325. පියදස්සි නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

සුජාත බුදුන්ට ඉක්බිති ව පියදස්සි නම් බුදුන් ලෙව්හි පහළ ව බ්‍රහ්මාරාධනාවෙන් දම්සක් පැවතුන් සූත්‍ර ය උසභවතී නම් නුවර එ නම් උයන්හි දී දෙසූ කල්හි දෙව් මිනිසුන්ගෙන් කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. නැවත උසභවතී නුවරට නුදුරු වූ සුදසුන් නම් පව්වෙක සුදසුන් නම් දෙව් රජ්ජුරු කෙනෙක් වෙසෙති. ඌ තුමූ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. සියලු දඹදිව් වැස්සෝ ඒ දෙව් රජ්ජුරුවන්ට හවුරුදු පතා ලක්‍ෂයක් වටනා තරම් පිදේනි ගෙන යෙති. ඒ දෙව් රජ්ජුරුවෝ ද පිදේනි ගෙන්වා ගෙන ගිය රජ්ජුරුවන් හා එක හස්නෙහි හිඳ පිදේනි ඉවසති. එ කල පියදස්සි බුදුහු ඒ දෙව් රජ්ජුරුවන්ගේ දෘෂ්ටි ය හරවනු නිසා ඵ් දෙව් රජ්ජුරුවන් දිව්‍ය සමාගමයට ගිය කල්හි උන්ගේ විමානයට වැඩ ශ්‍රී යහනට පැන නැඟී ලා සවනක් රස් විහිදුවමින් වැඩ හුන් සේක. උන්ගේ පිරිවර දේවතාදූහු තමන් හැම සැදෑ ඇති බැවින් සුවඳ මල් ආදීන් ගෙන් වා බුදුන්ට පූජා කොට ලා පිරිවරා ගෙන සිටියහ.

සුදසුන් දෙව් රජ්ජුරුවෝ ද දිව්‍ය සමාගමයෙහි සිට එන තැනැත්තෝ තමන්ගේ විමනින් සවනක් බුදු රස් නික්මෙන්නා දැක මාගේ විමනේ මෙ සේ වූ ශෝභාවක් මෙතෙක් කලෙක දුටුවිරූ නැත. ඊට වැද ලා හුන්නෝ දේවතා කෙනෙක් දෝ කවුරු දෝ හෝ යි බලන තැනැත්තෝ උදාගිරි තෙලෙහි බබලන හිරු මඬලක් මෙන් සවනක් රසින් බබලන බුදුන් දැක මේ මුඬු මහණ මාගේ දෙවඟනන් පිරිවරා ගෙන මා යානෙහි හුන්නේ ය’ බුදු වන්ට සිතා හළ හෙයින් මුත් ගිහි අවස්ථාවෙහි විමලා නම් බිසොවුන් ප්‍රධාන කොට ඇති තෙතිස් දහසක් පුරඟනන් පිරිවැරූ මුනි රජුන් වහන්සේට උරණ ව මුන් මෙ ලෙස කළ කල මුන්ට මාගේ බල පාමි යි සියලු පර්‍වතය මුළුල්ල ම නරක වළ[1] පර්‍වතයක් මෙන් කළහ. එ සේ කොට ලා මේ ගින්නෙන් මුඩු මහණ දෑ දෝ නොදෑ දෝ හෝ යි බලනුයේ ගිනිවර කිරීමෙන් පෑ පත් වූ රන් කඳක් මෙන් ඉතා ශෝභාමත්ව වැඩහුන් බුදුන් දැක ‘මේ මහණ ගිනි නො බන වන. එ බැවින් දියෙහි ගලා මර පියමී යි තමාගේ විමන දසාවට මහ වතුරක් පවත්වාලීය. කෙලෙස් මහ වතුරෙන් හානි නොවූ ඔබට උන් මැවූ වතුරු කුමක් කොට ලා ද, වැළඳ ගත් සිවුරෙන් හූ රළක් පමණකුත්, ඇඟින් ලොම් අගක් පමණකුත් නො තෙමිණ.

සුදසුන් දෙව් රජ්ජුරුවෝද මහණ පැන් බී මෙළේ ය’යි වතුරු නැති කොට ලා බැලූ තැනැත්තෝ බුදු රජුන් වහන්සේ මේඝ මුඛයට පැමිණි ශරත් චන්ද්‍රයා මෙන් විමන ඇතුළත කිසි ත් හානියක් නැති ව සවනක් රසින් විමන ගොණැස් නපුරු හෙයින් රුවන් ගොණැස් උරවන්නා සේ සවනක් රස් විහිදුවමින් වැඩ හුන්නා දැක පහන මනා තැන නොපහන් ව මෙ ලෙසින් මරවා පියමී’ නො එක් සැටි ඇති ආයුධ වැස්සක් වැස් වීය. ඒ ආවුධ මුළුල්ල ම බුදුන්ගේ ආනුභාවයෙන් නො එක් සැටි ඇති මල් වඩම් ව ගොසින් බුදුන් දෙ පත්ලෙහි සක් ලකුණු සරහා සිටගත. ඒ විස්මයත් දැක තරයේම උරණ ව ගොසින් බුදුන් දෙ පය අල්වාගෙන තමාගේ විමනෙන් මෑත් කරණු කැමැති ව ඔසවා ගෙන මහ මුහුද පැන ගෙන සක්වළ ගල කරා ගොසින් ‘මහණ මළ දෝ නො මළ දෝ හෝ’යි බලනුයේ වැඩහුන් ශ්‍රී යහනේ වැඩ හුන්නා දැක ‘අනේ මේ මහණ මහානුභාව සම්පන්න ය. මම මොහු මින් නෙරා ගත නො හෙමි. ඉදින් යම්කිසි කෙනෙක් දැක පූ නම් මට වන්නේ අයසය. යම්තාක් මා කිසි කෙනෙක් දැක නො පිය ත් නම් එ ලෙසට මුන් අත් හැර පලායෙමි’ සිතූය.

බුදුහු ත් උන්ගේ අදහස් දැන ලා එතැනට පැමිණි කෙනෙක් උන් දකිත් නම් එ ලෙසට ඉටා ලූ සේක. එ දවසට ද වැළිත් සියලු දඹදිව එක් සියයක් රජ දරුවෝ උන්ට පිදේනි ගෙන්වා ගෙන අවුය. ඌ හැමත් බුදුන්ගේ පය අල්වාගෙන හුන් දෙව් රජ්ජුරුවන් දැක ‘අනේ අපගේ දෙවි රජ්ජුරුවෝ බුදුන්ගේ පය මඩිති. අනේ බුදුවරහු ඉතා ආශ්චර්‍ය්‍ය සේකැ’යි පියදස්සී බුදුන් කෙරෙහි පැහැද බුදුන් වැඳ සිටියහ. පියදස්සී බුදුහු දෙව් රජ්ජුරුවන් මුල්ව බණ වදාළ සේක. ඒ දැක දෙවි මිනිසුන්ගෙන් සුදසුන් දෙවි රජ්ජුරුවන් ඇතුළු ව අනූ කෙළ දහසෙක් නිවන් දුටහ.

තව ද සතිස් ගවුවක් විතර දිග පළල ඇති කුමුද නම් නුවර වසන අපගේ බුදුන්ට දෙවිදතුන් වැනි වූ සෝණ නම් තෙර කෙනකුන්දෑ මහා පදුම නම් කුමාර කෙනකුන් ලබ්බවා ගෙන උන් ලවා උන්ගේ පියාණන් මරවා පියා තුමූ පියදස්සී බුදුන් උන්ගේ සහායෙන් මරණු නිසා නො එක් ප්‍රයෝග කොටත් ජාති මූලික මරණ විනා උපක්‍රමයෙන් වන මරණත් බුදුවරුන් වහන්සේලාට නැති හෙයින් මරා ගත නො හී ද්‍රෝණමුඛ නම් ඇතු නැගෙන ඇතරුවා කැඳවා ගෙන්වා ගෙන ඔහු නළවා ගෙන ඕහට ‘යම් දවසෙක පියදස්සී බුදුහු මේ නුවරට සිඟා අවු නම් එ කල ද්‍රෝණමුඛ නම් ඇතු මෙහෙයා ලා මරවා පියව’යි කිවු ය.

ඇතරුවෝ ත් ‘මුන් වහන්සේ රාජවල්ලභ සේක. කියා ලූ දෙය නොකළො ත් අනර්‍ථයක් පැමිණ ගියත් නපුරැ’යි මෙලොව අනර්ථ සැලකූ බව මුත් පරලොව අනර්ථ නොසලකා යහපතැ’යි ගිවිස ගෙන දෙවන දවස් සිඟා වඩනා වේලාව සලකා ලා යහපත්ව සැලසී සිටිනා වූ නළලක් හා කුම්භස්ථලයක් ඇති, නැඟු දුන්නක් වැනි වූ දෙ කන්නෙන් නැමී මැදින් උස් වූ ඝන ව හැසී සිටිනා පිටක් ඇති, පළල් ව මොළොක් ව පිට හුන්නවුන්ට සලන තල් වැට දෙකක් බඳු වූ කන් සඟළක් ඇති, පිඟුවන් ව තිබෙන ඇස් සඟලක් ඇති, වටට ඝනව තිබෙන දුවන් තල ඇති, සැඟ වී තිබෙන ගුය්හ ඇති, රිය හිස් වැනි වූ මනහර දළ සහළක් ඇති, යහපත් වූ වාලධියකින් යුක්ත වූ සියලු හස්ති ලක්‍ෂණයෙන් සමන්විත වූ නිල් මේ කුලක් මෙන් ඉතා ශෝභාමත් වූ සිංහයන්ගේ ගමන් බඳු ලීලොපෙත වූ ගමන් ඇති, උස මහත ඇති වීමෙන් එක් අතකට ගමන් ගත් ගල් කුළක් වැනි වූ සොඬ ය වරාඞ්ග ය වාළධි ය පා සතර ය යන මේ සත් තැනින් බිම පිහිටීම් ඇති ගිලී බස්නා මඳ ඇති ද්‍රෝණමුඛයන් කරා ඇතරුවා ගොසින් රා පෙවීම් ආදියෙන් තරයේ මත් කරවා ලා ශතෘ මථනයෙහි සමර්ථ වූ ඒ හස්තීහු බුදුන් මරණු පිණිස මෙහෙයාලීය.

ඒ ඇත් ද මඳ නංවා ලා හැරලන්නා ම මිනී මරමින් ලේ වැකි සිරුරු ඇතිව වාසල් පවුරු තොරණ ආදිය බිඳිමින් මොළ කම් කොට ගෙන යන්නේ සඟ ගණ පිරිවරා බුදුන් වඩනා දැක සෙලත් තැනෙකින් පර්‍වත ගලක් පෙරළුවාක් මෙන් බුදුන් කරා නික්ම ගත. ඔහු දකිමින් භයින් තැති ගත් නුවර වැස්සෝ ද මාළිගා උඩුමාල් වලට, වාසල්වලට, පවුරු වලට, ගස් උඩුවලට නැංගාහු ඇතු බුදුන් කරා නමා ගත් නියාව දැක මොර ගාන්ට වන්හ. සමහර කෙනෙක් බලී ව ඇවිත් ඇතු නවතන්ට උත්සාහ කළහ. සර්වඥ නමැති ඇත් රජ්ජුරුවන් වහන්සේ තෙල සේ වූ ඇතුන් කෙළ දහසකට කාය බල ඇති හෙයින් ඔහු කෙරෙහි ආස්ථාවක් ම නො කොට කරුණාවෙන් සිහිල් සිත් ඇති ම සේක් ඔහු කෙරෙහි මෙත් පතුරුවා ලූ සේක.

බුදුන්ගේ මෙත් සිත තමා කෙරෙහි පැතිරෙත් පැතිරෙත් ඇත් රජ ද මොළොක් සිත් ඇති ව තමාගේ වරද දැක ලා බුදුන්ට ඉදිරි ව සිටිනට ලජ්ජාවෙන් පොළොවට වඳිනට නමන්නාක් මෙන් බුදුන් පා මුල්හි වැඳ වැතිරිණ. අඳුන් කුළක් මෙන් කළු වූ ඇතාණෝ ද බුදුන්ට ළං වීමෙන් සන්ධ්‍යා වලායෙන් රැඳුණු රන් පර්වතයක් කරා පැමිණි නිල් වළාකුළක් මෙන් ඉතා හොබනට වන. මෙ සේ ඇත් රජහු බුදුන් වැඳගෙන හොත් නියාව දුටුවා වූ නුවර වැස්සෝ එතරම් සතුටක් නැති හෙයින් බලවත් සතුටු ව සාධුකාර දෙන්ට පටන් ගත්හ. ගුණ රුවනින් අඩුවක් නැති බුදුන්ට සත් රුවන් දමන්ට වන්හ. සතුටු බලවත් කල කළ මනා දෙයක් බැවින් පිළිත් හිස සිසාරන්ට වන්හ. තවත් ආශ්චර්‍ය්‍ය පහළ විය.

බුදුන් වැඳ ගෙන හොත් ඇත් රජහුගේ ආත්මභාවය සඵල කරවණු සඳහා ජාල ලක්‍ෂණයෙන් විසිතුරු වූ ශ්‍රී හස්තයෙන් හිස පිරිමැද ලා ඕ හට නිසි බණක් වදාරන සේක් ඇත් රජ්ජුරුවෙනි, හොළ මොළකම් තබා වැඩට නිසි කියන්නා වූ මාගේ බස් අසා එලෙස කරව. තොපගේ දුෂ්ටකමෙක් මොළ කමෙක් ඇත් නම් ඒ හැර පියා සන්හුන් තරම් ඇති මා කරා නැමුණු බැවින් තොපි ත් සන්හුන් තරම් ඇති වව. ඇත් රජ්ජුරුවෙනි, යම් කෙනෙක් මස් අනුභව කිරීම නිසා ලෝභයෙන් වුවත්, වෛර නිසා ද්වේෂයෙන් වුවත්, ආදීනව සලකා ගත නො හී මෝහයෙන් වුව ත්, පණිවායෙහි හැසිරෙත් ද, පණිවායෙහි හැසුරුණු ඒ සත්තු නරකවල ඉපැද පියා නරක දුක් අනන්ත කාලයක් විඳිති. ඇතාණෙනි, මෙතෙක් කල් කෙසේ කළ නමුත් මෙබන්දක් නො කරව, මෙ ලෙසින් තරව මා කියන්නේ ප්‍රාණ වධ කළා වූ සත්තු අනන්ත කල්පයක් මුළුල්ලෙහි අවීචියෙහි ඉපැද දුක් ගනිති. එ තෙක් කල් මුළුල්ලෙහි ත් නරක දුක් විඳ පියා ත් ඒ ප්‍රාණවධ කළා වූ සත්තු ගැළ වී අවුත් මිනිස් ලොව උපන්නු නම් ආයු මඳ වෙති. බාල වයස දී ම මියෙති. දුටු දුටුවවුන්ට අප්‍රිය වෙති. මිනිස් ලොව ඉපැද ත් අනුන්ට කළ දුක් තමන් කරාම පැමිණෙයි.

ඇත් රජ්ජුරුවෙනි, තොපගේ ජීවිතය තොපට යම් සේ ප්‍රිය වී නම් සෙස්සවුන්ගේ ජීවිත ත් උන් උන්ට ප්‍රිය ය. තෙපි යම් සේ මියනු නො කැමැත්තෝ නම් සෙස්සෝ ත් එසේම මියනු නො කැමැත්තෝ ය. පණිවා නම් තෙලෙ සලකා අවශ්‍යයෙන් ම තමා බොහෝ කලක් ජීවත් වනු කැමැත්තෝ නම් හළ යුතු ය. මේ මා කියා ලූ ලෙසින් පණිවායෙහි බොහෝ ආදීනව ත් දැන පණිවායෙන් දුරු වීමෙහි බොහෝ අනුසසුත් සලකා අහේතුකයන්ට තබා දුහේතුකයන්ට ත් ඒ ජාතියෙහි නිවන් නැති හෙයින් පරලොව දී වූවත් ලොවුතුරා සැපත් සිද්ධ වනු නිසා සියලු ලෙසින් ම පණිවා හරුව. හෙම්බා ඇත් රජ්ජුරුවෙනි. යම් කෙනෙක් පණිවා ආදී වූ පස් පවින් ම වැළැක්කෝ නම් මෙලොව දී සෙස්සක් නැත ත් දුටු දුටුවන්ට ප්‍රසාදාවහ වෙති. පරලොව දී අනන්ත වූ සම්පත් ලැබෙති. මෙ ලෙව්හි උපන් සියල්ලෝ ම සැපයක් ම කැමති වත් මුත් දුකක් නො කැමැති වෙත් ද, එ හෙයින් අනුන්ට කරන්නා වූ හිංසා පීඩා හැර පියා සියල්ලවුන් කෙරෙහි කරුණාත් ඇති වව’යි වදාළ සේක.

මෙ සේ බුදුන් අවවාද කරත් කරත් ඇතාණෝ නිවනට ආධාර නො වත ත් අවවාද පිළිගන්ට ආධාර බැවින් වදාළ අවවාද පිළිගෙන ගුණයට තමන් අවසර වුවමනා හෙයින් නුගුණ හැර ගුණයෙහි පිහිටියහ. මෙ සේ පියදස්සී බුදුන් අප ගේ බුදුන් නාලාගිරි නම් ඇතු හික්මවූවා සේම ද්‍රෝණමුඛයනුත් හික්මවා ලා බණ වදාළ සේක. එ දවස් අසූ කෙළ දහසක් නිවන් දුටහ. තව ද සුමඞ්ගල නම් නුවර පාලිත නම් රාජකුමාරයන් හා සබ්බදස්සී නම් බ්‍රාහ්මණ කුමාරයන් හා දෙන්නා බුදුන් ගේ බණ අසා කෙළ ලක්‍ෂයක් හා සමඟ රහත් ව මහණ වූ සේක.

  1. නරාවළ පර්‍වතයක්