31. ද්විසහායක වස්තුව

star_outline

තව ද පමා ව වසන්නවුන්ට නිවන් දුරුවන නියාව ත් නො පමාව වසන්නවුන්ට නිවන් ළං වන නියාව ත් දක්වා නො පමා වීමෙහි යොදන්ට ද්විසහායක භික්ෂු වස්තුව කියමු.

ඒ කෙසේ ද යත්:-

එක් දෙ දෙනකුන් වහන්සේ රහත් වනු නිසා බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙන භාවනා කරනු නිසා ගම් පැල් ඊට අයොග්‍ය හෙයින් යටත් පිරිසෙයිනු ත් දුනු පන් සියයක් පමණ දුර ඇති වනවාස විහාරයට ගිය සේක. එ සේ වැඩි දෙ දෙනා වහන්සේ ගෙන් එක් කෙනකුන් වහන්සේ වේලා පස ම දර ගෙනවුත් වග්ගිනි කබලේ[1] ගිනි මොළවා ගෙන එයි ත් එක් භාවනා විධියක් සේ හෙරණුන් පිරිවරා ගෙන ස්වර්‍ග-මෝක්‍ෂ බාධක වූ කථා කෙරෙමින් ගිනි තැප තැප පෙර යම් දස පැය යවන සේක. අනික් විසි පැය නිඳන සේක. අනික් තෙනැත්තවුන් වහන්සේ නො පමා ව මහණ ධර්‍ම පුරන සේක් ‘ඇවැත්නි, තෙල ලෙස නො කළ මැනව. පමා ව වසන්නවුන්ට සතර අපාය නම් නිරන්තර ව හිඳිනා ගෙවල් හා සරි ය. බුදුවරුන් වහන්සේ ත් වංචාවෙන් සිත් ගන්ට බැරි ය. නරක ගිනි බතො ත් ගිනි තැපුමත් හැරලා පිඹුරු ව උපන් අවධි වල නිඳා පූ නිඳි ත් නො මඳ බැවින් නිඳි ත් හැර කරණ කථාවට අල්පේච්ඡ කථාදිය ඇති බැවින් නිෂ්ප්‍රයෝජන කථා ත් හැර මහණ ධම් කළ මැනැවැ’ යි වදාරන සේක.

ඔබ වදාරන අවවාද පමා ව වසන තැනැත්තන් වහන්සේ කරන්ට සිත් නොයන හෙයින් නො ගිවිස්නා සේක. නො ගිවිස්නා නියාව දැන ලා උන් වහන්සේ කියන මාලු කම් තබා පියා තමන් වහන්සේ නො පමා ව මහණ දම් පුරන සේක. මැළි තෙරුන් වහන්සේ ද පෙර යම් දස පැය ද බිඳ ලා ගත් දර ඇති බැවින් ගිනි තැප පියා මහණ දමට නොමැළි වූ තෙරුන් වහන්සේ පෙර යම්හි හිඳීමෙන් හා සිටීමෙන් හා සක්මන් කිරීමෙන් හා දවස් යවා මැදිම්[2] යම සැතපෙන්ට ගබඩාවට වන් කල්හි තමන් වහන්සේ ත් ගබඩාවට වැද ලා තමන් වහන්සේගේ මැළි කම ඔබ පිට ලා ලා ‘මහ මැළියාණෙනි, වැදහෙව නිඳන්ට දවු ද? කුමක් ද? බුදුන් ගෙන් කමටහන් ඉගෙන ආ කල වීර්ය්‍ය කළ මනා වේ දැ’යි කියා ලා තමන් වහන්සේ වසන තෙනට ගොසින් අනික් විසි පැය ගිනි තැපීමු ත් කථා ත් නැති ව සුව සේ නිඳන සේක. මහණ දම නොපමා තෙරුන් වහන්සේ ද මැදිවූ යම සැතපීලා දළු යම නැඟී සිට මහණ ධම් කරණ සේක. මෙසේ නොපමා ව වසන සේක් නොබෝ දවසකින්ම සිවු පිළිසිඹියා පත් රහත් ව ගත් ආයාස සප්‍රයෝජන කළ සේක. පමා ව විසූ අනික් තෙරුන් වහන්සේ ගිනි තැපීමෙන් හා නිඳීමෙන් රෑ දවස යවා වැළඳීමෙන් හා දෙඩීමෙන් දාවල් දවස් යවා වස් අන්තයේ වෙළඳාමේ ගොසින් නිකම් ආ ගමනක් සේ බුදුන් කරා ගොසින් වැඳ ලා එකත් පස් ව හුන් සේක. බුදුහුත් පිළිසඳර කථා කොට ලා “කුමක් ද? නො පමා ව මහණ ධම් කළා ද? පැවිදි ව කළ මනා කාරිය මුදුන් පැමිණියේ දැ’යි විචාළ සේක.

පමා ව විසූ තෙරුන් වහන්සේ බුදුන්ට දක්වන සේක් ‘ස්වාමීනි, මුන් වහන්සේ සැරහී සෑසී භාවනාවට ගිය බව මුත් නො පමා බවෙක් නම් කොයි ද? ගිය තැන් පටන් ගිනි මොළවා ගෙන ගිනි තැපීමක් වේව යි සුව දුක් කථා කිරීමෙක් වේව යි නැතිව නිඳීමෙන් දවස් හළ සේකැ’යි කියා නුගුණ කියම්හ යි සිතා ගුණ කී සේක. ‘තෙපිනැ’යි වදාළ කල්හි ‘මම, ස්වාමීනි, මුන් වහන්සේ වේලා පස ම අභියුක්ත පිරිමැස්ම නැති හෙයින් ගිනි දර ගෙනවුත් මොළවා ගෙන පෙර යම දස පැය ගිනි තැප පියා නො නිඳා ම දවස් යවමි. මෙ සේ පෙර යම දස පැය සිස් ව නො ගොසින් ගිනි තැපී මෙන් යෙයි. නිඳ ත් නමු ත් අනික් විසි පැය පමණෙක නිඳමි. පෙරවරු දවස් සිඟන හෙයින් හා වළඳන හෙයින් නිඳන්ට අවසර වූවොත් ඒ හැම නැති හෙයින් නො නිඳමි පස් වරු ත් වළඳා අන්තයේ සුඟක් නිඳා පීම් නමුත් දර දණ්ඩක් පැනිත්තක් සපයා තබන්ට වුව මනා හෙයින් එසේත් නැතක් වේලා නොනිඳමි” භාවනාවක් ම ඊ මුසු කොට පිළිපදිනා ලෙස කියා ලූ සේක.

බුදුහු ත් ඒ අසා ‘නොප මා ව දවස් යවා ගොයම් කොට ත් මීවුන් හූරන් කාපී හෙයින් ලත් විකක්[3] නැත්තා සේ කිසි ගුණයක් නො ලැබ අවුත් නො පමාව විසූවන් පමා ව විසූව යි කිය’යි වදාරා ‘යමෙක් ශාසන ධර්මයෙහි නො පමා වී නම්. එ තෙමේ පමා තැනැත්තහු ශීඝ්‍ර ගමන් ඇති අසකු අස් කුඬයකු පසු කොට පියා දුවන්නා සේ ආගමාධිගම දෙකින්ම පසු කෙරෙයි. එ සේ මැයි, නුවණ මඳවුන් එක සූත්‍රයක් උගන්නා කලට නුවණැත්තෝ වගක් හෝ සඟියක් හෝ වඩා උගනිති. එ සේ ආගමයෙනු ත් පසු කෙරෙති. නුවණ නැත්තවුන් භාවනාවට රෑ වසන තැන් දාවල් වසන තැන් ආදිය කට දී ම උගත් කමටහන් වන පොත් කරවමින් සිටියදීම නුව ණැත්තෝ අනුන් ඉදි කළ තැනකට වුවත් වැදලා කමටහන් මෙනෙහි කොට සව් කෙලෙසුන් ගෙවා රහත් වෙති. මෙ සේ අධිගමයෙනු ත් පසු බස්වතී’ වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

සත් පුරුෂයන් විසින් ආගමාධිගම දෙකට ගමනේ දක්‍ෂ නො වන කුඩා අසුන් ගමනට පසුවන්නා සේ නොව ශීඝ්‍ර ගමන් ඇති සින්ධු දේශයෙහි අසුන් මෙන් හෙවත් උන් ගමනේ දක්‍ෂයා මෙන් ආගමාධිගම දෙක්හි ශීඝ්‍ර වූ ඥාන ගති ඇති ව විසීමට තැත් පිරිය යුතු.

  1. ගිනි කබළ්

  2. මැදින්

  3. වී ටිකක්