326. අත්‍ථදස්සි නම් බුදුන් ගෙන් නිවන් දුටුවාහු

star_outline

පියදස්සී බුදුන්ට ඉක්බිති ව උපන් දවස් නැතක් කලෙක අපවත්ව තුබූ නිධාන ඇත්තවුන්ට පවත් වු හෙයින් අත්‍ථදස්සී නම් බුදුන් ලොව පහළ ව අනෝමා නම් නුවර එ නම් වූ උයන්හි වැඩ හිඳ දහම් සක පැවැත් වූ දවස් කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. නැවත දෙව්ලොවදී විදම් බණ වදාළ කල්හි කෙළ ලක්‍ෂයක් දෙවියෝ නිවන් දුටහ. පිය රජුන් ගේ ආරාධනාවෙන් සොහ නුවරට වැඩ බණ වදාළ දවස් කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. තව ද සුචන්‍දක නම් නුවර වසන සන්ත නම් රාජ පුත්‍රයාණන් හා උපසන්ත නම් බ්‍රාහ්මණ පුත්‍රයාණන් හා දෙන්න තමන් උගත් ශිල්පයෙහි සාරයක් නොදැක නුවර සතර වාසල නුවණැති සතර දෙනකු සිටුවා ලා ‘තෙපි නුවණැති කෙනකුන් දුටු නමුත්, පවක් ඇසූ නමුත් අපට කියව’යි විධාන කළහ. එ කල අත්‍ථදස්සී බුදුහු සුචන්‍දක නුවරට පැමිණි සේක.

එ පවත දන්වන්ට සිටියෝ ද බුදුන් වැඩි නියා ව ගොසින් රාජ පුත්‍රයාණන්ට ත් පුරෝහිත පුත්‍රයාණන්ට ත් කිවුය. උයි ත් අසා බලවත්ව සතුටුව දහසක් දෙනා පිරිවරා බුදුන්ට පෙර ගමන් කොට ගොසින් බුදුන් වැඳලා ආරාධනා කොට ගෙන සතියක් මුළුල්ලෙහි මහ දන් දී ලා සත් වන දවස් නුවර වැස්සන් හා සමග බණ අසා රහත් ව අට අනූ ලක්‍ෂයක් විතර මහණ ව පළමු පොහොයට රැස්වූ සේක. තමන් වහන්සේට පුත් වූ සේල තෙරුන් වහන්සේට බණ වදාළ දවස් අටාසූ ලක්‍ෂයක් රහත් වූ සේක. තවත් මහා මඞ්ගල සූත්‍රය දෙසූ දවස් අට සැත්තෑ ලක්‍ෂයක් රහත් සේක.