විදර්ශී බුදුන්ට ඉක්බිති ව ගිතෙල් හිස දීප්තිමත් කරන ලද වහ්නි ශිඛාවක් සේ සෝභාමත් වූ සිඛී නම් බුදුන් ලෙව්හි පහළව අරුණවතී නුවර ගාවා ‘මිගාචීර නම් උයන්හි දී දහම් සක පැවැත් වූ කල්හි කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. තව ද අරුණවතී නුවර ළඟ ම වසන්නා වූ අභිභූ ය-සයම්භූ ය යන රාජ පුත්‍රවරුන් දෙන්නා මුල් ව බණ වදාළ දවස් අනූ කෙළක් නිවන් දුටහ. යම් කලෙක සුරියවතී නම් නුවර සපු රුක් මුල්හි දී තිථයන්ගේ මන් බිඳිනු නිසා ත්, කෙලෙස් ඇලින් ඇල් වැද ගිය වුන්ට ගිනි කඳ විහිදුවා ඇල් හරනා නිසාත්, කෙලෙස් ගින්නෙන් තැවී ගියවුන් ගේ ගිම් පලවන්ට දිය කඳ පවත්වා ගිම් හරවනු නිසාත්, බුදුන් යමාමහ පෙළහර කරන කල්හි ඊත් පැහැද, බණත් අසා අසූ කෙළක් නිවන් දුටහ. අභිභූ ය-සයම්භූ ය යන අගසවු දෙ නම හා එක් ව ලක්‍ෂයක් මහණ ව රහත් වූ සේක. අරුණවතී නුවර නෑයන් ගෙන් අසූ ලක්‍ෂයක් රහත් වූහ. ධනඤ්ජය නම් නුවර දී ධනපාල නම් ඇත් රජහු හික්ම වන දවස් සැත්තෑ දහසක් රහත් වූහ.