336. කාශ්‍යප නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

කොණාගමන නම් බුදුන්ට ඉක්බිති ව කසුප් බුදුන් ලෙව්හි පහළ ව ඉසිපතන නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි විසි කෙළක් නිවන් දුටහ. තව ද දනවු සැරිසරා වැඩි ගමනේ

දස කෙළක් නිවන් දුටහ. සුන්‍දර නම් නුවර දොර පියා ගස මුල දී යමාමහ පෙළහර කෙරෙමින් බණ වදාළ දවස් පස් කෙළක් නිවන් දුටහ. පෙළහර කොට ලා මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ කොට දෙවියන්ට විදම් බණ දෙසූ දවස් තුන් කෙළ දහසක් පමණ දෙවියෝ නිවන් දුටහ. එ කල දඹදිව නරදෙව නම් යක්‍ෂයෙක් දඹදිව එක් නුවරක රජ්ජුරුවන්ගේ වෙස් මවා ගෙන කාට ත් නො හඟවා ඒ රජ්ජුරුවන් කා පියා පුරඟනන් සහිත වූ රට තෙමේ අත්කර ගන්නා මිනිස්සු ත් බොහෝ ව ඇත. මේ තෙමේ ද වැළි ත් ස්ත්‍රී ධූර්‍ත ය. යම් දවසෙක සියුම් නුවණ ඇති ගෑනු මූ අපගේ රජ්ජුරුවෝ නොවෙති’ දත්තු නම් ඒ දවස් තෙමේ ලජ්ජා ව පියා පුරඟනන් හැම ත් කා පියා අනික් නුවරක් අත් ගන්නී.

මේ නියායෙන් මිනිසුන් ගසා කා ගෙන ඇවිදිනේ බුදුන් වැඩ හුන් නුවර බලා නික්මිණ. නුවර වැස්සෝ ඔහු දැක බා ගොසින් නුවරින් නික්ම ඒ ඒ තැනට යන්ට වන්හ. කසුබ් බුදුන් උන් හැම භයින් පලන්නවුන් දැක නරදෙව යක්‍ෂයාට ඉදිරි ව ලා සිටි සේක. යක්‍ෂයා ත් බුදුන් වැඩ සිටි නියා දැක භය ගන්වන්ට ය යි සිතා හඬකුත් ගසා හවා ගත නො හී ප්‍රශ්න විචාළ. ප්‍රශ්න විසඳීමෙන් ම උන් හික්මවා ලා බණ වදාළ කල්හි අසඞ්ඛ්‍යයක් සත්තු නිවන් දුටහ. තව ද තිස්ස නම් තවුසාණන් ඇතුළු විසිදහසක් තවුසෝ කසුප් බුදුන්ගෙන් බණ අසා රහත් වූහ.