තිස්ස බුදුන්ට ඉක්බිති ව ඵුස්ස නම් බුදුන් ලොව පහළ ව සකස්පුර නුවර ඉසිපතන උයන්හි දී දහම් සක් පැවත් වූ කල්හි කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. තවද සිරිවඩු නම් තවුසාණන් මුල් ව බණ වදාළ දවස් අනූ ලක්‍ෂයක් නිවන් දුටහ. තමන් වහන්සේගේ පුත් වූ අනූපම කුමාරයන්ට බණ වදාළ දවස් අසූ ලක්‍ෂයක් නිවන් දුටහ. තව ද කණ්ණකුජ්ජ නම් නුවර සුරක්ඛිත නම් රජ කුමරුන් හා ධම්මසේන නම් බමුණු කුමරුන් හා ඵුස්ස බුදුන් තමන්ගේ නුවරට වැඩි කල්හි සැට ලක්‍ෂයක් දෙනා හා සමග ගොසින් සතියක් මුළුල්ලෙහි මහ දන් දී බුදුන්ගේ බණ අසා සැට ලක්‍ෂයක් හා සමඟ රහත් වූහ. තව ද කසී නුවර ජයසේන රජ්ජුරුවන් මුල් ව නෑයන්ට බුද්ධ වංශ දෙසූ දවස් පනස් ලක්‍ෂයක් පමණ රහත් වූහ. තව ද මඞ්ගල සූත්‍ර දේශනාවෙහි දී සතළිස් ලක්‍ෂයක් රහත් ව මහණ වූහ.