කසුප් බුදුන්ට ඉක්බිති ව අපගේ බුදුහු දීපඞ්කරාදී වූ සූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේ ගෙන් විවරණ ලදින් පැරුම් පුරා අවුත් වෙසතුරු අත් බැවින් පැරුම් බිම් නිමන හෙයින් එතැන දක්වා අවුත් දිවකුරු බුදුන්ගෙන් විවරණ ලත් තැන් පටන් කවර ත් බෝසතුන්ට ධර්‍මතා හෙයින් අවීචි මහා නරකයෙහි ත් සක්වළගලට පිටත් ව සක්වළ තුනකට මධ්‍යයෙහි තිබෙන ලෝ, ඇඳිරි මහ නරකයෙහි ත් නො ඉපැද, සකල ශරීර ය මුළුල්ල ම ගිනි කඳු ව තිබෙන ප්‍රේත ව ත්, කාලකඤ්ජක නම් අසුර ව ත් නො ඉපැද, තිරිසන් ව උපදිත ත් වටුවන්ට කුඩා ව නො ඉපැද, මිනිස් ලොව උපදනා කල ත් ජාත්‍යන්ධ නො ජාතීන් බිහිරි ත් නො ව, ජාතීන් ගොළු ත් නොව, පිළු ත් නො ව, සාරාසැකි කප් සුවහස් මුළුල්ලෙහි ස්ත්‍රී ත් නො ව උභතොබ්‍යඤ්ජනකත් නො ව, නපුංසක ත් නො ව, ආර්‍ය්‍යයන් කෙරෙහි ඇතුළතුත් නො ව, පඤ්චානන්තරිය කර්මයෙහි ත් නො හැසිර, කර්‍ම ක්‍රියාවාදී වත් මුත් මිසදිටු ත් නො ගෙන ස්වර්‍ගයෙනු ත් පන් සියයක් කපට ආයු ඇති අසංඥ බඹ ලොව ත් නො ඉපැද අනගැමි නො වන හෙයින් සුද්ධාවාසවල ත් නො ඉපැද, පැරුම් පුරා අවුත් වෙසතුරු අත් බැව සිට මහ පොළොව ගුගුරුවා මහ දන් දීමෙන් පැරුම් පුරා නිමවා ලා ආයු කෙළවර එයින් සැව තුසී පුරයෙහි සන්තුෂිත නම් දිව්‍ය රාජන් ව උපන්දෑ ය.
මහ බෝසතුන් තුසී පුරෙහි වසන කලට පැවති බුද්ධ කෝලාහලය අසා දස දහසක් සක්වළ දෙවි බඹුන් එක්තැන් ව රැස් ව මුන්දෑ බුදු වන නියා ව නියම කොට ලා උන්දෑත් ඒ දෙව්ලොවින් චුත වන්ට පළන් මල් මැලම් ආදී වූ පූර්ව නිමිත්ත ඇති කලට එක් තැන්ව රැස් වූ දෙවි බඹහු බෝසතුන් කරා ගොසින් ‘නිදුකාණෙනි, මුඹ පැරුම් පුරන ගමනේ ශක්‍ර සම්පත් බ්‍රහ්ම සම්පත් ආදියක් පතා පිරූ පැරුමෙක් නැත. පැරුම් පිරූයේ බුදු බැව් පතා ය. මේ බුදු වන්ට කලැ’යි කියා කල් දැන්වූහ.
මුන් හැම දන්වන තෙක් මහ බෝසතුන් බුදු වන්ට කල් නියා ව නොදත් නියා ද යත් - නො දන්ට කාරණ නැත. බණ දෙසීමට බ්‍රහ්මාරාධනාව ඇත මනා සේ මෙයි ත් ඇත මනා හෙයින.
මහ බෝසත්හු ද දෙවියන් ආරාධනා කළ කල්හි තව පිළිණ නො දී කල් දෙස් ආදි ය විමසන දෑ හවුරුදු ලක්‍ෂයෙන් ඔබ හා සියක් හවුරුද්දෙන් මුඹ කල් නොවන බව මුත් අතුරුකල් හෙයින් එවකට මිනිස් ලොව ආයු හවුරුදු සියයක් හෙයින් බුදුවන්ට මිනිස් ලොව උපදනට කලැ යි කියාත් දත් දෑ ය. තවද මිනිස් ලොව ත් උපන මනා ස්ථාන බලන දෑ දිවයින් සතරින් දඹදිව ඉපැද්ද යුතු ය යි නියම දැන තව ද දඹදිව මහත දස දහසක් යොදුන. දේශ කවරේ දෝ හෝ යි බලන දෑ ‘දිගින් එක් දහස් දෙසියක් ගවු පමණ වූ පළලින් ගවු දහසක් පමණ වූ වටින් තුන් දහස් සසීයක් ගවු පමණ වූ මධ්‍ය මණ්ඩලයෙහි කිඹුල්වත් නම් නුවරෙක් ඇත.
ඊ මා ඉපැද්ද යුතු ය’යි නියම දැන නැවත ත් ඉපැද්ද යුතු වූ කුල විමසන දෑ සර්වඥවරයෝ නම් ව්‍යාපාර කුලවල ත් ගොයි කුල වලත් නො උපදිති. උපදිතොත් රජ කුලයෙක හෝ බමුණු කුලයෙක හෝ ය. දැන් රජ කුලය උතුම් ව සිට්ටි. සුදොවුන් මහ රජහු තරම්හු ය’යි දැන මවුවන්ට තරමුන් විමසන දෑ සර්වඥවරයන්ට එ සේ මෙ සේ වූ කෙනෙක් මවු නොවෙති. කප්ලක්‍ෂයක් බුදු කෙනකුන්ට මවුවන්ට පතා අව මැනව. උපන් තැන් පටන් පන්සිලු ත් රකිති. මහාමායා බිසවුත් එතරම් හ. මට මවු වෙතී’ නියම කොට ආයු කෙතෙක් දෝ හෝයි බලන දෑ දස මස සත් දවසකට මුත් වඩා ආයු නැති නියා ව දුටු දෑ ය.
මෙ සේ මේ හැම දැක දෙවි බඹුන්ගේ ආරාධනාව ඉවසා සෙසු දෙවි බඹුන් යවා පියා තුසී දෙව්ලොව දෙවියන් පිරිවරා ගෙන සියලු දෙව්ලොව ම නඳුන් උයන් ඇති බැවින් තුසී දෙව්ලොව නඳුන් උයනට වැද ලා මිනිස් ලොව ව්‍යවහාර ලෙසට ඇසළ මස පුර පසළොස්වක් ලද අඟහරුවාදා උතුරු සළ ‘නකතින් මධ්‍යම රාත්‍රි වේලෙහි දෙව්ලොවින් චුත ව සුදොවුන් මහරජාණන්ට දා ව මහාමායා බිසොවුන් කුස පිළිසිඳගත් දෑ ය. මවු කුස පිළිසිඳ ගත් වේලාට දස දහසක් සක් වළ පොළොව ගිගිරීම් ආදි වූ දෙතිසක් විතර පූර්‍ව නිමිත්ත පහළ වි ය. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් වේලේ පටන් දෙ පුතු මවුන්දෑට ම උවදුරු නවතනු නිසා දේවතාවෝ සතර දෙනෙක් කඩු අල්වා ගෙන රකවල් ගත්හ.
මහාමායා බිසොවුන්ට ත් එ වේලෙහි පටන් දසමස් සත් දවසකින් පිරිමි වන තෙක් පුරුෂ ලොලත්‍ව ය නො වී ය. ලාභයෙන් යසසින් වැඩී ගියහ. දැරි ඇති සෙස්සවුන් සේ මහාමායා බිසොවුන් තමන් මහ පිනැති හෙයිනු ත් වදන පුතණුවන්දෑ මහ පිනැති හෙයිනු ත් කිසි දුකෙක් නැත. දෑවාණමය කරඬුවෙක වඩා ලූ රන් පිළිමයක් මෙන් වැඩහුන් පුතණුවන් දකිති. බෝසත් වරුන් විසූ මවුකුස් නම් ධාතු වැඩූ දාගබ් වැනි හෙයින්, අනික් කෙනකුන් ඒ මව්කුස පිළිසිඳ ගන්ට නො වන හෙයින්, බෝධිසත්‍වවරයන්ගේ මවු බෝසතුන් උපන් සත් දවසකින් මිය ගොසින් තුසීපුරයෙහි දිව්‍ය පුත්‍ර ව උපදිති. දරුවන් වදන සෙසු ස්ත්‍රීහු දසමස් නූපුරා ත් දස මසකට වඩා ය යි මෙසේ කල් වරදවා ත් හිඳත් වැදහෙවත් වදති. බෝසත්වරුන්ගේ මවු එ සේ වදන්නෝ නො වෙති. දස මසක් කුසින් උසුලා පියා සිට ම වදති. මේ කවර ත් බෝසත් කෙනකුන්ගේ මවුන් ස්වභාවයෙක.
මහාමායා බිසවු දසමසක් මුළුල්ලෙහි මහ බෝසතුන් කුසින් උසුලා පියා වදන අවස්ථාවෙහි නෑයන්හිඳිනා දෙව්දහ නුවරට යනු කැමැති ව සුදොවුන් මහ රජ්ජුරුවන්ට තමන් ඔබ යනු කැමැති නියාව කිවු ය. රජ්ජුරුවෝ ත් යහපතැ’යි ගිවිස කිඹුල්වත් නුවර පටන් දෙව්දහ නුවර දක්වා මඟ සමතල කොට කරවා ලා ධජ පතාක පුන්කලස ආදියෙන් මඟ සරහවා ලා මහමායා බිසොවුන් රන්සිවි ගෙයක හිඳුවා ලා මහ පෙරහරින් යවූ හ. නුවර දෙකට මැද දෙ නුවර ඇත්තවුන්ට ම ප්‍රයෝජනවත් වූ ලුම්බිනී නම් මඟුල් උයනෙක් ඇත. ඒ උයන ත් ඒ දවසට කොළ පතක් නැත්තා සේ මලින් ගැවසී සිට ගත. අතු හස්සෙන් හා මල් හස්සෙන් නික්මුණා වූ බමරුන්ගේ භෘඞ්ග නාදයෙන් ශෝභාමත් වූ දෙව්ලොව නඳුනුයන වැනි වූ සල් උයන දැක මහාමායා බිසොවුන් උයන් කෙළියට සිත නැමිණ. ඇමැත්තෝ ද රජ්ජුරුවන්ට කියා යවාලා මහාමායා බිසොවුන් ලුම්බිනී වනයට කැඳවා ගෙන ගියහ.
බිසොවුන් මඟුල් සල් ගස කරා ගොසින් ලා මල් පල්ලෙන් ගැවසී ගත් යම් අත්තක් අල්වනු කැමති වූ නම් ඒ අත්ත බිසොවුන්ගේ දකුණතට ආසන්න ව පැමිණ. බිසවු ද ඒ සල් අත්ත තඹ වන් ව අගින් උස් ව සිටිනා නියායෙන් බබළන්නා වූ පියුම් පෙති පෙළක් සේ ශෝභාමත් වූ මුලින් දළ ව අගින් සීන් ව තිබෙන වට වූ ඇඟිලි ඇති ව රුවන් වළල්ලෙන් හොබනා දකුණතින් අල්වා ගත්හ. සල් අත්ත අල්වා ගෙන සිටියා වූ මහාමායා බිසවු ද නිල් වලාකුළකට ළං වූ චන්ද්‍ර රේඛාවක් මෙන් ද නැතක් වේලා පවත්නා වූ විදුලියක් මෙන් ද, නඳුන් උයනට පැමිණි දෙවඟනක මෙන් ද, බබලන්නාහ. ඒ වේලේ ම විලි ත් පහරන්ට වන. වට පටකඩ තිරයක් අද්දවා ලා මිනිස්සු ඉවත් වූහ. ඒ වේලේ ම රන් වලා ගබකින් මෑ ත් වන පුන් සඳ මඬලක් මෙන් ම මහාමායා දේවි නමැති රන් වලා ගබින් බෝසත් නමැති පුන්සඳ නිකුත් වි ය. එ වේලෙහි දී රහත් බඹු සතර දෙනෙක් රන් දැලක් හැර ගෙන අවුත් මහ බෝසතුන් පිළිගෙන ලා බිසොවුන්ට සතුටු වුව මැනව. මුඹ වහන්සේට පිනැති පුතණු කෙනකුන් වහන්සේ සම්භ වූ සේකැ’යි කිවු ය.
සෙස්සෝ මවුකුසින් බිහි වූ කලට වදන තැන මුසු වුවන් ඉස් සෝධා නහන තරමට ඉතා අපවිත්‍ර වෙති. බෝසත්වරහු එසේ අපවිත්‍ර නොවෙති. දෙ අත් – දෙ පය ත් දික් කොට ගෙන මවු කුස කඳ ලේ ආදියෙහි ම නො වැකී සිට මවු කුසින් බිහි වන බැවින් කසී සළුවක තුබූ මිණි රුවනක් මෙන් ඉතා පවිත්‍ර ව බිහි වෙති. එ තකුදු වුවත් බෝසතුන්ටත්, මහාමායා බිසොවුන්ටත් සත්කාර නිසා ආසින් පැන් ධාරා දෙකක් අවුත් දෙ පුතු මවුන්දෑගේ ශරීරයෙහි ඍතු ගැන්වූහ.
රන් දැළින් පිළිගෙන සිටි බඹුන් අතින් වරම් රජ දරුවෝ සතර දෙන අභිමඞ්ගල සම්මත වූ සුව වූ පහස් ඇති අඳුන් දිවි සමෙකින් පිළිගත්හ. උන් අතින් බිමට බැස ලා සිට නැගෙන හිරි දසාව බැලූ දෑ ය. නො එක් දහස් ගණන් සක් වළවල් ඒකාලොක ව හෙළි වි ය. එහි සිටියා වූ දෙවි-මිනිස්සු සුවඳ මල් ආදි ය පුදා ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ හා සරි කෙනෙක් මෙ දිග නැත. වැඩි තරම් මුත් මුඹ වහන්සේ ය’යි කීහ.
මෙ සේ දස දිග ම බලා වැඩ තමුන් තබා සරි කෙනකුනු ත් නොදැක උතුරු දිගට මූණ ලා සත් පියවරක් ඔසවා ගිය දෑ ය. යන ගමනත් පොළොවින් ම ගිය දෑ ය. අහසිනුත් නොවෙයි. සළු නො හැඳ ම ගිය දෑය. පිළී හැඳත් නොවෙයි. බාල ව ම ගිය දෑ ය. සොළොස් හැවිරිදි වයසට පැමිණ ත් නොවෙයි. එතකුදු වුවත් බලා සිටියවුන්ට ආසින් යන්නා ම සේ ද සළු හැඳ රාජාභරණ ලූවා සේ ද එ දවස් උපනත් සොළොස් හැවිරිදි වයසට පැමිණියා සේ ද පෙනෙන දෑ ය. සත් පියවරක් ඔසවා ගොසින් සත් වන පියවරට පොළොව පළා ගෙන නැංගා වූ සත් බුමු බියුම් මත්තෙහි සිට ‘ලොවට අග්‍රයෙමි. ජ්‍යෙෂ්ඨයෙමි. ශ්‍රේෂ්ඨ යෙමි. මේ කෙළවර ජාතිය ය. පෙරළා අනික් තැනෙක ඉපදීමෙක් නැතැ’ යි කියා උතුම් වූ නාද පැවැත් වූ දෑ ය.
මහ බෝසත්හු ද අත් බැව් තුනක දී ම මවු කුසින් බිහි ව ලා කථා කළ දෑ ය. මහෞෂධ ව උපන් ජාතිය ය, වෙසතුරු අත් බැව ය, මෙ ම අත් බැව ය යි මේ තුන් අත් බැව ය. මහෞෂධ අත් බැව දී මවු කුසින් බිහි වන වේලාට ලොවෙහි ප්‍රසිද්ධ කරණු නිසා ත් සක් දෙවිඳු දිව සඳුන් ගැටයක් අත තබා ලා ගියහ. උන්දෑත් මිට මොළවා ගෙන බිහි ව සුමනා දේවීන් ‘පුතණ්ඩ. අත කුමක් දැ’ යි විචාළ කල්හි ‘මෑණියන් වහන්ස, බෙහෙදකැ’යි කියා ලා බෙහෙදෙහි ආනුභාවයත් කී දෑය. වෙසතුරු අත් බැව දී මවු කුසින් බිහි ව ලා ම දකුණත දික්කොට ලා සිරගෙය ලූවා සේ දස මසක් මුළුල්ලෙහි දනක් ම දී ලන්ට නු වූ හෙයින් දනක් දී ගන්ට සිතා ගන්නා සේ ‘මෑණියන් වහන්ස, ගෙයි කිසිවක් ඇත් ද දන් දී පියන්ට ය’යි කී දෑ ය. ඵුසති බිසොව ද දහසින් බැඳි පියල්ලක් අත තබා ලූහ. මේ බුදු වන අත් බැව් දී මේ සිංහ නාද ය පැවැත් වූ දෑ ය.
මවු කුසින් බිහි වූ ඇසිල්ලෙහි ත් දෙ තිසක් විචර පූර්ව නිමිත්ත පහළ වි ය. යම් දවසෙක අප මහ බෝසත්හු ලුම්බිනි වෙනෙහි දී උපන්දෑ ද එ ම දවස් බිම්බා බිසවු ද, ඡන්න නම් ඇමැත්තාණෝ ද, අනඳ මහ තෙරුන් වහන්සේ ද, කාළුදායි නම් ඇමැත්තාණෝද, කන්ථක නම් අස් රජ ද, බෝ රුක ද, නිධාන සැළ සතර ද, උපන. ඉන් එක් සැළෙක මුව විට පළල ගවුවක් විචර ය. එකෙක මුව විට පළල දෙ ගවුවක් විචර ය. එකෙක මුව විට පළල තුන් ගවුවක් විචරය. එකෙක මුව විට පළල සතර ගවුවක් විවරය. උස නම් පස් පොළොව බොල ය. සත්ත සහජාතයෝ නම් මොහු ය.
දෙ නුවර ඇත්තෝ බෝ සතුන් කිඹුල්වත් නුවරට ගෙන ගියහ. එ දවස් ම ‘සුදොවුන් මහ රජ්ජුරුවන් වහන්සේගේ පුතණුවන් වහන්සේ බුදු වන සේකැ’යි තව්තිසා වැසි දෙවියෝ සතුටු ව කෙළි ලළුවට පටන් ගත්හ. එ කල කාළදේවල නම් තවුසාණෝ රජ ගෙයි දී බත් අනුභව කොට ලා දාවල් දවස් යවන පිණිස තව්තිසා දෙව් ලොවට ගොසින් එහි හුන් තැනැත්තෝ දෙවියන් කෙළනවුන් දැක ‘කුමක් නිසා සතුටු ව කෙළු ද? සතුටු වන්ට කාරණ කියව’ යි කිවුය. දෙවියෝ ද ‘කිඹුල් වත සුදොවුන් රජ්ජුරුවන්ගේ පුතණු කෙනෙක් උපන්හ. බෝ මැඬ හිඳ බුදු ව දහම් සක පවත්වති. බුදු වූ ඔබගේ සර්‍වඥ ලීලාව ත් දකුම්හ. බණ ත් අසම්හ යි සිතා සතුටු ව නටම්හ’ යි කිවු ය.
උන්ගේ බස් අසා කාළදේවළයෝ දෙව් ලොවින් බැස සුදොවුන් මහ රජාණන්ගේ මාළිගාවට ගොසින් ‘මහ රජ, තොපගේ පුතණුවන් දක්නා කැමැත්තම්හ’ යි කිවු ය. රජ්ජුරුවෝ ද පුත් රුවන ගෙන්වා ලා තවුසාණන් වන්දවන්ට ආරම්භයක් කළහ. මහ බෝ සතුන්ගේ සත් ලකුණෙන් විසිතුරු පතුල් දෙක නිල් වලා කුළෙක පිහිටන විදුලිය සඟළක් මෙන් තවුසාණන්ගේ දළ මඩුල්ලෙහි පිහිටා ගත. ඒ ජාතියෙහි බෝසතුන්ගෙන් වැඳුම් ලබන්ට තරම් කෙනෙක් නැත. තවුසාණෝ ද හුනස්නෙන් නැඟී සිට බෝසතුන් වැන්දහ. රජ්ජුරුවෝද ඒ විස්ම ය දැක පුත් රුවන වැන්දහ. තවුසාණෝ ද මහ බෝසතාණන්ගේ ලක්‍ෂණ සමෘද්ධිය දැක සක්විති වන පිනැත්තවුන්ට ත් දෙ තිස් මහා පුරුෂ ලක්‍ෂණ ය සම්භව වන හෙයින් මුන් වහන්සේ බුදු වන සේක් දෝ හෝ, සක්විති වන සේක් දෝ හෝ” යි අනාගත ඥානයෙන් බලනුවෝ සැක නැති ව ම බුදු වන නියාව දැන සමාධි ව සිනා සී පූ ය.
නැවත ‘බුදු වූ මුන් වහන්සේ මම දැක්කහෙම් දෝ හෝයි බලනුවෝ දැක නො හෙමි. අතුරෙක මිය ගොසින් බුදුන් දහසක් වැඩ ත් නිවන් දක්වා ලිය නො හැකි අරූතලයෙහි උපදිමි’යි දැක ‘අනේ මෙ වැනි තැනක් දැක්ක නො හෙමි. මට වන්නේ බලවත් හානියෙකැ’යි කර්ම බලයෙන් ධ්‍යාන නිකාන්ති ය හැර ගත නොහී හැඬුහ. මිනිස්සු ද ඒ දැක ‘අපගේ තවුසාණන් වහන්සේ දැන්ම සිනා සී පියා හඬන්ට ත් වන් සේක. කුමාරයන් වහන්සේට උවදුරක් ඇති නියා දෝ හෝ’ යි සිතා විචාළහ. තවුසාණෝ ද ‘උවදුරක් නැත. සැක නැති ව ම බුදු වන සේකැ’යි කිවු ය, ‘එ සේ කල සිනා සී ම වන්නා යුක්ති ය. හැඬුයේ හැයි දැ’යි විචාළහ. ‘මෙ වැනි තැනක් මම මා පින් නැති හෙයින් දැක්ක නො හෙමී’ සිතා හඬා පීමි කිවු ය.
ඉක් බිත්තෙන් බෝසතුන් උපන් පස් වැනි දවස් නාවා පියා නම් තබම්හ යි කියා රජ ගෙයි සිවුදෑ සුවඳින් පිරිබඩ ගන්වා ලා ලද පස් මල් මඟුල් පිණිස හිස ලා, පැන් අමිශ්‍ර කිරිබත් පිසවා ලා ත්‍රි වේදයෙහි දක්‍ෂ වූ අටෝරාශියක් බමුණන් ගෙන්වා ගෙන රජ ගෙයි හිඳුවා ලා කිරිබත් අනුභව කරවා, තව ත් කළ මනා සත්කාර කොට ලා, බෝසතුන්ට වන වැඩ අවැඩ විචාළහ. ඒ අටෝ රාශියක් බමුණන්ගෙන් රාම ය, ධජ ය, ලක්‍ෂණ ය යනාදීවූ බමුණෝ අට දෙන තම තමන් මහ නුවණැති හෙයින් ලක්‍ෂණ දනිති. ඒ අට දෙනාගෙනුත් සත් දෙනෙක් ඇඟිලි දෙක දෙක ඔසවා ලා ‘මේ ලකුණු ඇත්තෝ ගිහි ගෙයි විසූ නම් සක්විති රජ වෙති. මහණ වූ නම් බුදු වෙතී’ කීහ. උන් සත් දෙනාට ම බාල කොණ්ඩඤ්ඤ නම් බමුණු සුඟිත්තෝ බෝසතුන්ගේ ලකුණු දක ‘මුන් වහන්සේ ගිහි ව රැඳීමට කාරණ නැත. ඒකාන්තයෙන් බුදු වන සේකැ’ යි දැන එක ම ඇඟිල්ලක් ඔසවා ලා බුදු වන නියාව නියම කොට කිවු ය.
ඉක් බිත්තෙන් නම් තබන්නාහු සියලු ලෝ වැස්සන්ට අර්‍ථ සිද්ධි ය කරන හෙයින් සිද්ධාර්ථ ය යන නම තබා ලූහ. දෙකක් කොට නිමිත්ත කී බමුණෝ සත් දෙන ද තම තමන්ගේ ගෙවලට ගොසින් පුතුන් බණවා ලා අපි මාලු ව ගියම්හ. සුදොවුන් මහ රජ්ජුරුවන් ගේ පුතණුවන් වහන්සේ බුදු වූ කලට අපි සම්භවමෝ හෝ ය, නොවමෝ හෝ ය. තෙපි උන් වහන්සේ මහණ ව බුදු වූ කලට ඔබගේ සස්නෙහි මහණ වව’යි කීහ. ඒ බමුණෝ සත් දෙනත් ආයු පමණින් සිට ලා මිය ගියහ. කොණ්ඩඤ්ඤ නම් බමුණානෝ තව මාලු නොවූහ.
සුද්ධෝදන රජ්ජුරුවෝ ද පුතණුවන්දෑ මහණ වන නියාව අසා ‘ම පුතු කුමක් දැක මහණ වෙත්දැ’යි විචාළෝ ය, ‘ජරා රුවක් හා රෝගී රුවක් හා මළ රුවක් හා මහණ රුවක් දැක ය’යි කිවු ය. රජ්ජුරුවෝ ද, ‘මෙ වක් පටන් එ බඳු කෙනකුන් ම පුතුන්ට නො පාව’යි කියා ලා සතර දිග ගවුව ගවුව රකවල් ලැවූහ. ඒ දවස් නම් තබන මඟුලට පිය පක්‍ෂයෙන් රැස් වූ අසූ දහසක් නෑයන් අතුරෙන් එකි එකී කෙනෙක් ‘මුන් දෑ බුදු වුවත් නු වුවත් පිරිවරා ඇවිදිනා ලෙසට අප අපගෙන් කුමාරවරුන් පාවා දෙම්හ’යි කියා ලා අසූ දහසක් රාජ කුමාරවරුන් පාවා දුන්හ. ඌ අසූ දහසත් බෝසතුන් බුදු වුවොත් මහණ වන්ට හා සක්විති වූවො ත් සසර සිටිනට නියත වූහ.
සුදොවුන් මහ රජහු ද පුත් රුවනට අතිදීර්ඝාදී දෝෂ වර්ජිත කිරි මවුනු ත් තෝරා දෙවූහ. මහ බෝසත්හු ද මහ පෙර හරින් වඩනා දෑ ය. එක් දවසක් රජ්ජුරුවන්ගේ වප් මඟුලෙක් ඇත. එ දවස් රජ්ජුරුවෝ වප් මඟුලට නුවරින් නික්මෙන තැනැත්තෝ පුත් රුවනත් කැඳවා ගෙන ගියහ. සානා කුඹුරු බඩ ද එක් දඹ ගසෙක් ඉතා ශෝභාවත. සෙවන මඬුල්ල ත් යහපත. ඒ දඹ රුප්පයෙහි යහනක් පනවාලා උඩ රන් තරු රිදී තරු ආදියෙන් විසිතුරු වියනකු ත් බඳවා ලා වට පට කඩ තිරයකු ත් බඳවා ලා කුමාරයන්දෑ එහි සතප්පවා ලා රජ්ජුරුවෝ වප් මඟුලට ගියහ.
ඒ වප් මඟුල් කරන්නේ කෙසේ ද යත් - රජ්ජුරුවෝ රන් නඟුලක් සීයට හැර ගනිති. ඇමැති ආදීහු රිදී නඟුල් ආදිය හැර ගනිති. ඒ දවස් නඟුල් දහසක් යොදති.
මහ බෝසතුන් පිරිවරා හුන් කිරි මවු ද ‘රජ්ජුරුවන්ගේ සම්පත් දකුම්හ’යි තිරය ඇතුළතින් පිටත් ව ගියහ. එ කල බෝසත්හු ඈත මෑත බලා කිසි කෙනකුනු ත් නොදැක වහා නැඟී සිට පලක් බැඳ ගෙන ආනාපානසති භාවනාවෙන් ප්‍රථමද්ධ්‍යාන ය උපදවා ගත් දෑ ය. කිරි මවුන් කන බොන තැනට වැද පියා මඳක් කල් යවා පීහ. සෙසු ගස්වල සෙවණවල් හිර නවා පී හෙයින් නැගෙන හිරට නැමී සිටියහ. දඹ ගස සෙවන කොත් නො නැමී පිල් සතක් මෙන් සිටී ය. කිරි මවු ‘කුමාරයන් වහන්සේ ළඟ කවුරුත් නැත්තෝ වේදැ’ යි වහ වහා තිර ය ඇතුළට වන්නාහු ශ්‍රී යහනෙහි පලක් බැඳ ගෙන හුන් නියා වත් දඹ සෙවණ ඉවත් නු වූ නියාව ත් දැක ගොසින් රජ්ජුරුවන්ට කිවුය. රජ්ජුරුවෝ ත් වහා අවුත් වැඳ ලා පුතණ්ඩ දෙවෙනි ව වැඳි නියා ය’යි කිවු ය.
මහ බෝසත්හු ද කලාවෙන් කලාවට වඩනා සඳ පරිද්දෙන් සොළොස් හැවිරිදි වූ දෑ ය. රජ්ජුරුවෝ ද මහ බෝසතුන්ට තුන් ඍතුවට නිසි කොට පස් මාල් කොටත්, සත් මාල්කොට ත්, නව මාල් කොට ත්, රම්ම ය, සුරම්ම ය, සුභ ය යන මේ නම් ඇති මාළිගා තුනක් කරවා දුන්හ. මාළිගා තුනෙහි ම උස ත්‍රිවිධ සුචරිතයට ම සම වූවා සේ සරි ය. මාල් පමණෙක් වෙන.
නැවත සුදොවුන් රජ්ජුරුවෝ ‘ම පුත්තු වැඩි විය ත් පැමිණියහ. ඔටුණු පළඳවා ලා රජසිරි විඳිනා නියා ත් බලමි’ ශාක්‍ය දරුවන්ට ‘ම පුත්තු වැඩි විය පැමිණියහ ඔටුණු පළඳවමී’ බිසෝවරුන් ඇත මනා බැවින් තමන් තමන්ගේ දූවරුන් එවුව මැන වැ’යි කියා යවූහ. උයි ත් ඒ අසා ‘කුමාරයන් රූපත් බව ඇත. දන්නා ශිල්ප නූගත් හෙයින් නැත. ශිල්ප නො දන්නා කල දාරාභරණ ය කෙ සේ ද? අපි අපගේ දූ දරුවන් නො එවම්හ’යි කියා යවූහ. රජ්ජුරුවෝ එ පවත් අසා පුතණුවන්දෑ ළඟට ගොසින් එ පවත් කීහ. බෝසත්හු ද ‘කුමන ශිල්පයක් දක්වමෝදැ’යි විචාළ දෑ ය. ‘දහසක් දෙනා නඟන දුන්න නඟා ලීම යහපතැ’යි කිවු ය.
මහ බෝසත්හු ද දහසක් දෙනා නඟන දහසක් දෙනා බාන දුන්න ගෙන්වා ලා සිංහාසනයේ හිඳ ම දුනු දිය පය මාපට ඇඟිල්ලෙහි වෙළාගෙන අදිමින් පය මාපට ඇඟිල්ලෙන් ම දුන්න නගාලා වමතින් දුන්න අල්වා ගෙන දකුණතින් දුනු දිය අත පොළා ලු දෑ ය. සියලු නුවර ඉපිල යන කලක් මෙන් වීය. “මේ කෙසේ වූ අරගලයෙක් දැ’ යි විචාළ කල්හි සමහර කෙනෙක් ආස ගුගුරන නියා ය යි කිවු ය. ඒ අසා සමහර කෙනෙක් ‘තෙල ලෙසත් ආස ගුගුරා ද? ආස ගුගුරන නියා නොවෙයි. සිද්ධාර්ථ කුමාරයන් දුන්න නඟා ලා දුනු දිය අත පොළා ලු හඬ ය’යි කිවු ය. ශාක්‍ය රජ දරුවෝ ඒ අසා එ පමණකින් ම සතුටු වූහ.
තව ද මහ බෝසත්හු ‘දුන්න නගා ලූ පමණෙකින් ශිල්ප නො නිම ත් කුමන ශිල්පයක් දක්වමෝ දැ’යි විචාළ දෑ ය. අටඟුල් බොල ඇති යාපත් විදීම යහපතැ’යි කිවු ය. ඒ විද පියා ‘අනික් කිම් දැ’ යි විචාළ කල්හි ‘වියතක් බොල ඇති දිඹුල් පෝරුවක් විදීම යහපතැ’යි කිවු ය. එයි ත් විද පියා ‘අනිත් කිම්දැ’යි විචාළ කල්හි වැලි ගල් ආදිය ත් විද දියෙහි එක් සිය සතළිස් රියනක් හා ගොඩ එක් දහස් එක් සිය විසි රියනක් විද පී දෑ ය. හී දඬු බස්නා පමණ තැන් අස් වලින් කරබටුවක් බඳවා ලා එල්වා ලා කරබටුව බා ලා වල් දෙපළු කළ මැනවැ’යි කිවු ය. එ සේ වී නම් ‘සතර ගවුවක් විතරේ බඳුව’යි බඳවා ලා දාවල් විද මන් අරුම නො වන්නේ වේ දැ’යි රෑ ඝන අඳුරෙහි විද ලූ ගමනේ අස්වාල ය පලා ගෙන හීය පොළවට වන. එ දවස් පෑ ශිල්ප නම් මෙ තෙක් නො වෙයි. මහ බෝසත්හු මෙ ලෙව්හි පවත්නා යම් ශිල්පයෙක් ඇත්නම් බුදු ව දත මනා සියල්ල ම දන්නා සේ සියලු ශිල්ප ම පෑ දෑ ය.
එ කල ශාක්‍ය රජ්ජුරුවරු ඇති ව සිටි දූ දරුවන් එ තෙක් නියා ද කිම් ද සතලිස් දහසක් බිසෝවරුන් යවූහ. බිම්බා බිසොව උන් හැම දෙනාට වැඩියුරු හෙයින් අග මෙහෙසුන් වූහ. මහ බෝසත්හු ද අඩු තුන් කෙළක් පුරඟනන් පිරිවරා දෙව් සැපත් විඳිනා සක් දෙවිඳුහු මෙන් නළු ගන පිරිවරා දෙව් සැපත් විඳිනා දෑ එකි එකී මාළිගාවේ සාර මසක් සාරමසක් හිඳිනා දෑ ය.
එක් දවසක් මහ බෝසත්හු උයන් කෙළියට යන පිණිස රිය ඇදුරා බණවා ලා ‘රථ ය යොදා ලව. උයනට යනු කැමැත්තෙමි’ කී දෑ ය. එයි ත් යහපතැ’යි ගිවිස කුඩා පමණෙකින් මුත් ශක්‍රයන්ගේ විජයත් රථ ය වැනි ය යි කිය හැකි වූ රථයක් සරහා ලා සුදු වූ මඟුලසුන් සතර දෙනකු යොදා ලා බෝසතුන්ට කී ය. මහ බෝසත්හු ද දෙව් විමනක් වැනි රථයට නැඟී ලා උයන දසාවට නික්මුණු දෑ ය. එ කල දෙවියෝ ‘සිද්ධාර්ථ කුමාරයන් බුදු වන කල් උදවු විය. මහණ වන ලෙසට සසර කළකිරුවම්හ’යි එක් දෙව් පුතකු ජරා වැද ලා දිරා ගිය සිරුරු ඇති කොට දත් වැගිර ගියා වූ ඉස විලික්‍ෂ ගියා වූ වක ගැසී ගොසින් සැරයටියක් හැර ගෙන වෙවුල වෙවුලා යන්නහු පෑවූ ය.
ඒ සැටියේ ම මවා ලූ රුව බෝසතුන් හා රිය ඇදුරාණෝ දකිති. සෙසු දක්නා කෙනෙක් නැත. මහ බෝසත්හු ඔහු දැක ‘රිය ඇදුර, තුලු කවුරු ද ? හිසකේ ත් සෙස්සවුන්ගේ හිසකේ සේ නො වෙ’යි යනාදී මහාපනාද සූත්‍රයෙහි ආ ලෙස ම විචාරා රිය ඇදුරාගෙන් පවත් අසා ‘ජරාවට මුල් වූයේ ජාතිය ය. ජාතිය නැත්නම් ජරාව නැත. මෙ සේ කුණු වූ ජාතියක් හැර ගෙන ත් උයන් කෙළි කෙළිම්දැ’යි සසර කළකිරී ගොසින් පෙරළා රජ ගෙට ම ගිය දෑ ය. රජ්ජුරුවෝ ද ‘ම පුත්තු කුමක් නිසා නැවැත්තෝ දැ’යි විචාරා ‘මාලු මිනිස් කෙණක දැක ය’යි කී කල්හි රකවල් නපුරු නියා වේ දැ’යි සතර අතින් දෙ ගවුවෙක රකවල් ලැවූහ.
නැවත එක් දවසක් බෝසත්හු උයනට යන දෑ දෙවියන් මවා පෑවා වූ රෝගී එකක්හු දැක ආදි ලෙසින් ම විචාරා රෝගී එකක්හු නියාව දැන සසර කළකිරී නැවත රජ ගෙට ගියදෑ ය. රජ්ජුරුවෝ ද අසා මහණ වීමෙහි රුචි හරවන්ට නළුවන් ඇති කරවා ලා සතර අතින් තුන් ගවු පමණ රකවල් ලැවූහ.
නැවත මහ බෝසත්හු උයනට යන දෑ එ සේ ම දෙවියන් මවා ලූ මිනියක් දැක තෙලේ කිම්දැ යි විචාරා මිනියක් නියාව අසා ජරා දැක, ව්‍යාධි දැක, සසර කළකිරුණු දෑ මරණත් දැක, තර ව කළකිරී උයන් කෙළියට යන ගමන් තබා රජ ගෙට ගිය දෑ ය. රජ්ජුරුවෝ ද එපවත් අසා නැවත රකවල් වඩනෝ සතර දිගින් සතර සතර ගවුවෙක රකවල් ලැවූහ.
නැවත එක් දවසක් උයන් කෙළියට යන දෑ එ සේ ම දෙවියන් මවා ලූ සන්හුන් පියෝ ඇති මහණ රුවක් දැක ‘මූ කවුරු දැ’යි විචාළ දෑ ය. රිය ඇදුරා ද බුද්ධෝත්පාද කාලයක් නො වන බැවින් මහණුනුත් මහණුන්ගේ ගුණ ත් නො දන්නේ දෙවියන් ගේ ආනුභාවයෙන් “මූ පැවිදි කෙනෙකැ’යි කියා ලා මහණ වීමෙහි ගුණ ත් කියා ලී ය. මහ බෝසත්හු ද මහණ වීමෙහි රුචි උපදවා ගෙන එ දවස් උයන් කෙළියට ම ගිය දෑ ය.
බොහෝ ආයු ඇති බෝසත්හු හවුරුදු සියයක් සියයක් ගිය කලට ජරා රූ ආදි ය දකිති. අපගේ බෝසත්හු ආයු මඳ අවධියේ උපන් හෙයින් සාර මසක් සාර මසක් ගිය කල උයනට යන දෑ පිළිවෙළින් එකක් එකක් දුටු දෑ ය. දික් සඟිය පිරිමසන තැන් අරමුණු සතර එක දා ම දුට යි කියන සේක.
එ දවස් උදාසන පටන් සවස් වේලා වන තුරු උයන් කෙළි කෙළ පියා මඟුල් පොකුණෙන් නහා පියා හිර ගල හුණු වේලාට සැරහෙණු කැමැති ව මඟුල් සල්වට හුදෑ ය. මහ බෝසතුන් ගේ රුචි ය දත් සක් දෙවිඳුහුගේ විධානයෙන් විස්කම් දෙව්පුත්හු අවුත් මඟුල් කපු වෙස් ගෙන සළු පිළී දස දහසකින් පිළී වොටුන්න සලසා ලා දිවබරණින් සරහා ලූ ය. සැරහී ගෙන නළුවන් රැස් ව කෙළි ලළු පාමින් සිටිය දී මනුවරට නික්මෙන්ට රථයට නැඟීදෑය.
ඒ වේලාට බිම්බා බිසොවුන් රහල් කුමරුවන් වැදූ නියාව සුද්ධෝදන රජ්ජුරුවෝ මහ බෝසතුන්ට කියා යවූහ. මහ බෝසත්හු ඒ අසා රහල් කුමරුන් ඉපැද වූයේ වියවුලෙකැ’යි කී දෑ ය. මහ රජාණෝ ද ‘ම පුතුන් කීයේ කිම් දැ’යි විචාරා එ පවත් අසා මුනුබුරාණන්ට රාහුල කුමාරයෝ ය යි නම් තුබූහ. බෝසත් හු ද රථයට නැඟී ලා මහත් වූ ශ්‍රී ශෝභාවෙන් යුක්ත ව නුවරට වන් දෑ ය. ඒ වේලාට රුවින් හා සම්පත්තීන් කෘශ නො වතත් නමින් කෘෂාගෝතමී නම් මහ බෝසතුන්ට බැදෑ වන බිසෝ කෙනෙක් තමන්ගේ මාළිගාවේ මතු මාලේ සිටියාහු ඇතුළු නුවරට වදනා මහ බෝසතුන්ගේ රූප ශෝභාව දැක-
“නිබ්බුතා නූන සා මාතා – නිබ්බුතා නූන සො පිතා,
නිබ්බුතා නූන සා නාරී - යස්සායං ඊදිසො පති”
යන මේ ගීය අනුරාග වසයෙන් තුන් විටක් කොට ම කී ය. මහ බෝසත්හු ද ඒ අසා ‘මම ත් නිවන් සිත සිතා හිඳිමි. මුයි ත් නිවී ගියේ ය’යි කියති. මුවහොර ය යහපත. නිවන් නිසා මහණ වන්ට අදම යන්ට වුව මැන ව. මේ තරම් මුවහොරයක් කිව වුන්ට සංග්‍රහයක් ඇත මනා වේ දැ’යි ලක්‍ෂයක් වටනා මුත්හර කරින් ගළවා පියා කෘශාගෝතමී බිසොවුන්ට යවු දෑ ය. උයි ත් මෙ තෙක් කල් එ බන්දක් නැති හෙයින් තමන් කෙරෙහි පිළිබඳ සිතක් ඇති ව යවුව යි සිතා සතුටු වූහ. මහ බෝසත්හු ද මහත් වූ ශ්‍රී ශෝභාවෙන් යුක්ත ව තමන්දෑගේ මාළිගාවට නැඟී ලා ශ්‍රී යහනේ වැද හොත් දෑ ය.
ඒ වේලාට පුන් සඳක් හා සමාන වූ සොමි මුහුණු ඇති ව රූප නමැති සාගරයෙහි ගමන් ගත් පබළු මුවා නැව් වැනි වූ දසන්-වසන් ඇති, රන් පර්‍වතවලින් හුණු කළු ගං පරිද්දෙන් නිල් වූ හිසකේ ඇති, තව ද දරුවන් මුවා මාළිගාවල ඉඳුනිල් මණිමුවා කවුළු දොර වැනි නේත්‍ර යුග්මයන් ඇති, දෙව් දුනු හා සමාන වූ බැම සඟළක් ඇති, රන් ගල් තලවල හුන් රන්වන් හංස පැටවුන් වැනි තන සඟලවල් ඇති, මිණි මෙවුල් දම් ආදියෙන් සරහන ලද දුවන්තලා ඇති, ඇත් සොඬ හා සමාන ව පච්චුන්නත වූ කළවා ඇති, නැටීම්-ගී කීම්-බෙර ගැසීම් ආදියෙහි දක්‍ෂවූ දෙවඟනන් වැනි වරඟනෝ මහ බෝසතුන් පිරිවරා නැටීම්-ගී කීම් හා බෙර ගැසීමට පටන් ගත්හ. මහ බෝසත්හු ද මහණවීමෙහි අදහස් තර ව ඊ ඇල්මක් නැති බැවින් නිදන්ට පටන් ගත් දෑ ය. නළු ගෑනු ද අපි යම් කෙනකුන් ඇලවන්ට සිතා සැලී හැපී ආයාස ගනුමෝ නම් උන්දෑ දැන් නිඳා වැතිර ගිය දෑ ය. අපි ත් නිඳම්හ’යි මද්දල හිසට ලා ගෙන නිඳන්ට වන්හ.
රන් වැටවල සුවඳ තෙල් පාන් ඇවිළෙ යි. මහ බෝසත්හු ද මහණ වන්ට නික්මෙන්ට ත් වුව මනා හෙයින් පිබිද පියා යහන පිට පලක් බැඳ ගෙන හුන් දෑ නිඳන නළු ගෑණුන් දුටු දෑය. ඒ වේලාට කවර ලෙසක වැද හොත්තෝ ද යත් - සමහර කෙනෙක් කටින් කුණු කෙළ බබා නිඳති. සමහර කෙනෙක් තමන්ගේ නැටීම් නො බලා ගී නො අසා නිඳන්නාට මුසුප්පු ව දත් කන්නා සේ දත් කති. සමහර කෙනෙක් කැස කැස සෙම් ගිලෙති. සමහර කෙනෙක් නන් දොඩති. සමහර කෙනෙක් කට දල්වා ගෙන නිඳති. සමහර කෙනෙක් අපගත වස්ත්‍ර ඇති ව නිඳති. සමහර කෙනෙක් හිස කේ ඉනී විසිර ගිය නියා ත් නො දැන නිඳති.
මහ බෝසත්හු ද ඒ විකට දැක තරයේ ම ගිහි සම්පත් ඇලුම් හළ දෑ ය. ඒ වේලාට මහ බෝසතුන්ට දෙව් සැපතින් පිරුණු විජයත් පාය සේ ඉතා ශෝභාමත්ව සිටිනා මාළිගාව මිනී කුණින් ගැවසී ගත් අමු සොහොනක් මෙන් වැටහිණ. තුන් භවයත් ගිනි ගත් ගෙවල් මෙන් වැටහිණ. මහණ වීමට සිත තරයේ ම නැමිණ. ‘අද ම මහණ වන්ට යන්ට වුව මැනවැ’යි ශ්‍රී යානෙන් බැස පියා දොරකඩ කරා ගොසින් ‘මෙ තැන කවුරු දැ’යි කී දෑ ය. එළිපත හිස තබාගෙන වැදහොත් සන් ඇමැත්තෝ ‘මම ස්වාමීනි, ඡන්නයෝ ය’යි කිවු ය. ‘අද මම මහණවන්ට නික්මෙනු කැමැත්තෙමි. කාට ත් නො හඟවා වහා අසකු සදා ගෙනෙව’යි කී දෑ ය.
සන් ඇමැත්තෝ ද අසු සදන සැත් ඊ ල හැර ගෙන අස් හලට ගොසින් රන් වැටවල සුවඳ තෙලින් ඇවිලෙන පාන් ආලෝකයෙන් දෑ සමන් මල් ඔඩම් සහිත වියන යට සිටියා වූ කන්ථක නම් අස් රජහු දැක, ‘මාගේ ස්වාමි දරුවාණන් නැඟී ලා වඩනට අද මේ මඟුලසු ම සදමී’ සිතා ලා කන්ථකයන් සදන්ට පටන් ගත්හ. අසාණෝ ද සදන ගමනින් ම ‘අද සදා ලන සැටි ය මෙ තෙක් දවස් සේ නො වෙයි. ඒකාන්තයෙන් ම මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ අද රාත්‍රියෙහි මහණ වන්ට නික්මෙන සැටි ය’ යි සතුටු ව ශේෂාරවයක් පැවැත්වූහ. ඒ හේෂාරව ය කිඹුල්වත් නුවර මුළුල්ලට ම ඇසෙන්ට ඇත. දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් ම කිසි කෙනකුනු ත් ඇසි ය නුදුන්හ.
මහ බෝසත්හු ද අසු සදා ගෙනෙන තෙක් රහල් කුමරුන් බලා පියනු කැමැතිව බිම්බා බිසොවුන් සැතපෙන ශ්‍රී යහන් ගබඩාව කරා ගොසින් ගබඩාවේ දොර හළවු ය. ඒ වේලාට ඇතුළු ගබඩාවේ රන් වැටවල සුවඳ තෙල් පාන් ඇවිළෙ යි. බිම්බා බිසොවුන්දෑ දෑ සමන් මල් ඉද්ද මල් ආදීවූ මලින් අමුණක් විතර අතුළ ශ්‍රී යහනෙහි පුත් රුවන ඇඟ පිට අත තබා ලා නිඳති. මහ බෝසත්හු ද එළි පත පයක් තබා ලා ‘ඉඳින් බිසොවුන්ගේ අත ඉවත් කොට පියා ම පුතුන් වඩා ගනිම් නම් බිසවු පිබිද යෙමි. එසේ කලට මාගේ මහභිනික්මනට බාධාවක් වී නමුත් නපුර. බුදුව ලා ම අවුත් ම පුතුන් දකිමි’ සිතා ලා මාළිගාවෙන් බැස පියා කන්ථකයන් ළඟට ගොසින් ‘පුත කන්ථකයෙනි, තොපි මා අද එක රැයින් එතෙර කරව. මම තොප නිසා බුදුව ගෙන දෙවි මිනිසුන් සහිත ලෝ වැස්සන් සසර සයුරෙන් එ තෙර කරමී” කියා ලා උඩට පැන ලා කන්ථකයන් පිටට නැඟි දෑ ය.
කන්ථකයෝ ද කර පටන් දිගින් අටළොස් රියන් හා උසත් එ දිග තරමට සරියෙන විතරත් ඇත්තෝ ය. චන්ද්‍රකාන්ති පුඤ්ජයක් සේ ඉතා ශුභ්‍රයහ.
ඉක්බිත්තෙන් මහ බෝසත් අසු පිටට පැන නැඟී ලා සන් ඇමැත්තාහට අසුගේ වාල්දි ය අල්වා ගන්ට සම්මත කොට ලා මධ්‍යම රාත්‍රි වේලෙහි නුවර මහ වාසල කරා පැමිණි දෑ ය.
ඊට පෙරාතු ම සුදොවුන් මහ රජාණෝ ‘මහ බෝසතුන් වේලෙක නො වේලෙක නැඟී යෙතී’ කියා නුවර වාසල් දොර හෙයින් එකී එකී දොර ලෑල්ල ම දහසක් දෙනා හැර ලන ලෙස දහසක් දෙනා පියා ලන ලෙස එක් කොට හැර ලන්ට දෙ දාසක් හා පියාලන්ට දෙ දාසක් වන ලෙසට වාසල් දොර ලවා ලා සතර වාසල ම බොහෝ දෙන සිටුවා ලූහ. මහ බෝසත්හු වැළිත් ඇතුන් ගෙන් වී නම් කෙළ දහසක් විතර ඇතුන්ට බල ඇති දෑය. බල මැදුම් පිරිමින් ගේ ගණනින් වූවොත් දස කෙළ දහසකට බල ඇති දෑය. එහෙයින් ‘මේ වාසල නො හැරිණි නම් කන්ථකයන් පිට හුන්නෙම් මම වාලධි ය අල්වා ගත් සන් ඇමැත්තහු හා සමග කන්ථකයන් කළවයෙන් බදා ගෙන වඩුවෙන් අටළොස් රියන් පවුරු පැන පියෙමි’ සිතූ දෑ ය. සන් ඇමැත්තෝ ත් කන්ථකයෝත් දෙන්නම එසේම ‘පනම්හ’යි සිතූහ. වාසල වසන දෙවියෝ වාසල දොර භළවු ය.
ඒ වේලාට මහ බෝසත්හු වඩිනවා දැක වසවත් මරහු ද ‘මහ බෝසතුන්ගේ මහණ වීමට ගමන බාධා කෙරෙමි’ අහස සිට -
“මා නික්ඛම මහාවීර - ඉතො තෙ සත්තමෙ දිනෙ,
දිබ්බන්තු චක්කරතනං - අද්ධා පාතුභවිස්සතී.”
යනු හෙයින් ‘සත් දවසක් විතරින් සක් රුවන පහළව ත් සක්විති රාජ්‍යය කළ මැනව. නො ගිය මැනැවැ’යි කිවුය. මහ බෝසත්හු ද ‘තෙපි කවුරු දැ’යි විචාරා ‘මම වශවර්තියා’ යි කී කල්හි ‘මාර ය, මා ගිහි ගෙයි රඳතො ත් සක් රුවන පහළ වන නියාව දනිමි. මට ඉන් කම් නැත. මහ පොළොව ගුගුරුවා බුදු වූ කලට දහම් සක පතළව මාගේ ආඥාව කෙළ ලක්‍ෂයක් සක්වළ පවත්ති තෝ පලා ය’යි කී දෑ ය. එයි ත් එක බසින් ම අතුරුදන් වී ය. මහ බෝසත්හු ද එකුන් තිස් හවුරුද්දේ දී අත්පත් වූ සක්විති රාජ්‍ය ය හැර පියා සක්විති රාජ්‍යශ්‍රියට ස්ථාන වූ රජ ගෙන් නික්ම ඇසළ මස මැදි පොහෝ දවස උතුරුසළ නැකතින් නුවරින් නික්ම නුවර බලා පියනු කැමැති වූ දෑ ය. එ සේ සිතන්නා ම ඒ බිම් පියස කුඹල් සකක් මෙන් තෙමේ ම පෙරළින. මහ බෝසත්හු ද කිඹුල් වත් නුවර බලා පියා එ තැන අසු නැවති සෑය යි දා ගබකට ස්ථානයක් දක්වා ලා යා යුතු මඟට ම කන්ථකයන් නමා ලූ දෑ ය.
මෙ සේ මහ බෝසතුන් මධ්‍යම රාත්‍රි වේලේ නික්මුණු කලට දේවතාවෝ සැට දහසෙක් පෙරාතුව ලා රන් දඬු වැට පහන් ලා ලූය. දකුණැල ය දසාවේ ත් වමැළ ය දසාවේ ත් පිටි පස්සෙත් සැට දහසක් දෙවියෝ ම රන් දඬු වැට පහන් ලා ලූ ය. සමහර දේවතා කෙනෙක් මල් කලප් මල් වඩම් ධජ පතාකාදී වූ පූජා භාණ්ඩ හැර ගෙන නික්මුණවු ය. මෙ සේ මහ පෙරහරින් යන්නා වූ මහ බෝසත්හු ද එක රැයින් රාජ්‍ය සීමා තුනක් ඉක්ම එක් සිය විසි ගවුවක් විතර ගෙවා ගොසින් අනෝමා නම් වූ ගඟ බඩට පැමිණි දෑ ය. පැමිණ ලා සන් ඇමැත්තන් අතින් ‘මේ ගඟ කිනම් දැ’යි විචාළ දෑ ය. ‘අනෝමා නමැ’යි කිවු ය. ‘අපගේ මහණ වීම ත් අලාමක ය’ යි සිතා ගෙන විළුමෙන් අසුට සන් කළ දෑ ය. අසාණෝ ද එක් දහස් එක් සිය විසි රියන් පළල ඇති ගඟ පැන එ තෙර සිටියහ.
මහ බෝසත්හු ද අසු පිටින් බැස පියා මුතු රැසක් වැනි වූ වැලි තලා මත්තෙහි සිට සන් ඇමැත්තන් බණවා ලා ‘තොපි මා පළන් ආභරණ ද කන්ථකයන් ද හැර ගෙන කිඹුල් වත් නුවරට යව. මම මහණ වෙමි’ කී දෑය. සන් ඇමැත්තෝ ‘මමත් මහණ වෙමි’ කීහ. ‘තොප මහණ වන්ට බැරි ය’යි කියා ලා ආභරණ ත් කන්ථකයනු ත් සන් ඇමැත්තන්ට පාවා දීලා ‘මේ මාගේ හිසකේ මහණ සරුප් නො වෙයි. මඟුල් කඩුවෙන් කපමි’ සිතා ලා දකුණතින් කඩුව හැර ගෙන වමතින් හිසකේ වැටි ය අල්වා ගෙන කපා පී දෑය. හිස කෙස් කපා පූ මුල් දෑඟුල් විතර ව ලා දක්ෂිණා වෘත්තව සිසෑරී ලා හිසම ඇලී ගත. එ දවස් කැපූ හිසකේ යෙන් පසුව එක් පනස් හවුරුද්ද ම බෑ හිස කේයෙක් නැත. දැළි ත් එ පමණ ව ම සිටි ය.
මහ බෝසත්හු හිසකේ කොණ්ඩ ය හැර ගෙන ‘ඉදින් මම බුදු වෙම් නම් තෙල හිසකේ වැටිය අහස සිටී ව යි නැත. බිම් හෙව’යි කියා ලා උඩ දමා ලූ දෑ ය. හිසකේ වැටිය ත් සතර ගවුවක් විතර උඩ නැඟී ලා අහස නිල් වලා කුළක් මෙන් සිටි ය. සක් දෙවිඳු දිව ඇසින් දුටු තැනැත්තෝ සතර ගවුවක් උස රුවන් කරඬුවෙක කෙස් දා ලා ගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑ දා ගබ කළහ.
නැවත මහ බෝසත්හු ‘මේ මා හැඳ ගත් කසී සළුව ත් මහ ඇඟි ය. මහණ සරුප් නො වෙ’ යි සිතූ දෑ ය. එසේ සිතූ කලට කසුප් බුදුන් සමයෙහි මිත්‍ර ව විසූ අනගැමි බඹ ලොව උපන් ඝටීකාර නම් මහ බඹාණෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි වෙන්ව විසූ බැවින් ‘අද මාගේ යාළුවාණෝ මහභිනික්මන් නික්මුණවු ය. මහණ පිරිකරක් සපයා ගිය ගමණක් නො වන බැවින් මහණ පිරිකර මම ගෙන යෙමි’යි සිතා විවට්ට සාගරයෙහි බඹලොව දක්වා නැඟී නෙළුම් පඳුරෙහි නෙළුම් මල මේ කප බුදු වන පස්දෙනා වහන්සේට ම විචිත වූ පිරිකර පසින් කකුසඳ, කෝණාගමන, කසුප් තුන් දෙනා වහන්සේ මහණ වන දවස් තුනක් දුනත් තව දෙකක් ඇති බැවින් මෙතේ බුදුන්ට එකක් තබා ලා තුන් සිවුරකුත්, පාත්‍රයකු ත්, කරයකු ත්, ඉදි කටුවකුත්, පටියකු ත්, පෙරාන්කඩකුත් ය යි මේ අට පිරිකර ගෙනවුත් දුන්හ.
මහ බෝසත්හු ද සිවුරු වැළඳ ගෙන මහණ වෙස් ගෙන’ සන් ඇමැත්තෙනි, මා විචාළ නියාව අපගේ දෙමවුපියන්ට කියව’යි කියා ලා සමු දුන් දෑ ය. ඔහු ද මහා පුරුෂයාණන් වැඳ පැදකුණු කොට ලා නික්මුණ වුය. කන්ථකයෝ ද මහ බෝසතුන් සන් ඇමැත්තන් හා කරන කථාව අසාලා ‘මාගේ ස්වාමි දරුවාණන් මෙ වක් පටන් දක්නට නැති නියා වේ දැ’යි ඇසට පෙනෙන තැනින් දුරුව ත් ශෝක ය ඉවසා ගත නො හී ශෝකය පිරී ලා පැළී ගියාක් මෙන් ලය පැළී ගොසින් මිය තව්තිසා දෙව්ලොව කන්ථක නම් දෙව්පුත් ව උපන්හ. උන් එහි උපන් නියාව විමන් වත් අටුව වෙන් දත යුතු. සන් ඇමැත්තෝ ද සෝක දෙකින් පෙළී පියා හඬමින් වලපමින් දුක සේ ගියහ.
මහ බෝසත්හු ද මහණ ව එතැන ම අනුපිය නම් අඹ උයනේ සතියක් මුළුල්ලෙහි මහණ සුවෙන් දවස් යවා අට වෙනි දවස් සන්ධ්‍යා ප්‍රභායෙන් රැඳුණ වලාවෙකින් වැසුණු ශරත් චන්ද්‍රයා මෙන් සිවුරෙන් වැසී ලා හුදකලා වුව ත් කැටි ව නො එක් දෙනා ඇත්තා මෙන් ඒ උයන්හි වසන සිවුපා ආදීන් ඇස අමා වත්කරන්නාක් මෙන් මතතැක්හු ගමන් බඳු වූ ගමනින් නික්මෙන මඟ දෑතුරෙ ත් රත් පියුමෙන් සරහන කලක් මෙන් පා ගමනින් පෙරවරු දවස් එක් සිය විසි ගවුවක් ගෙවා ගොසින් උස්ව නැග බිඳෙන රළ පතර ඇති ගංගා නම් ගඟින් එතර වලා සිවුර ගැටවටු ගන්වා ගෙන පාත්‍ර ය පටවා ගෙන රජගහා නුවරට සිඟා වැද ගෙපිළිවෙළින් සිඟන්ට පටන් ගත් දෑ ය.
මහ බෝසතුන්ගේ අනන්‍ය සාධාරණ වූ රුව දකිමින් සියලු නුවර නාළාගිරි නම් ඇතු අවුත් වන් කලක් මෙන් ද අසුරයන් වන් කලට දෙව්නුවරක් මෙන් ද ඇළලී ගියේ ය. මහ බෝසතුන් ගේ රුව දැක්මෙන් සතුටු වූ බොහෝ දෙන බලා ඇස් ඇද ගත නොහෙති. ඉන් සමහර කෙනෙක් තෙලෙ මේ තරම් කෙනකුන් මිනිස් ලොව අප දුටු විරූ නැත. රාහු කෙරෙහි භයින් රස් සඟ වා ගෙන ආ පුන්සඳ ය, තෙලෙ මිනිස් ලොවට බටුයේ ය’ යි කීහ. ඒ අසා සමහර කෙනෙක් තෙලේ කුමක් කියන නියා ද? පුන් සඳක් මිනිස් ලොවට බට නියාවක් කවර කලෙක දුටුද? බිම්සර රජ්ජුරුවන් වහන්සේගේ ත් නුවර වැස්සන්ගේ ත් ශ්‍රී විභූති ය දැක ආ අනඞ්ගයා නොවේ ද? වෙස් වලහා තෙලේ කිළියටි ආයේ ය’යි කිවු ය.
සමහර කෙනෙක් ඒ අසා සිනාසී පියා ‘කුමක් ද, තොප වියරු හී පියා කියන නියා ද? ඒ අනඞ්ගයාගේ ශරීර භාගයෙක් ඊශ්වරයාගේ නළලින් නැඟි ගින්නෙන් දා ගියේ ය. තුලුන්ගේ එබන්දෙක් නැත. තමන්ගේ තව්තිසා දෙව් නුවර ය යි සිතා සක් දෙවිඳු නොවෙද්ද අවුත් වන්නෝ යයි කිවුය. සමහර කෙනෙක් ඒ අසා අක්කොලින් මඳක් සී පියා අක් මුල් නැති කථා කුමකට කියා ද? අතුරක් සේ කියා පියන දෙයත් සිනාසෙන ලෙසම කිව මනාද? තුලුන්ගේ දහසක් පමණ නුවණැසු ත් කොයි ද? වජ්රායුධය ත් කොයි ද? ඓරාවන නම් හස්තියා ත් කොයි ද? ඒ හැම නැති හෙයින් තුලු සක් දෙවිඳු නො වෙති. බමුණන් පමා නියාවක් දැන වෙදාඞ්ගාදියෙහි යොදන්ට අවුත් වන්නා වූ තුලූ මහ බඹ ය’යි කිවු ය. සමහර කෙනෙක් හැමයට ම බැන නො නැඟී සිට ලා තුලු පුන් සඳකු ත් නො වෙති. අනඞ්ගයා ත් නො වෙති. සක්දෙවි ඳු ත් නො වෙති. මහ බඹු ත් නො වෙති. සියලු ලෝ වැස්සන්ට අනුශාසක ව සිටිනා ආශ්චර්‍ය්‍ය පුරුෂයාන කෙනෙකැ’යි කිවු ය.
මෙ සේ උන් හැම කථා කොට සිටිය දී ම සමහර කෙනෙක් ගොසින් ඒ පවත රජ්ජුරුවන්ට කිවු ය. කියන්නාහු ත් රජ්ජුරුවන් වහන්ස, දේවතා කෙනකුන් බව ත් කා බව ත් නො දනුම්හ. මෙ තරම් කෙනෙක් නුවර සිඟා ඇවිදිතී’ කිවු ය. රජ්ජුරුවෝ ද ඒ අසා සඳැල්ලේ සිට ම මහා පුරුෂයාණන් දැක ඉතා විස්ම ව ගොසින් කියා ආ මිනිසුන්ට ‘යව, ගොසින් විමසව. ඉදින් යක්‍ෂ කෙනෙක් වූ නම් නුවරින් පිටත්ව ලා අතුරුදන් වෙති. ඉදින් දේවතා කෙනෙක් වූ නම් ආසට නැඟී ලා යෙති. ඉදින් නාග කෙනෙක් වූ නම් පොළොව කිමිද ගෙන පලා යෙති. ඉදින් මිනිස් කෙනෙක් වූ නම් සිඟා ලත් බත එක් තැනෙක දී අනුභව කෙරෙතී’ කිවු ය.
මහ බෝසත්හු ද සන්හුන් පියෝ ඇති ව රූප ශෝභාවෙන් බොහෝ දෙනාගේ ඇස් තමන්දෑ කරා අදනා මෙන් වියදඬු පමණෙකින් වඩා නො බලා යපෙන පමණක් ව කෙණෙසි අහර සිඟා ගෙන සිඟා වන් වාසලින් ම පාණ්ඩව නම් ගල් තල්ලෙහි නැගෙනහිරට මුහුණ ලා ලා හිඳ පස්විකා ගෙන වැළඳූ දෑ ය. විමසන්ට ගිය මිනිස්සු ත් එ පවත රජ්ජුරුවන්ට කිවු ය.
බිම්සර මහ රජහු ද අසා පී තරමින් ම දක්නා කැමති ව නුවරින් නික්ම පාණ්ඩව ගල කරා ගොසින් වාහනයෙන් බැස පියා මහ බෝසතුන් ළඟට ගොසින් සත් පුරුෂයන්ගේ අදහස සේ සිහිල් ගල තලා පිට හුන් මහ බෝසතුන්ගේ සැටියෙන් ම පැහැද මහ බෝසතුන්ට රාජ්‍යය කරන්ට ආරාධනා කොට ලා තමන්ගේ රාජ්‍ය ය භාර කළහ. මහ බෝසත්හුද ‘මට රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත. කිඹුල්වත රඳා හිඳීම් නම් මට සක්විති රාජ්‍යය ත් සම්භව වෙයි. එයි ත් හැර බුදුවන නිසා ආමි’කී දෑ ය. රජ්ජුරුවෝ නො එක් ලෙස ආරාධනා කොට ත් නො ලැබෙන හෙයින් මෙ තරම් තරයක් ඇති බැවින් මුඹ වහන්සේ බුදුවන බව නියත ය. බුදුව ලා පළමු කොට මාගේ නුවරට වඩනා බවය’යි කියා ලා නුවරට ගිය හ. උන් ගිය කලට මහ බෝසත්හු ද එ තැනින් ගිය දෑ ය.
“අථ රාජගහං වරරාජගහං - නරරාජ වරෙ නගරන්තු ගතෙ,
ගිරිරාජවරො මුනිරාජවරො – මිගරාජගතො සුගතොපි ගතො.”
යනු හෙයින් කියන ලද-
මහ බෝසත්හු ද සැරිසරන දෑ ආළාරක නම් වූ ත් උද්දකරාම පුත්‍ර නම් වූ ත් තවුසන් දෙන්නා කරා ගොසින් සමාපත්ති අට උපදවා ගෙන ‘මේ බුදු වීමට මඟෙක් නො වෙයි. මේ නම් බඹලොවට මඟ ය’යි දැන එ ම නො පිරිමසා ප්‍රධන් වීර්‍ය්‍ය කරණු කැමැති ව උරුවෙල් දනවුවට ගොසින් ‘මේ බිම් පියස සිත්කලු ය’ යි එ තැන ම රඳා බුදු වන්ට වීර්‍ය්‍ය කළ දෑ ය.
ලක්‍ෂණ කී මාලු බමුණන්ගේ පුත්තු සතර දෙනකු ත් කොණ්ඩඤ්ඤ නම් බමුණානෝ ත් පස් දෙන ම මහණ ව ගෙන ගම් නියම් ගම් ආදියෙහි සිඟා අනුභව කෙරෙමින් උරුවෙල් දනවුවෙහි දී බෝසතුන් දුටහ. දැක ලා ‘දැන් බුදු වන සේක. දැන් බුදු වන සේකැ’ යි සාවුරුද්ද මුළුල්ලෙහි ම මළු හැමදීම් පැන් පෙරා තිබීම් ආදී වත් පිළිවෙත් කරමින් ළඟ ම රැඳුණු දෑ ය. මහ බෝසත්හු ද දුක් ම ගන්නා නිසා තල ඇටකින් වුවත් බත් හුළකින් වුව ත් දවස් යවන දෑ ය. සමහර දවසෙක සුන් බත් වන දෑ ය. දෙවියන් තමන්ගේ ආනුභාවයෙන් ලොම් පිහිටි වළින් ශරීරගත කරන ඕජාව ත් නො ඉවසන සේක. මෙ ලෙසින් ඉතා දුර්‍වල වීමෙන් අනොජා මල් දමක් සේ රන් වන් වූ ශරීර ය කළු ව ගියේය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ත් පුරා කෘත අකුශලයට බා ගියා මෙන් සැඟවිණ.
මහ බෝසත්හු ද කර්‍ම ය නිමන තෙක් දුක් ගෙන නිමවා පියා බුදු වීමට මේ මඟෙක් නො වෙ’ යි සිතා ගෙන ශරීර බල ය එවා ගන්නා නිසා මධුරාහාර ය ලබනු පිණිස ගම් නියම් ගම් ආදියෙහි සිඟා වළඳන දෑය. සිඟා සුවසේ වළඳන කලට දෙ තිස් මහා පුරුෂ ලක්‍ෂණ ය ත්[1] අකුශල කර්‍ම නමැති සොර භය නැති වන්නා ම එළි බස්නා සේ පියවි ශරීර ය ත් රන් වන් වි ය. පස් වග වහන්දෑ ද ‘මුන්දෑ සාවුරුද්දක් මුළුල්ලෙහි දුක් ගෙන ත් බුදු විය නුහුණු දෑ ය. දැන් සුව සේ වළඳා ඇඟ මස් ලෙස් ඇති කරන දෑ කෙ සේ නම් බුදු වන දෑ ද? ප්‍රත්‍ය ය බාහුලික වීමෙන් ප්‍රධන් වීර්යයත් හළ දෑ ය. මුන්දෑ අපට හැයි දැ යි හැර පියා තමා ම වෙන් කළ මනා තැන තමන් වහන්සේලා ම බරණැස ඉසිපතන නම් උයනට ගිය සේක.
මහ බෝසත්හු ද වෙසඟ මැඳි පොහෝ දවස් උරුවෙල් දනවුවෙහි සෙනානි නම් නියම් ගම සෙනානි නම් කෙළෙඹියාණන් ගේ දූ වූ සුජාතාවන් දුන් වහන ලද දිව රස ඇති කිරි බත නිල් තලා හෝ බඩදී වළඳා රන්තළි ය උඩුගං බලා යවා නාග භවනයට රන් තළියේ “රාං” යන හඬත් නිඳන කාල නම් නා රජ්ජුරුවන් පිබිද්දු දෑ ය. මහ බෝසත්හු ද සවස් වේලා එන තෙක් නිල්තලා[2] හෝ බඩ පිපී වැනී ගිය සල් ගසින් ඉතා ශෝභාවත් වූ සල් උයන්හි දාවල් දවස් යවා සවස් වේලෙහි දෙවියන් සරහා ලූ මගින් බෝ මැඩට නික්මුණු දෑ ය. දිව්‍ය බ්‍රහ්මාදීහු’ත් පූජා භාණ්ඩ හැර ගෙන කැටි ව නික්මුණාහ. ඒ වේලාට සොත්‍ථිය නම් බමුණාන කෙනෙක් හී තණ හැර ගෙන පෙර මඟට එන්නෝ මහා පුරුෂයාණන් බුදු වන්ට නික්මුණු නියාව දැන හී තණ අට මිටක් දුන්හ.
මහ බෝසත්හු ද හී තණ හැරගෙන අඳුන් කුළක් සේ නිල් ව ශෝභාවත් වූ තමන් වහන්සේගේ කරුණාව සේ සිහිල් සෙවණ ඇති උඩින් අජටාකාශ ය දක්වා ජන සඤ්චාර රහිත වූ මඳ පවනින් සැලෙන අතු වලින් ප්‍රීතීන් පිනන්නාක් වැනි වූ ඇසතු බෝරුක් මුලට ගොසින් බෝ රුක තුන් විට පැදකුණු කොට ලා ඊශාන කෙණෙහි සිට හී තණ අගින් අල්වා ගෙන සලා බිම වගුරුවා ලූ දෑ ය. මහ පොළොව ගුගුරුවා ලූ ය. ඒ ඇසිල්ලෙහි තුදුස් රියන් උස ඇති විදුරස්නෙක් පහළ වී ය. ඒ හී තණ ත් සිත්තම ඇඳ ලූවාක් මෙන් අස්න වටා සිටී ය. මහ බෝසත්හු ද තුදුස් රියන් විදුරස්නෙහි පසු ව දස දිග පැතිරෙන තෙක් එක් ව සිටියා වූ කීර්ති පුඤ්ජයක් වැනි වූ පනස් රියන් උස ඇති බෝ රුකට පිට දී බුදු ව මුත් නැඟී නො සිටිමී’ යන තර අදහස් ඇති ව පලක් බැඳ ගෙන හුන් දෑ ය. රන් වන් සිවුරෙහි වැගිරෙන්නා වූ බෝධි දලු උතුරු මුහුද පතළ පබළු දලු මෙන් ඉතා හොබ්බ.
මහ බෝසතුන් බුදු වනු නිසා හුන් කල මාර දෙව් පුත් ‘සිදුහත් කුමරු මා මැඩ පවත්නට සිත යි. එ ලෙස කොට නො දෙමි මර සෙනඟට ත් එ පවත් කියා ලා තම අදහස් ඇත්තවුන් හෙයින් මර සෙනඟ හැර ගෙන බුදු බව උගුළුවන්ට නික්මිණ. ඒ මර සෙනඟ ද මාරයාට පෙරාතු ව අට සාළිස් ගවුවෙක එතී. දකුණත් පසිනු ත් වම ත් පසිනු ත් එ සේ ම අට සාළිස් අට සාළිස් ගවුවෙක පැතිර එති. පිටි පස්සෙන් බෝ මැඬ පටන් සක් වල ගල දක්වා පැතිර සිටියහ. උසින් සතළිස් ගවුවෙක පැතිර සිටියහ. මර සෙනඟෙහි පිරිස් ගිඟුම සාර දාස් ගවුවෙහි පටන් පොළව ගුගුරන්නා සේ ඇසෙයි.
ඒ වේලාට මහ බෝසතුන් ළඟ සක් දෙවිඳු එක්සිය විසි රියන් පමණ දිග ඇති විජයතුරා සක පසු දම්සක් පිඹින බෝසතුන්ට පිඹ පිඹ සිටියහ. පන් සිළු නම් ගඳඹ දෙව් පුත් තුන් ගවුවක් දිග ඇති බෙලුව නම් වූ වීණාව මඟුල් ගී කිය කියා ගායනා කෙරෙති. සුයාම නම් දෙව්රජ තුන් ගවුවක් පමණ දිග ඇති ශරත් චන්ද්‍රයාගේ චන්ද්‍ර කාන්ති පුඤ්ජයක් වැනි වූ චාමරයකින් පවන් සල සලා සිටියේ ය. සන්තුෂිත නම් දෙව් රජ තුන් ගවුවක් පමණ වූ ඉඳුනිල් මිණි මුවා තල් වැටක් සලමින් සිටියේ ය. දස දහසක් සක්වළ දෙවි බඹහු රන් කලස ආදී වූ පූජා භාණ්ඩ හැර ගෙන ආවඩ වඩා සිටියහ.
මර දෙව් පුත් තෙමේ ස සියක් ගවු පමණ දිග ඇති තුන් සිය සැට ගවුවක් පමණ උස ඇති හිමවු ගිරි කුළක් සේ ඉතා ශෝභාමත් වූ ගිරිමෙවුල් නම් ඇත් වාහනයකට නැඟී ලා පසු ව හිස ලන අත් නොදකිතත් අත් දහසක් මවාගෙන නො එක් ලෙස් ඇති ආයුධ දහසක් ගත. මර සෙනඟ ද කඩු කොන්ත ආදී වූ නො එක් ආයුධ ත් හැර ගෙන රාක්‍ෂස රූපාදි වූ භයානක එක් රූ ත් මවා ගෙන බුදු මඟුලෙයි පුරමාට්ටු පාන්ට ආ කොමා ලින්[3] මෙන් බෝසතුන් පිරිවරා ගත්හ.
මර සෙනඟ ළං ව එත් එත් ශක්‍ර බ්‍රහ්මාදීන් අතුරෙන් එක් කෙනෙකු ත් රඳා සිටි පිය නොහී ඉස් ලූ ලූ අත දිවූහ. සක් දෙවිඳු තෙමේ මිටි තැන සිට පිඹි කල දුර නො ඇසෙන හෙයින් උස් තැනකට යන්නා සේ සක පිට එල්වා ගෙන සක්වළ ගල මුවවිට සිටි ය. සහම්පතී නම් මහ බඹු තෙමේ දොළොස් ගවුවක් පමණ මහත ඇති හෙළ කුඩ ය නිකම් බිමෙක හෙළා පියා නො පියා සක් වළ ගල කෙළවර තබා පියා බඹ ලොවට ම ගියේය. කාළ නම් රජ්ජුරුවෝ ද කැටි ව ආ නා නළුවනු ත් හැර පියා පොළොව කිමිද ගෙන ගවු දෙ දාසක් දිග පළල ඇති මාඤ්ජරික නම් නාග භවනයට පලා ගොසින් මර දෙව් පුත් හට මූණ අත්දෙන්නා සේ අතින් මූණ වසා ගෙන යානේ වැද හොත්තෝ ය. එක දේවතා කෙනකුත් බ්‍රහ්ම කෙනකුත් බැද්දකට වැදලා වුව ත් සිට පිය නුහුණවූ ය. මහ බෝසත්හු කවුරුන් පලා ගිය ත් සිස් විමනෙක මහ බඹක්හු මෙන් හුදකලාව ම හුන්දෑ ය.
වසවත් මරහු එතැනට එන්නාට පෙරාතු ව ම අවලක්‍ෂණ ලෙසින් ඌ තමා හිස නුහුණත් ඒ ඒ තැන ගිනි සෙණ හෙන්ට වන. මූ තමාගේ සිත නුනුවණින් අඳුරු වූවා සේ ම දුද්දින බලා දවසත් අඳුරු වි ය. තව ද සිත් පිත් නැති මහ පොළව ද සිත් පිත් ඇති එකක මෙන් දිව්‍ය බ්‍රහ්මාදීනුත් පලා ගොසින් මහබෝසතුන් තනි ව ගියාට ‘තනි බෝසතුන් හැර ගෙන මූ බලි තැනැත්තවුට කුමක් කට හැකි දැ’යි භයින් වෙවුලා ගියාක් මෙන් දෝ හෝ නො හොත් මහ බෝසතුන්ගේ ගුණ භාරයෙන් වෙවුලා ගියාක් මෙන් වෙවුලා ගියා ය. තව ද මර සෙනඟට ත් මරුට ත් දෙවි-බඹ නා-ගුරුළු ආදීන් කට හැක්කක් නැත ත් ගලා මරන්ට කරන දෙයක් මෙන් මුහුද ත් උප්පාතික වන්ට වන. යට ගං බලා යන ගඟු ත් පිට පුරා සිටින්ට එන්නා සේ උඩු ගං බලා නමා පී ය. මරු හා මර සෙනඟ එන මඟ හකුල් එළන්නා සේ ගල් කුළු හා ගස් කොළන් උදුරා ගෙන වැගිරෙන්ට වන.
තව ද මරු හා මර සෙනඟ සුළඟේ පලවන්ට කරන දෙයක් මෙන් මහ සුළඟ හමා ලා සෙණ ත් ගසන්ට වන. මරු හා මර සෙනඟ එත නො දෙන්ට කරන්නාක් මෙන් හිරු ආලෝක ත් නැති ව මහ අඳුරු වි ය. පැරුම් නැමති යෝධ භටයන් කරා අවුත් හිස් කප්පවා ගන්නාක් මෙන් හිස් නැති මිනිස් අහස පවත්නට වන්හ. මෙ සේ වූ අවලක්‍ෂණ ඇති ව මහ බෝසතුන්ට ගහට කරන නිසා එන්නා වූ වසවත් මරහු දැක දිව්‍ය බ්‍රහ්මාදීහු අනුකම්පාවෙන් ‘අනේ මේ කිම් දැ’යි කියන්ට වන්හ. මහ බෝසත්හු ඒ සා මර සෙනඟක් මැදට පැමිණ ත් කෙතෙක් පක්ෂීන් කෙරෙහිත් භයක් නැති ගුරුළු රජ්ජුරු කෙනකුන් මෙන් ද සියලු සිවුපාවුන් කෙරෙහි භයක් නැති සිංහයාණ කෙනකුන් මෙන් ද ඉස් ඇස් ආදිය දීමෙහි භයක් නැත්තා සේ හයක් ශඞ්කාවක් නැති ව හුන් දෑ ය.
වසවත් මරහු ද ‘සිදුහත් කුමරුන් බවා පලවා පියමී’යි මහ සුළං මුසු වැස්සෙක, කල්පාන්ත වර්ෂාවක් වැනි මහ වැස්සෙක, පහණ වැස්සෙක, අවි වැස්සෙක, අඟුරු වැස්සෙක, හුණු හළු වැස්සෙක, වැලි වැස්සෙක, කළල් මඬ වැස්සෙක, අඳුරු සහිත වැස්සෙකැ යි වැසි නවයක් වස්වා ත් වැස්සූ දෙය පූජෝපකරණ වන හෙයින් මහ බෝ සතුන් උගුළුවා ගත නො හී උරණ ව ගොසින් ‘හැයි කොල, සිටිනැ යි. සිදුහතු නොසිදුහත් කරවා මරව, කොටව’ යනාදීන් මර සෙනඟට ත් විධාන කෙරෙමින් තෙමේ ත් ගිරිමෙවුලා පිට හිඳගෙන එක් අතකින් හීයක් නටව නටවා මහබෝසතුන්ට ලං ව ‘සිදුහතිනි, පලඟින් නැඟී සිටුවයි කීහ. මර සෙනඟ ත් සවුලයන් හෙයින් බොහෝ කොට දෙඩූහ.
මහ බෝසත්හු ද ඒ සා මහත් මර සෙනඟක් සමතිස් පැරුම් නමැති යෝධ භටයන් තිස් දෙනා පමණෙකින් හිර ගලා නොහෙන තෙක් සාදා පියා පෙර යම් දස පැයින් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ උපදවා ගෙන, මැද යම් දස පැයින් දිව ඇස් උපදවා ගෙන, අළුයම් වේලෙහි විවසුන් වඩා රහත් මඟින් සව් කෙලෙසුන් ගෙවා රහත් වීමෙන් ම බුදු ව වදාරා “අනේකජාති සංසාරං” යනාදී වූ උදනු ත් අනා වැඩ හුන් බුදුහු ‘මම මේ පළඟ නිසා සාරාසැකි කප් සුවහසක් මුළුල්ලෙහි බොහෝ දුක් ගතිමි. පළඟ නුගුළුවා හිඳ බුදු වීමි. එ හෙයින් මේ පළඟ ඉතා වැඩකරු ය. බුදු වූ පමණෙකින් නැඟී නො සිටිමී’ නිවන් රස අනුභව කෙරෙමින් කෙළ ලක්‍ෂ ගණන් ඵල සමවතට සම වදිමින් සතියක් මුළුල්ලෙහි විදුරස්න වැඩ හුන් සේක.
එ සේ වැඩ හුන් කලට සමහර දේවතා කෙනෙක් තව බුදු විය නුහුණු නියා වේ දැ’යි සිතූහ. බුදුහු උන්ගේ අදහස් දැන ඒ සිතිවිල්ල හරවනු නිසා අහසට නැඟී යමා මහ පෙළහර දක්වා දෙවියන්ගේ සැක හරවා ලා අහසින් බැස පළඟට ඊසාන කොන වැඩ සිට වැඩ හුන් පළඟට දල්වා ලූ ඇස නො පියා සතියක් මුළුල්ලෙහි නේත්‍ර පූජාව කළ සේක. තව ද වැඩ හුන් පළඟට ත් වැඩ සිටි තැනට ත් අතුරෙහි රුවන් සක්මණක් මවා ලා සතියක් මුළුල්ලෙහි ඒ රුවන් සක්මණ සක්මන් කළ සේක. සතර වන සතියෙහි බෝධීන් වහන්සේට වායව්‍ය කොණයෙහි දෙවියන් මැවූ රුවන් ගෙයි වැඩ හිඳ විදම් පිටක ය සලකමින් සතියක් යවා වදාළ සේක. මෙ සේ බෝරුක් මුල්හිම අට විසි දවසක් යවා වදාරා පස් වන සතියෙහි බෝ රුක් මුලින් වැඩ අජපල් නම් නුග ගස මුල දහමුත් සලක සලකා සම වත් සුවෙනුත් දවස් යවූ සේක. එ තැනින් මිදෙල් විල කරා වැඩි කලට සති වැලල්ලක් ඈති වූ හෙයින් මුචලිඳු නම් නා රජ්ජුරුවන්ගේ දරණ ගබ වට ව තිබෙන ගඳ කිළියෙක වසන කලක් මෙන් සති යක් මුළුල්ලෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ලා සති ය ඉකුත් කලට කිරිපලු ගස කරා වැඩ සමවත් සුව විඳිමින් සත් වන සතිය යවා වදාළ සේක.
මෙ පමණෙකින් සතළිස් නව දවසක් පිරිණ. මේ දෙ දෑතුරෙහි[4] බුදු වන දවස වැළඳූ බත ම පතට නිල කොට නිවන් රස වැළඳු සේක. බුදුහු බුදු වූ දවස් පටන් එකුන් පනස් වැනි දවස් සක් දෙවිඳුහු ගෙනා නාලිය දැහැටි වළඳා ලා අනොතත්ත විල පැනින් කට සෝදා පියා කිරිපලු ගස මුල වැඩ හුන් සේක. ඒ වේලාට තපස්සු ය - භල්ලුක ය යන වෙළෙන්දෝ දෙන්නෙක් පූර්ව ජාතියෙහි තමන්ට නෑ කමක් ඇති දේවතාවාණ කෙනකුන්ගේ නියෝගයෙන් අත්සුණු සහ අග්ගලා ගෙනවුත් පිළිගන්නා ලෙසට බුදුන්ට ආරාධනා කළහ. ‘බුදුන් මහණ වන දවස් අට පිරිකර ත් සම්භ වූ පාත්‍රය කිරිබත් තළිය පිළිගත් දවස් අතුරුදන් වූ හෙයින් පාත්‍රයත් නැත. කුමකින් පිළිගනිම් දෝ හෝ’යි සිතූ සේක.
බුදුන්ගේ අදහස් දැන වරම් රජ දරුවෝ සතර දෙන සතර දිගින් ඉඳුනිල් මිණිමුවා පාත්‍ර සතරක් ගෙනාහ. බුදුහු මහණ සරුප් නො වන හෙයින් නොපිළිගත් සේක. නැවත මුං වන් සල ගල් පාත්‍ර සතරක් ගෙනවු ය. බුදුහු වරමුන් කෙරෙහි කරුණා වෙන් එකක් හැර ගෙන සෙස්ස හළොත් සෙස්සන් මුසුප්පු හෙයින් පාත්‍ර සතර එක පාත්‍රයක් වන්ට ඉටා එක් වූ කල්හි ඉන් අත් සුණු සහ අග්ගලා පිළිගෙන වළඳා ලා වෙළඳුන් දෙන් නාට අනුමෙවෙනි බණ වදාළ සේක. ඒ දෙ බෑ වෙළෙන්දෝ ද තව සඞ්ඝයා වහන්සේ නැති බැවින් බුදුරුවන් ධමුරුවන් සරණ ගියහ.
බුදුහු කිරිපළු රුක මුල දී වළඳා ලා අජපල් නම් නුග ගස මුලට වැඩ එ තැන්හි වැඩ හුන් සේක. එ තැන වැඩ සිටිය බුදුන්ට තමන් වහන්සේ සියුම් නුවණින් දත් ධර්‍ම ය සෙස්ස වුන් දත නො හෙන හෙයින් අනුන්ට ‘බණ නො කියමී’ යන අදහස ඇති විය. ඉක්බිත්තෙන් සහම්පතී නම් මහ බඹාණෝ දස දහසක් සක්වල දෙවි බඹුන් පිරිවරා අවුත් බණ දෙසන්ට ආරාධනා කළහ. බුදුහු ඒ ආරාධනාව ඉවසා ‘කවුරුන්ට බණකියම් දෝ හෝ’ යි විමසන සේක් පස්වග වහන්දෑ උපකාරී හෙයින් ඒ පස් දෙනා වහන්සේ සඳහන් කොට ‘දැන් ඌ කොයි වෙසෙත් දෝ හෝ’ යි විමසන සේක් බරණැස් නුවර නිසා ඉසිපතන නම් උයන්හි වසන නියාව දැන ‘ඔබ ගොසින් දම් සක් පවත්වමී’ කීප දවසක් බෝ මැඬට ආසන්නයෙහි ම සිඟා වළඳා වැඩ හිඳ ඇසළ මස මැදි පොහෝ දවස් බරණැසට වඩනා නිසා පා සිවුරු හැරගෙන දෙ සැත්තෑ ගවුවක් විතර ව තිබෙන මඟ වඩනා සේක් අතුරු මඟ දී උපක නම් ආජීවකයන් දැක මතු උන්ට වන ප්‍රයෝජන සලකා උන්ට තමන් වහන්සේ බුදු නියාව හඟවා ලා එ දවස් සවස් වේලාට ඉසිපතන නම් උයනට වැඩි සේක.
පස් වග වහන්දෑ ත් දුරින් ම වඩනා බුදුන් දැක ‘ඇවැත්නි, මේ මහණ ගොයුම්හු සුව සේ සිඟා වළඳා දුර්වල කමත් හැරී ගොසින් මස් ලෙස් ඇති ව ප්‍රසාදාවහ ව පියා එති. දුක් ගන්නා අවධියේ බුදුව ගත නුහුණු කලට දැන් කෙසේ බුදුව ගත හෙත්ද? වැඳීම් පිදීම් නො කරම්හ. හිඳිනා අසුන් පමණක් පනවම්හ’යි කතිකා කළ සේක. බුදුහු ඒ වහන්දෑගේ අදහස් දැන සියල්ලවුන් කෙරෙහි සාමාන්‍යයෙන් පතළ මෙත් සිත් ආවේණික ව ඒ පස් නම කෙරෙහි පවත්වා වදාළ සේක. මෛත්‍රියෙහි ආනුභාවයෙන් බුදුන් ළං වත් ළං වත් කතිකා වත පිහිටා ගත නො හී වැඳීම් ආදි ය කළ සේක.
බුදුහු ද ‘ඇවැත්නි’ කිය කියා කථාවට පටන් ගත් වහන්දෑට තමන් වහන්සේ බුදු වූ නියා ව හඟවා ලා පනවාලූ බුදු හස්නෙහි වැඩ හිඳ උතුරුසළ නකතින් අටළොස් කෙළක් බඹුන් පිරිවරා පස්වග වහන්දෑ බණවා ලා දහම්සක් පැවැත් වූ සේක. එ දවස් අටළොස් කෙළක් බඹුන් හා සමඟ කොණ්ඩඤ්ඤ නම් මහ තෙරුන් වහන්සේ නිවන් දුටු සේක. නැවත මහා මඞ්ගල සූත්‍ර ය හා රාහුලොවාද සූත්‍රය හා දෙක දෙසූ දවස් අසඞ්ඛ්‍යයක් නිවන් දුටහ.