ධම්මදස්සි බුදුන්ට ඉක්බිති ව සිද්ධාර්ථ නම් බුදුන් ලොව පහළ ව බ්‍රහ්මාරාධනාවෙන් දහම් සක පැවැත් වූ කල්හි කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. තව ද භීමරථ රජ්ජුරුවන් ගේ ආරාධනාවෙන් භීමරථ නුවර දී පුරවී කෙවිල්ලන්ගේ කට හඬට ත් වඩා අති මධුර වූ අසන්නවුන්ගේ කන්හි අමා වක්කරන්නාක් වැනි වූ කට හඬින් බණ වදාළ දවස් අනූ කෙළක් නිවන් දුටහ. වෙහාර නුවර දී නෑයන්ට බුද්ධ වංශ දෙසූ දවස් අනූ කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ.
තව ද දිව්‍ය පුරයක් හා සමාන වූ අමර නම් නුවර සම්බල ය සුමිත්ත ය යන රජ දරුවෝ දෙදෙනෙක් රාජ්ජ ය කෙරෙති. එ කල සිද්ධාර්ථ බුදුහු ඒ රජුන් දෙන්නාගේ හේතු සම්පත් නියාව දැක ආසින් අමර නුවර මැඳට වැඩ සක් ලකුණෙන් සැරහුණා වූ පත්ලෙන් පදලස දක්වා ලා අමර නම් උයනට වැඩ තමන් වහන්සේගේ කරුණාව සේ සිහිල් වූ ගල් තලෙක වැඩ හුන් සේක. ඒ රජදරුවෝ දෙන්නත් බුදුන්ගේ පදලස් දැක ඒ සලකුණෙන් බුදුන් කරා ගොසින් වැඳ ලා හුන්හ. බුදුහු අදහස් බලා ඛණ වදාළ සේක. රජ දරුවෝ දෙන්නා ද බණ අසා කෙළ සියයක් හා සමඟ රහත් වූහ. තව ද සුරසෙන නම් වෙහෙර දී අසූ කෙළක් රහත් වූ සේක.