අනෝමදස්සී බුදුන්ට ඉක්බිති ව පදුම නම් බුදුන් ලොව පහළ ව බ්‍රහ්මාරාධනාවෙන් දහම් සක පැවැත්වූ කල්හි කෙළ සියයක් විතර සත්‍වයෝ නිවන් දුටහ. නැවත පදුම නම් බුදුන්ට වෙමාතික මල් වූ උපසාල කුමාරයන් මහණ වූ දවස් අනූ කෙළක් විතර නිවන් දුටහ. රම්ම කුමාර නම් පුතණුවන් වහන්සේට බණ වදාළ දවස් අසූ කෙළක් නිවන් දුටහ. යම් කලෙක භාවිතත්ත නම් රජ්ජුරුවෝ පදුම් බුදුන් ළඟ මහණ වූ ද එ කල පිරිවර කෙළ ලක්‍ෂයක් හා සමඟ රහත් වූහ. යම් කලෙක පදුම බුදුහු උසභවතී නම් නුවර වස් විසූ සේක් ද, එ කල තුන් ලක්‍ෂයක් විතර මහණ ව රහත් වූ සේක. වස් පවාරා නිමි පසු පිළියෙන් ම කෙළින් සිවුරු ත් දුන් කල්හි වහන්දෑ ඒ කෙළින් සිවුර පදුම බුදුන්ට අගසවු වූ නුවණිනු ත් ගුණෙනු ත් විසල් වූ විසල් මහ තෙරුන් වහන්සේට පමුණුවා ලූ සේක. පමුණුවාලූයෙ ත් ඔබ අග සවු හෙයින් නො වෙයි. ඔබගේ සිවුරු දුර්‍වල හෙයින. කෙළින් අතුළ සිවුරු එකදා ම කොට රඳා නිමවා වැළැන්ද මනා හෙයින් සිවුරු ගෙත්තමට වහන්දෑ සහාය වූ සේක.
වහන්දෑ තබා බුදුහු ත් හිඳි කටුවේ හූ ලා දුන් සේක. කෙළින් සිවුරු කොට නිමි කල්හි බුදුහු තුන් ලක්‍ෂයක් පමණ වහන්දෑ පිරිවරා සැරිසරා වැඩි සේක. එ සේ වැඩි ගමනේ ත් මල් ගෙන ඵල ගෙන නැමී සිටිනා අතු පතර ඇති ගසින් කොළින් ගැවසී ගත් මහනෙල් ඉපුල් නෙලුම් ආදියෙන් යුක්ත විල් ඇති, නො එක් සිවුපාවුන් හා පක්ෂීන් ඇති, මල් ගස් වලට බැස පියා රොන් ගන්නා බඹරුන්ගේ භෘඞ්ග නාදයෙන් ඉතා හොබනාවූ, ඵල රසානුභවයෙන් මව නාද කරන කෙවිල්ලන්ගේ කුරුවීක නාදයෙන් ම සිත්කලු වූ දැන් මෙ වක ගොසිඞ්ග සාල වන ය වැනි වූ වලෙක වස් විසූ සේක. ඒ වල වසන බුදුන් කරා එලබ මිනිස්සු දෙ ලක්‍ෂයක් විතර රහත් වූහ.