ඵුස්ස බුදුන්ට ඉක් බිති ව විදර්ශී නම් බුදුන් ලොව පහළ ව බ්‍රහ්මාරාධනාවෙන් දහම් සක පැවැත් වූ කල්හි දෙවි මිනිසුන් ගෙන් අසඞ්ඛ්‍යයක් නිවන් දුටහ. තව ද ඛන්ධ නම් රාජ පුත්‍රයාණන් හා තිස්ස පුරෝහිත පුත්‍රයාණන් හා මහණ වන ගමනේ අනු ව මහණ වූ සුවා සූ දහසට බණ වදාරා ඒ සුවා සූ දහසක් නිවන් දැක්වූ සේක. තව ද තමන් වහන්සේ අනු ව මහණ වූ සුවා සූ දහසට ත් බණ වදාරා ඒ සතුන් හැමත් නිවන් දැක් වූ සේක. තව ද යමා මහ පෙළහර දැක පැහැද ලක්‍ෂයක් රහත් වූ සේක. තව ද විපස්සී බුදුන්ට වෙන මවුන් දරු ව මල් වූ තුන් බෑ කෙනෙක් පසල් දනවුව සන්හිඳුවා ලා බුදුන්ට උපස්ථාන කරන්ට වර ලදින් තමන්ගේ නුවරට ගෙන ගොසින් උපස්ථාන කොට බණ අසා අසූ දහසක් හා සමඟ රහත් වූ සේක.