පියුමතුරා නම් බුදුන්ට ඉක්බිතිව සුමේධ නම් බුදුන් ඉපැද බ්‍රහ්මාරාධනාවෙන් සුදසුන් නම් උයන්හි දී දම් සක පැවැත් වූ කල්හි කෙළ ලක්‍ෂයක් නිවන් දුටහ. නැවත ඒ බුදුහු මහානුභාව සම්පන්න කුම්භකර්ණ නම් වූ යක්‍ෂයා අළුයම් වේලෙහි සමාපත්තීන් නැඟී ලොව බලන සේක් දැක නිත්‍ය පරිවාර වහන්දෑ තබා අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේත් නො කැඳවා තනි ව ම ඒ යක්‍ෂයාගේ විමනට වැඩ ඌ වැද හෝනා ශ්‍රී යහනෙහි වැඩ හුන් සේක. ඒ යකා මකු කම ඉවසා ගත නොහී කිපී ගොසින් භය නැති බුදුන්ට භයක් ඇති කෙරෙමී සිතා තමාගේ අත් බැව් භයානක කොට මවන්නේ පර්‍වතයක් සා ඉසක් ඇති, හිරු මඬල සේ ඇස් ඇති, ඇත් දළ වැනි දළ ඇති, උස් වූ පර්‍වතයක් වැනි බඳ ඇති, තල් ගස් වැනි වූ අත් පා ඇති, මැදින් වළ ව තිබෙන නාසා ගෙඩියක් ඇති, ගල් බිලයක් සේ කට ගෙඩියක් ඇති, දළව රතු ව තිබෙන තමා සේ ම රළු වූ හිසකේ ඇති රකුසු වෙසක් මවා ගෙන බුදුන් ළඟට අවුත් දුමමින් දිළියෙමින් බුදුන්ට ගහට යට වසවත් මරහු ගෙන් උගත්තා මෙන් පහන වැසි ආදී වූ නව වැස්සක් වස්වා ත් බුදුන්ගේ ඇඟින් ලොමකට ත් හානි කට නො හී ආළවකයන්ට උපදෙස් තබන්නාක් මෙන් බුදුන් ගෙන් ප්‍රශ්න විචාරා කියා ගත නුහුණොත් මරමී’ සිතා ප්‍රශ්න විචාළහ.
පැන විසඳීමෙන් ම බුදුහු යකාණන් මොළොක් කරවා තමන් වහන්සේට නම්වා ගත් සේක. දෙ වන දවසට දඹ දිව් වැස්සෝ ගැල්වලින් බතුත් ගෙන්වා ගෙන බිල්ලට රාජකුමාර කෙනකුනු ත් ගෙනවු ත් කුම්භකර්ණ නම් යක්‍ෂයාණන්ට දුන්හ. යක්‍ෂයාණෝ රාජ කුමාරයන් බුදුන්ට දුන්හ. වන දොර කඩ මිනිස්සු ත් බුදුන් ළඟට ගියහ. බුදුහු බණ වදාරා යක්‍ෂයාණන් ඇතුළු ව අනූ කෙළ දහසක් නිවන් දක්වා වදාළ සේක. තව ද උපකාරී නම් නුවර සිරි නදුන් නම් උයන්හි දී බණ වදාළ දහස් අනූ කෙළක් නිවන් දුටහ. සුදසුන් නුවර දී බණ වදාරා කෙළ සියක් රහත් කරවා මහණ කොට ඒ රහතන් හා එක් ව පොහොය කළ සේක. තව ද දෙව් කුළු පව්වෙහි දී බණ වදාළ ගමනේ අනූ කෙළක් මහණව රහත් වූහ. නැවත සැරිසරා වැඩි ගමනෙක බණ අසා අසූකෙළක් රහත් ව මහණ වූ සේක.