සිඛී බුදුන්ට ඉක්බිති ව වෙස්සභු නම් බුදුන් ලෙව්හි පහළ ව අරුණ නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි අසූ කෙළ දහසෙක් නිවන් දුටහ. තව ද දනවු සැරිසරා වැඩි ගමනෙහි සැත්තෑ කෙළ දහසෙක් නිවන් දුටහ. තව ද අනූපම නම් නුවර දී තිථයන්ගේ දෘෂ්ටි නමැති දැල් සිඳිමින්, මන් නමැති ධජ ලෙළවමින්, දහම් නමැති ධජ නංවමින්, තුන් සිය සැට ගවුවෙක පැතිර සිටි මිනිසුන් හා අනන්ත වූ දෙවි බඹුන්ට යමා මහ පෙළහර දක්වන දවස් දෙවි මිනිසුන්ගෙන් සැට කෙළක් නිවන් දුටහ. තවද සොණ ය-උත්තර ය යන අග සවු දෙ දෙනා වහන්සේ මහණ ව රහත් වූ දවස් අසූ දහසක් රහත් වූ සේක. වෙස්සභූ බුදුන් හා එකදා මහණ වූ ස තිස් දහසක් පමණ වහන්දෑ දහම් සක පවත්වන දවස පසු ව ගොසින් සොරෙය්‍ය නම් නුවරට අවුත් බුදුන් දැක ඊ දී රහත් වූ සේක. නැවත නාරිවාහන නම් නුවර උපසාන්ත නම් රජ්ජුරුවෝ බුදුන් තමන්ගේ නුවරට වැඩි නියා ව අසා සහපිරිවරින් බුදුන් කරා එලඹ පවරා ගෙන මහ දන් දී බණ අසා සැට දහසක් හා සමඟ රහත් වූ සේක.