334. කකුසඳ නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

වෙස්සභූ බුදුන්ට ඉක්බිති බුදුවරුන් වහන්සේ පස් නමකගෙන් හෙබියා වූ මේ මහා භද්‍රකල්පයෙහි කකුසඳ නම් බුදුන් ලෙව්හි පහළ ව සම්භූත නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි සතළිස් කෙළ දහසක් නිවන් දුටහ. තව ද කණ්ණකුජ්ජ නම් නුවර මහ සල්රුක් මුල්හි දී යමා මහ පෙළහර කළ දවස් කෙළ දහසක් නිවන් දුටහ. තව ද ඛේමවතී නම් නුවරට ආසන්නයෙහි එක්තරා දෙවොලෙක වසන නරදෙව නම් මහා ප්‍රසිද්ධ වූ යක්‍ෂයෙක් වල් මධ්‍යයෙහි සිහිල් පැණින් පිරුණා වූ මහනෙල් ඉපුල් ආදියෙනුත් හොබනා ජන සඤ්චාර ය නැති විලක් බඩ රඳා මහනෙල් ඉපුල් ආදීන් මිනිසුන් පොළොඹා ගෙන්වා ගෙන ක යි. නැවත එ ම වල එක් තැනක සැඟවී වැද හිඳ එ තැනට පැමිණිය වුනු ත් කයි. ඒ මඟ ත් යකුන් මිනී කතී ප්‍රසිද්ධ වි ය. ඔබිනු ත් මොබිනුත් වන දොර කඩ කරා ආ මිනිස්සු ඈ ත් මෑත් විය නොහී සිටිති. පහ වූ භවබන්ධන ඇති කකුසඳ නම් බුදුහු එක් දවසක් අළුයම්හි කුලුණු සමවතින් නැඟී ලොව බලන සේක් නරදේව නම් යක්‍ෂයාත් වල් කතරට පැමිණි ජන සමූහයා ත් නුවණ දෑළ බැඳුණවුන් දුටු සේක.

දැක ලා අහසින් වැඩ ඒ ජන සමූහයා බල බලා සිටියදී ම නොයෙක් පෙළහර දක්වමින් බුදුහු නරදෙව නම් යකුගේ විමනට වැඩ ඔහු හිඳින පළඟ ම වැඩ හුන් සේක. මිනිස් මස් කන්නා වූ යකාණෝ ද විදුලියෙන් වලඳනා ලද හිරු මඬලක් මෙන් සවනක් රසින් බබළමින් තමන්ගේ විමන් නමැති උදා ගිරි තලට සර්වඥ නමැති හිරු මඬල පහළ වූ නියාව දැක ‘බුදුන් මා කෙරෙහි කරුණාවෙන් වැඩි නියා ය’යි පැහැද තමන් පිරිවරයකුනු ත් හැර ගෙන හිමවු පියසට පලා ගොසින් සුවඳැති මලු ත් හැර ගෙන සඳුන් ආදී වූ සුවඳ ත් ගෙනවු ත් තමන් ගේ මඟුල් පළඟ වැඩ වුන් බුදුන්ට පූජා කොට ලා වැඳ වැඳ සිටියහ. ඒ පෙළහර දැක මිනිසුන් පැහැද භය හැර අවුත් බුදුන් වැඳ ලා සිටියහ. ඉක්බිත්තෙන් අන් භවයක ප්‍රතිසන්ධාන නැති කකුසඳ නම් බුදුහු බණ වදාළ සේක. එ දවස් ඒ යක්‍ෂයාණන් ඇතුළු වූ අසඞ්ඛ්‍යයක් සත්හු නිවන් දුටහ. කණ්ණකුජ්ජ නුවර ඉසිපතන නම් උයන්හි දී සතළිස් දහසෙක් රහත් වූහ.