පදුම බුදුන්ට ඉක්බිති ව නාරද නම් බුදුහු ලෙව්හි පහළ ව බ්‍රහ්මාරාධනාවෙන් ධනඤ්ජය නම් උයන්හි දී දහම් සක පැවැත් වූ සේක. එ දවස් කෙළ ලක්‍ෂයක් දෙන නිවන් දුටහ. තව ද මහාදොණ නම් නුවර බඩ වූ විලෙක මහාදොණ නම් නා රජ්ජුරු කෙනෙක් වෙසෙති. මහත් වූ ආනුභාව ඇත්තෝ ය. උන්ගේ ආනුභාව නිසා බොහෝ දෙන ත් උන්ට පූජාසත්කාර කෙරෙති. යම් රටෙක මිනිස්සු උන්ට සත්කාර නො කෙරෙත් නම් උන්ගේ රටවල් නසා පියති. නාරද නම් බුදුහු ත් මහාදොණ නම් නා රජ්ජුරුවන්ට බණක් කීවොත් බොහෝ දෙනාට ප්‍රයෝජන නියාව දැන බොහෝ භික්ෂූන් වහන්සේ පිරිවරා ඒ නා රජ්ජුරුවන් වසන තැනට වැඩි සේක. මිනිස්සු ත් ඔබට වඩනා බුදුන් දැක ‘ස්වාමීනි, තෙල තැන මහානුභාව සම්පන්න නා රජ්ජුරු කෙනෙක් වෙසෙති. ගහටයක් කොට පියත් නමුත් ඔබ නො වඩනා බව ය’යි කිවු ය.
බුදුහු ත් නො ඇසූ බඳු ව ලා ම වැඩලා උන් සත්කාර විඳුනා නිසා කළා වූ මල් හස්නෙහි වැඩ හුන් සේක. බොහෝ දෙන ද ‘මුනි රජුන්ගේ සටන් බලම්හ’යි රැස් වූහ. නා රජ්ජුරුවෝ ද තමන්ට නියම මල් හස්නෙහි බුදුන් වැඩ හුන්නා දැක ඉවසා පිය නො හී බුදුන් ට ගහට කරණු නිසා දුමා ගියහ. බුදුහු ත් දුමා ගිය සේක. නා රජ්ජුරුවෝ ගිනි කඳක් සේ දිළිහී ගියෝ ය. බුදුහු ත් දිළිහී ගිය සේක. නා රජ්ජුරුවෝ තමන් ඇඟින් නැඟි දුම් කඳින් හා ගිනි කඳින් බුදුන් ට වූ හානි නැත ත් බුදුන්ගේ ශරීරයෙන් නිකුත් දුම් කඳින් හා ගිනි කඳින් තැවී ගොසින් තරයේ ම කිපී පියා ‘විෂයෙන් මරා පියමි’ විෂ හළවූ ය. උන් හළ විෂ නම් දඹදිව වුව ත් නසා පියයි. බුදුන්ගේ ආනුභාවයෙන් ඒ විෂ ය බුද්ධානුභාව නමැති මන්ත්‍රානුභාවයෙන් බුදුන්ට කාටත් කිසිද පීඩාවක් කට නො හින. නා රජ්ජුරුවෝ ද ‘මහණහුගේ පවත් කිම් දෝ හෝ’යි බලන තැනැත්තෝ සවනක් රසින් බැබළීමෙන් ශරත් චන්ද්‍රයාටත් වඩා ශෝභාවත් වූ බුදුන් දැක ‘අනේ මුන් වහන්සේ ආනුභාව සම්පන්න සේක. මා කළ දෙය නපුරැ’යි සිතා බුදුන්ට ම අවනත වූහ.
බුදුහු ද හැද දැඩි දණ්ඩක් ගින්නේ තවා හැද මිරිකන්නා සේ නා රජ්ජුරුවන් හික්මවා ලා එ තැනට රැස්වූවන්ගේ සිත් පහදවනු නිසා යමාමහ පෙළහර කළ සේක. එ කල අනූ කෙළ දහසක් රහත් වූ සේක. යම් කලෙක තමන් වහන්සේගේ පුත් වූ නන්දුත්තර කුමරුන්දෑට බණ වදාළ සේක් ද, එ කල අසූ කෙළ දහසක් නිවන් දුටහ. තව ද ථුල්ල කොට්ඨිත නුවර භද්දසාලය-විජිතමිත්ත ය යන බමුණු යාළුවන් දෙන්නා කෙළ ලක්‍ෂයක් පමණ පිරිවර හා සමඟ මහණ ව රහත් වූ කල්හි බුදුහු ඒ කෙළ ලක්‍ෂයක් හා සමඟ පොහොය කළ සේක.
යම් කලෙක නාරද බුදුහු තමන් වහන්සේගේ නෑයන් රැස් වූ තැන්හි දී තමන් වහන්සේ යම් බුදු කෙනකුන් වහන්සේගෙන් විවරණ ලත් සේක් නම් එ තැන් පටන් බුද්ධවංශ වදාළ සේක් ද එ කල අනූ කෙළ දහසක් වහන්දෑ රහත් වූ සේක. යම් කලෙක දොණ නම් නා රජ්ජුරුවන් පහන් නියාව දැන වෙරොචන නම් නා රජ්ජුරුවෝ ගඞ්ගා නම් වූ ගඟ තුන් ගවුවක් පමණ වූ සත් රුවන් මඬුවක් මවා ලා තමන්ගේ දන් බලන්ට සියලු රටවල ඇත්තවුන්ට එන්ට විධාන කරවා ලා තුමූ ත් සහපිරිවරින් සැරහී ගෙන බුදු පාමොක් මහ සඟනට මහ දන් දුන්හ. වළඳා අන්තයෙහි බුදුහු මහ වතුරක් මෙන් දුන් දන් සේම බණ වදාළ සේක. එ කල මහණ ව රහත් වූ අසූ ලක්‍ෂයක් රහතන් හා සමඟ බුදුහු පොහෝ කළ සේක.