අත්‍ථදස්සී බුදුන්ට ඉක් බිති ව ධම්මදස්සී නම් බුදුන් ලෙව්හි පහළ ව දහම්සක පැවැත් වූ කල්හි කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. තව ද තගර නම් නුවර සඤ්ජය නම් රජ්ජුරු කෙනෙක් අනූ කෙළක් සමග හිමවු පියස ගොසින් තවුස් වෙස් ගෙන මහණ ව හැම ම අභිඥාලාභී වූහ. ලෞකික ගුණ ලත් සඤ්ජය ප්‍රමුඛ තවුසන්ට ලොවුතුරා ගුණ දෙවනු පිණිස ඒ බුදුහු ආසින් තවුසන්ගේ පන්සලට වැඩ බණ වදාළ සේක. තවුසෝ අනූ ලක්‍ෂය ම නිවන් දුටහ. තවද සරණ නම් නුවර දී වෙන මවුන් දරු වූ පදුම කුමාරයන් හා ඵුස්සදේව කුමාරයන් හා මුල් ව බණ වදාළ ගමනේ ඒ දෙදෙනා ඇතුළු ව කෙළ ලක්‍ෂයක් රහත් වූහ. බුදුන් දෙව්ලොව දී විදම් බණ දෙසා බට දවස් කෙළ සියයෙක් රහත් වූ සේක. සුදසුන් නුවර දී තෙළෙස් ධුතාඞ්ගයෙහි අනුසස් වදාළ දවස් අසූ කෙළක් රහත් වූ සේක.