනු ත් ඇත මැනව. පොකුණක් කරවමී’ එ ලෙස පොකුණක් කරවා ඒ පින් කමට මුසු වූය.

චිත්‍රාවෝ ‘සුධර්මාවෝ කැණි මඬලක් ලැවූ ය. නන්දාවෝ පොකුණක් කැණ වූ ය. මා ත් එකක් කරවා පින් කමට මුසු වුව මැනැවැ’යි ශාලාවට ආවවුන් නහා පැන් බී යන කල මල් පැළැන්ද මනා වේද, මල් වත්තක් කරවමි’යි සිතා වත්තක් කැරවූ ය. බොහෝ සේ මල් වත්තේ මල් ගන්නා ගසින් නැති ගසෙක් නො වී ය. සුජාතාවෝ ‘මම් මේ මඝ මානවකයන්ට සෙස්සවුන් සේ නො වෙමි. නැඳි මයිල් සරණ ය. උන් කළ පින් කමෙක් ඇත් නම් මා කෙළේ ය. මා කළ පින් කමෙක් ඇත් නම් උන් කෙළේය’යි සිතා පිනෙක පහළ දෙයක් ම නො කොට දෙතිස් කුණු කොටසින් පිරුණු අත් බැව ම පිරි මැසූහ.

මඝ මානවකයෝ ද දෙ මවු පියන්ට උපස්ථාන කිරීම් ආදි වූ පින් කම දිවි පමණින් හැසිර ආයු කෙළවර තව්තිසා දෙව් නුවර සක් දෙව් රජ ව උපන්හ. එක් ව පින් කළ දෙ තිස ද එම දෙව් ලොව ම උපන්හ. වඩුවාණෝ ද විස් කම් දෙවි පුත් ව උපන්හ. එ කල තව්තිසා දෙව් නුවර අසුරයෝ වෙසෙති. ඔහු ද අලුත් දෙවියෝ උපන්හ යි දිව රායක් සැරහූ ය. ශක්‍රයෝ තමන්ගේ පරිසදින් කවුරුනු ත් නො බොන්ට විධාන කළහ. අසුරයෝ තුමූම බීලා මත් වූහ. ශක්‍රයෝ ‘මුන් හා එක්ව කරණ දිව්‍ය රාජ්‍යයෙන් ප්‍රයෝජන කිම් දැ ‘ යි පර්‍ෂදට කියා ලා පා අල්වා ගෙන මහ මුහුදට දම්මවා පීහ. ඌත් ඉස් බිම් බලා මුහු ද හුණුවාහු ය. උන්ගේ කුශලානුභාවයෙන් මහ මෙර පත්ලෙහි ශක්‍ර පුර ය සා ම අසුර විමන පහළ වි ය. පරසතු මඳාරා ගස් විතරම සිත් පළොල් ගසකු ත් ඇති විය.

දෙවියන් අසුරන් හා සටන් කොට අසුරන් පැරදි කල මෙර මුදුනෙහි සතළිස් දහසක් ගවු පමණ දිග-පළල ඇති ව ගවු එක් ලක්‍ෂ විසි දහසක් පමණ වට ඇති ව තව්තිසා දෙව් නුවර පහළ විය. ඒ නුවර නැගෙන හිරි වාසල පටන් බස්නා හිරි වාසලට අතුර සතළිස් දහසක් දහසක් ගවු ය. දකුණු දිග වාසල පටන් උතුරු දිග වාසලට ත් එ පමණ ය. එ නුවර වටා සිටි රුවන්මුවා පවුරෙහි සත් රුවන් මුවා ම දොරටු දහසෙක් ඇත. එ නුවර උයන් වලිනු ත් පොකුණු වලිනු ත් සෑදී සිටී. එ නුවර මැද ශාලාවෙහි අනුසසින් එක් දහස් දෙ සියයක් ගවු පමණ උස ඇති ධජයකින් හෙබියා වූ දෙ දාස් අට සියයක් පමණ ගවු උස ඇති ධජ හා එක් වී නම් ගවු සාර දහසක් පමණ උස ඇති විජයත් නම් පායෙක් පහළ විය.

ඒ මාළිගාව වට ත් පවුර ගාවත් රන් ලී අග මැණික් ධජ එළෙයි. මැණික් ලී අග රන් ධජ එළෙයි. පබළු යටග මුතු ධජ එළෙයි. මුතු. යටග පබළු ධජ එළෙයි. සත්රුවන් ලී අග සත් රුවන් ධජ එලෙයි. කොබෝලීල පැළ ය ලා ලූ අනුසසින් මුල පටන් අග දක්වා සාර සියයක් ගවු උස ඇති වටින් එක් දහස් දෙසියයක් වට ඇති පරසතු මඳාරා ගස ඇති විය. ගල් ලෑල්ලෙහි අනුසසින් පරසතු රුක මුල දෙ සිය සතළිස් ගවුවක් පමණ දිග ඇති ගවු දෙ සියයක් පමණ පළල ඇති සැට ගවුවක් පමණ බොල ඇති බඳු වද මල් ගොඩක් සේ රත් වූ පඬු ඇඹුල් සලහස්න පහළ විය. ඇත් ඓරා වණ නම් දෙව් පුත් ව උපන.

දෙව් ලොව තිරිසනුන් නැති හෙයින් සක් දෙවිඳු උයන් කෙළි යට යන කල ඓරාවණ නම් දිව්‍ය පුත්‍රයා තමාගේ දිව අත් බැව හැර ලා දිගින් ගවු සියයක් විතර දිග ඇති තුන් සිය සැට ගවුවක් විතර උස ඇති ඇත් වෙසක් මවයි. ශක්‍රයන් ඇතුළු වූ තෙ තිස් දෙනාට කුඹ තෙ තිසක් මවයි. එක් ව පින් කළ දෙ තිස් දෙනාට[4] මැවූ කුඹ දෙතිසට මධ්‍යයෙහි ශක්‍රයන්ට මැවූ කුඹ දිගින් පළලින් එක් සිය විසි ගවුවක් විතර දිග-පළල ඇත්තේ ය. සෙසු කුඹ ගවු දෙගවු පමණය. ශක්‍රයන්ට මැවූ එක් සියවිසි ගවුවක් පමණ විතර කුඹ මුඳුණෙහි අට සාලිස් ගවුවක් විතර දිග-පළල ඇති රුවන් මණ්ඩපයක් මවයි. ඒ මණ්ඩප ය ඇතුළත අතරතුරේ රුවන් මුවා සතර ගවුවක් පමණ උස ඇති ධජ සිටියි. මණ්ඩපය කෙළවර මඳ මඳ සුළඟින් සැලුණු කලට මනහර නාඳ පවත්වන රන් රසු දැළෙක් එළෙයි. මණ්ඩප මැද ශක්‍රයන් හිඳුනට සතර ගවුවක් උස ඉඳුනිල් මිණිමුවා හස්නෙක් පැනවී තිබෙයි. ශක්‍රයෝ එහි හිඳිති.

කුඹ තෙ තිසින් එකි එකී කුඹ දළ සතක් සතක් වන නියා යෙන් ඇත් දළ දෙ සිය එක් තිසක් මවයි. ඉන් එකි එකී දළෙක් දෙ සියයක් ගවු විතර දිග ඇත්තේ ය. එකි එකී දළ පොකුණු සතක් සතක් වන නියායෙන් එක් දහස් ස සිය දස සතක් පොකුණු මවයී. එකි එකී පොකුණේ නෙළුම් පඳුරු සතක් සතක් වන නියායෙන් නෙළුම් පඳුරු එකොළොස් දහස් තුන් සිය දස නවයක් මවයි. එකි එකී පඳුරේ නෙළුම් මල් සතක් සතක් වන නියා යෙන් නෙළුම් මල් සැත්තෑ නව දහස් දෙ සිය තෙ තිසක් ක් මවයි. එකි එකී නෙළුම් මල් පෙති සතක් වන නියායෙන් මල් පෙති පස් ලක්‍ෂ සිවු පනස් දහස් ස සිය එක් තිසක් මවයි. මෙ සේ එකි එකී පෙත් තක නටන දෙව් දූන් සත් සත් දෙනෙකු බැගින් ප්‍රධාන දෙව් දූන් අට තිස් ලක්‍ෂ දෙයාසූ දහස් සාර සිය දස සත් දෙනකු මවයි. එකි එකී දෙවතා දුවට පිරිවර දෙවතා දූන් සත් සත් දෙනා බැගින් පිරි වර දෙව් දූන් දෙ කෙළ එක් සැත්තෑ ලක්‍ෂ සැත්තෑ දහස් නව සිය දස නව දෙණකු මවයි. මෙ සේ වටින් දෙ සියයක් ගවු විතරේ ඇත් දළ වල ම රඟ මඬුලු වෙයි. මෙසේ මහා සම්පත් විඳිමින් ශක්‍රයෝ පොළඹති.

සුධර්මාවෝ මිය එම දෙව් ලොව ම සුධර්මා නම් දිව්‍යාඞ්ගනා ව උපන්හ. රියනක් උස කැණි මඬලෙහි අනුසසින් දිගිනු ත් පළලි නු ත් එක් දහස් දෙ සියයක් ගවු විතර දිග-පළල ඇති උසින් දෙ දාසක් ගවු විතර උස ඇති වටින් තුන් දාස් ස සියක් ගවු විතර වට ඇති සුධර්මා නම් වූ ඊට වඩා අනික් සිත් කලු තෙනක් නැති දිව්‍ය මණ්ඩපයෙක් පහළ විය. මසකට අට දවසක් බණෙකුත් එහි පවත්වති. අද දක්වා ත් සිත් කලු වූ තෙනක් දුටු විට සුධම් දෙව් සබය සේ ය යි කියති.

නන්දාවෝත් මිය එ ම දෙව් ලොව නන්දා නම් දිව්‍යාඞ්ගනාව උපන්හ. උන් ගේ කුශලානුභාවයෙන් දිගින්-පළලින්-ගැඹුරෙන් දෙ දාසක් ගවු පමණ දිග-පළල-ගැඹුරු ඇති නන්දා නම් පොකුණෙක් පහළ විය. චිත්‍රාවෝ ත් ත්මිය එ ම දෙව් ලොව ම චිත්‍රා නම් දිව්‍යාඞ්ගනා ව උපන්හ. උන්ගේ කුශලානුභාවයෙන් ගවු දෙදාසක් පමණ දිග – පළල ඇති සිතු ලිය නම් උයනෙක් පහළ විය. මෙ සේ උන් තුන්දෙනා මිය ත් ශක්‍රයන්ට ම අඹු වූ කල්හි සුජාතාවෝ ත් මිය තමන් කොට ඇවිදි ලෙසට හිමාල වනයේ එක් කඳු රැළියක කණ කෙකිනි ව උපන්හ.

ශක්‍රයෝ ත් තමන් මඝ මානවක අවස්ථාවෙහි අඹුවන් සතර දෙනා උපන් තැන් විමසන්නෝ ‘සුධර්මාවෝ ත් නන්දාවෝ ත් චිත්‍රාවෝ ත් මා ළඟ උපන්හ. සුජාතාවෝ කොයි උපන්නුදැ’යි බලා කණ කෙකිනි ව උපන් නියාව දැන ‘නුවණ නැති තෙනැත්තී කිසි පිණත් නො කොට තිරිසන් ව උපන්හ. දැන් වී නමුත් පිනෙක යොදා මෙයට එන ලෙසක් කෙරෙමී’ ශක්‍රාත්මභාව ය හැර ලා අප්‍රසිද්ධ ලෙසකින් උන් ළඟට ගොසින් කුමක් ඇවිදී දැ යි විචාරා ‘මුඹ කවුරුදැ’ යි විචාළ කල්හි ‘මම තොප ගේ පූර්ව ජාතියෙහි ස්වාමී ව සිටි මඝ මාණවකයෝ ය’යි කිවු ය. කොයි උපන් සේක් දැ යි විචාළ කල්හි ‘තව්තිසා දෙව් ලොව ශක්‍ර ව උපනිමි. තොපගේ බුහුනණියන් උපන් තැන්දනු ද’යි විචාළෝ ය. ‘නො දනිමී’ කී කල්හි “ඌ ත් මා ළඟ ම උපන්හ. උන් දක්නා කැමැත්තෝ දැ’ යි විචාළෝ ය ‘මම වන්නා දක්නා කැමැත්තෙම් වේද? යන්නේ කෙසේ දැ’යි විචාළී ය. ශක්‍රයෝ දිව්‍ය ලෝකයට ම ගෙන යනු කැමැති බැවින් එහි ඇලුම් කරවා පින් කම හසුරුවන්ට “මම තොප කැඳවාගෙන යෙමි’යි විලෙකින් කඩා ගත් හෙළ නෙළුම් මලක් මෙන් කණ කෙකින්න අත්ලෙහි හිඳුවා ගෙන දෙව් ලොවට ගෙන ගොසින් නන්දා නම් පොකුණ බඩ හිඳුවාලා දෙවඟනන් තුන් දෙනාට ගොසින් තොපගේ නැඟණියන් සුජාතාවන් බලන්ට යව’ යි කිවු ය.

ඌ තුන් දෙන ත් කොයි දැ යි විචාරා නන්දා නම් පොකුණබඩ නියාව කී කල්හි තුන් දෙන ම එ තැනට ගොසින් ‘අනේ අපගේ නැගණියන්ගේ රුවක් බලව. කැට පත් තබා ගෙන සැරහුණු ලෙසට මේ කුමක් ද? දත් මැද බුලත් කා සැරහූ කට ත් කතුරු තුඩක් සේ තිබෙයි. පා මුදු පාඩගම් ලා සැරහූ පා මූකුරා ගිය රත්තම් පලා දඬු සේ කොරළ හිඳී තිබෙයි. අඳුනක් නො ගා නො තබන ඇස්වල අඳුනක් ගානා සැටි ම නැත. අතක් නමා පිණක් නොකළ හෙයින් අතු ත් නැත. මඝ මාණවකයන් කළ පින් රැක උන් බව මුත් ඉනු ත් සම්භ වූ දෙයෙක් ඇති සැටි නො වෙයි යනාදීන් වෙහෙසා පුරා පියා නැඟ ගියහ. සක් දෙවිඳු නැවත අවුත් ‘තොප ගේ බූන් දුටු දැ’යි විචාරා ‘දුටුම්හ. ආ වේලේ පටන් සුව දුක් කිම් දැ යි යන බස් පමණකු ත් නැති ව පිණක් නො කළ ලෙසටම වෙහෙසුවෝය. මා ඔබ මලන්ට වුව මැනැවැ’යි කීකල්හි ඔබ ම ගෙන ගොස් ලා ලා ‘තොපගේ බූනුන්ගේ සම්පත් දුටු දැ’යි විචාළෝ ය. ‘දිටිමී’ කී කල්හි ‘තොප ත් ඔබ උපදින්නට නිස්සක් කළ මනා වේ දැ’යි කිවුය. ‘කුමක් කෙරෙම්දැ’යි විචාළ කල්හි’මා කියාලූ ලෙසක් කරව් දැ’යි විචාරා කෙරෙමී කී කල්හි පන් සිල් දීලා ‘නො පමා ව පන් සිල් රකුව’යි කියා ලා නැඟී ගියෝ ය.

උයි ත් එවක් පටන් තමන් තමන් ම මිය ගිය කුඩ මස්සන් සොයා කති. සක් දෙවිඳුද දවසක් පන්සිල් රැකීමෙහි තරම විමසනු නිසා අවුත් වැලි තලාව පිට මළ කුඩ මස්සකු සේ හොත්හ. කෙකිනී ත් ඔහු දැක මිය ගිය යි සිතා ඩෑ ගෙන ගලන්ට වන් කල කුඩ මස්සා නඟුට සොලවා ලී ය. නො මළ නියා වේ දැ යි දියට දමා පීහ. මඳක් කල් යවාලා නැවතත් ‘මළ කුඩ මසු ලෙසින් උන්ට ඉදිරි ව ලා වැද හොත්හ. නැවත ත් මළ කුඩ මස්සකු ය’යි සිතා ඩෑ ගෙන ගලන්ට වන් වේලෙහි නඟුට සොලවා ලන්නා හැර පුව. මෙ සේ තුන්වරක් කොට විමසා පන්සිල් රක්‍ෂා කරණ නියාව යහ පත් නියාව දැන ශක්‍රයෝ තමන් නියාව හඟවා ලා ‘තොප විම සනු නිසා අයිමි. සිල් රක්‍ෂා කරණ නියාව යහපත. මෙ ලෙස ම වී නම් නොබෝ කලෙකින් මා ළඟ උපදුව’යි කියා ලා ගියහ.

උයි ත් එ වක් පටන් තමන් තමන් මළ කුඩ මස්සන් ලබන දවසට ත් වඩා නො ලබන දවස් බොහෝ ව ගිය හෙයින් නිරා භාර ව මිය රක්‍ෂා කළ පන්සිල්හි බෙලෙන් බරණැස කුඹලාණ කෙනකුන්ට දූ ව උපන. උපන් පසළොස් හැවිරිදි අවස්ථාවේ කොයි උපන්නු දැයි ශක්‍රයෝ බලන තැනැත්තෝ කුඹල් ගෙයක උපන් නියාව දැන ‘ඔබ ගොස් වුවමනා වේ දැ’යි කැකිරි සේ පෙනෙන සත් රුවනින් ගැලක් පුරා ගෙන ගැල පැද ගෙන බරණැසට ගොසින් ‘කැකිරි ගනුව, කැකිරි ගනුව’යි කිය කියා වීථියෙහි ඇවිදිති. උඳු - මුං - කලත් ආදිය ගෙනවු ත් ඉල්වූවන්ට මිලයට නොදෙමී කියා දෙන්නේ කුමකට දැ යි විචාළවුන්ට ‘සිල් රක්‍ෂා කරණ ගෑනු කෙනකුන්ට දෙමි’යි කිවු ය. ඒ අසා හැම දෙන සිල් නම් තමා කළු ද, සුදු ද, වට ද, දික් ද, ලුහුඬු ද, කෙ සේ දැ’යි විචාල කල්හි ‘රකිනා ගෙරි සරක්ගේ පෑය පමණක් නම් පමණක් නොදන්නවුන් ගෙරි සරක් රැක්ම නැත්තා සේ සිල් නම් කවර බවක් නොදන්නා තොප හැම සිල් රක්‍ෂා කරන්නේ කෙ සේ දැ’යි උන්ට නො දී සිල් රකින කෙනකුන්ට දෙමී’යි කිවු ය. ‘එ සේ වී නම් මෙ ගම කුඹල් දුවණි කෙනෙක් පන් සිල් රකිමී’ කියා ඇවිදිති. උන්ට දුන මැනැවැ’ යි කිවුය.

කුඹල් දුවණියෝ ත් ‘එ බඳු කෙනකුන්ට දෙතො ත් මට දුන මැනැවැ’යි කිවු ය. ‘තෙපි කෙ සේ කෙනෙක් දැ’යි විචාළ කල්හි දන්නා තැන් පටන් තමන් පන්සිල් නො කඩ කොට රකිනා නියා ව කිවු ය. ‘එ සේ වී නම් මා ත් ගෙනායේ තොපට ම ය’යි කියා ගැල පැද ගෙන උන්ගේ ගෙට ගොසින් අනික් කෙනකුන් හැර ගත නො හැකි කොට ලා කැකිරි ලෙසින් ගෙන ගිය සත් රුවන් උන්ට දී ලා තමන් ශක්‍ර නියාව ත් දන්වා ලා ‘තොප දිවි හිමියෙන් රැකෙන්ට තෙල විචරක් ඇත. පන් සිල් නො කඩ කොට රකුව’යි සම්මත කොට ලා ගියහ.

උයි ත් දිවි පමණින් පන් සිල් රැක එයින් මිය අසුර භවනයෙහි ශක්‍රයන්ට වෛරී වූ නායක අසුරයාණන්ට දූ ව උපන්හ. ජාති දෙකක පන් සිල් යහපත් ව රැකී හෙයින් රූපත් වූහ. රන් වන් වූ හ. වෙපචිත්ති නම් අසුරිඳු දුවණියන් විචාරා ආ අසුර කෙනෙක් ඇන් නම් ‘තෙපි අපගේ දුවණියන්ගේ රූපින් තරමට තරම් නොව’යි කිසි කෙනකුන්ට ත් පාවා නොදී ‘ම දූ තමාට තරම් කෙනකුන් තොමෝ ම නිල කරන්නී ය’යි අසුරයන් රැස් කොට ලා ‘තොපට තරම් කෙනකුන් තෝරා ලව’යි උන් අතට මල් දමක් දුන්හ. එ වේලෙහි සක් දෙවිඳු කුඹල් දුවණියන් උපන් තැන් විමසා එ පවත් දැන ‘දැන් ඔබ ගොසින් කැඳවා ගෙන එන්ට වුව මැනැවැ’ යි මාලු අසුර වෙසක් මවා ගෙන ගොසින් පිරිස් කෙළවර සිටියහ. අසුරාඞ්ගනාවෝ ද ඈත් මෑත් බලා පෙර ඇති පෙම් බලයෙන් මහ වතුරක් එක් අතකට වඩනා සේ මහලු ලෙසින් සිටි ශක්‍රයන් සැටියෙන් මාලු වුවත් උන් තමන් මාලු නොවන හෙයින් උන් කැමැති ව මල් වඩම උන් මුඳුනට දමා ලූහ.

අසුරයෝ ද ඒ දැක ‘අනේ අපගේ අසුර රජ්ජුරුවන් වහන්සේ මෙ තෙක් කල් මුළුල්ලෙහි දුවණියන්ට තරම් කෙණකුන් නොලද ත් අද ලත් සේක. මුන් දෑගේ දුවණියන්ට ස්වාමි කමට කුමක් වුව ත් මුතුන් කමට හෝ මී මුතුන් කමට හෝ සම්භ වූ නියා යහපතැ’යි සරණ සොයා ගිය තුමූ හැම ම ලජ්ජාව ගෙන ගියහ. ශක්‍රයෝ ද උන් අත අල්වා ගෙන ‘කොල, මම අසුරයෙක් නො වෙමි. ශක්‍රයෝ ය’යි කියා ලා අහසට පැන නැංගෝ ය. අසුරයෝ ද ‘ජරා ශක්‍රයා අප ද රවටා පි ය’යි ලුහුබඳවා ගත්හ. මාතලී නම් රියැදුරු ද දිගින් ස සියක් ගවු පමණ විජයත් රථ ය ගෙනවුත් අතුරු මඟ සිටියේය. ශක්‍රයෝ සුජාතාවන් රථයේ ලා ගෙන දෙව් නුවර බලා නික්මුණාහ. ගුරුළුන්ගේ හිඹුල් වනයට ආසන්න වී රථය ගිය කල්හි රිය හඬ අසා ගුරුළු පැටවු හඬන්ට වන්හ. උන් හඬන හඬ අසා ශක්‍රයෝ මාතලීන් අතින් තෙල කුමක් දැ යි විචාරා රිය හඬට බිය පත් ව ගුරුළු පැටවුන් හඬන නියා ය යි කී කල්හි ‘මා එක තැනැත්ත වූ නිසා මෙතෙක් දෙනා රථයෙන් මිරිකී නස්නට කාරණ කවරේ දැ’යි සිතා රථය ආපසු කොට නවතා ලව’යි කිවු ය. මාතලී ත් අසුන් දහසට සැමිටියෙන් ගසා රථය නවතා ලී ය. රථය ආ පස්සට නැවති නියාව දැක අසුරයෝ ‘ජරා ශක්‍රයා යන්නේ ආ පස්සේ රථය නවතා ලී ය. පිට පුරා එන දෙව් පිරිසක් ඇති නියා ය යි බිඳී ගොසින් අසුර භවනයට ම වැද නැවත ඉසක් ඔසවා ලන්ට බල නැති වූ හ.

සක් දෙවිඳු ද සුජාතාවන් දෙව් නුවර ගෙන ගොසින් අඩුතුන් කෙළක් සුරඟනන්ට නායක කළහ. උයි ත් වරක් ඉල්වන්නෝ ‘සක් දෙව් රජ්ජුරුවෙනි. මේ දෙව් ලොව අපගේ නෑ සිය කෙනකුන් නැති හෙයින් යම් තෙනකට වඩිතො ත් අනික් තුන් දෙන කුමක් වුවත් මා කැඳවා ගෙන යන්ට වුව මැනැවැ’යි කිවු ය. ශක්‍රයෝත් යහපතැ යි ගිවිස්සෝ ය. එ තැන් පටන් අසුර භවනයෙහි සිත් පළොල් ගස මල් පිපෙන්නා ‘අප ගේ මඳාර ගස මල් පිපෙන කලැ’ යි අසුරයෝ සටනට නික්මෙති. ශක්‍රයෝ නයින් දියට සමර්ථ හෙයින් මූද ගාවා නයින් රැකවල ලූ ය. ඉන් උඩ ගුරුළුන් හා ඉන් උඩ කුම්භාණ්ඩයන් හා ඉන් උඩ යකුන් රැකවල ලා ලා උඩ රැකවලට වරමුන් සතර දෙනා නිලකොට ලා වාසල් දහසෙහි භිත්තිවල වජ්‍රායුධ ගත් ශක්‍ර රූප කරවා ලා සිටු වූහ. අසුරයෝ ද නාග, ගුරුළු, රකුස්, යක් සෙනග පරදවා උඩ නැංගෝ නමුත් ශක්‍ර රූ දැක ශක්‍රයන් ආ නියා ය යි බිඳී පලා යෙති.

මෙ සේ මඝ මානවකයෝ නො පමා ව කුසල්හි හැසිර මචල ගම ගම්මුදළියා හසර සිට ත් එම ජාතියේ ඌට මුදළිව පසු ව දෙ දෙව් ලොව දෙවියන්ට නායක වුව. පින් කම නො පමා ව විසීමට බුද්ධාදීහු ත් ප්‍රශංසා කෙරෙති. අකුසල්හි හැසිරීමෙන් පමාව වසන්නෝ නින්දා ලබති. පමා ව විසීම සියලු පවට කාරණ හෙයිනැ’යි බණ වදාළ සේක. බණ කෙළවර මහාලි ලිච්ඡවි රජ්ජුරුවෝ ශක්‍රයන් හඳුනන සේක් ද, කිම් දෝ හෝ යි යන සැකයෙක් ඇත් නම් එයින් බුද්ධාදී අට තැන්හි උපදනා සැක ත් නැති ව සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන නිවන් පුර වන්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මඝ මාණවකයන් ගම්මුදළියා කුමක් කීව ත් අකුසලට නො නැමී කුසල්හි හැසිර දෙව් සැප ත් සිද්ධ කළා සේ අකුසලින් දුරු ව කුසල්හි පිහිටා උභය සමෘද්ධිය සිද්ධ කටයුතු.

  1. විචර

  2. බුදක්

  3. ඔවාද

  4. තෙ තිස් දෙනාට