319. අනෝමදස්සි නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

සෝහිත බුදුන්ට ඉක්බිති ව අනෝමදස්සි නම් බුදුන් ලෙව්හි පහළ ව බ්‍රහ්මාරාධනාවෙන් සුභවතී නම් උයන වැඩ හිඳ දහම් සක පැවැත් වූ දවස් දෙවි මිනිසුන්ගෙන් කෙළ සියයක් නිවන් දුටහ. නැවත ඔසධී නම් නුවර දොරකඩ පියාගස් මුල්හි දී යමාමහ පෙළහර කොට ලා තව්තිසා දෙව් ලොව වස් වැස විදම් බණ දෙසූ කල්හි මෑණියන්දෑ ප්‍රධාන වූ අසූ කෙළක් දෙවියෝ නිවන් දුටහ. නැවත මඞ්ගල කෝලාහල ය ඇති ව මහ මඟුල් සුත දෙසන දවස් අට සැත්තෑ කෙළක් නිවන් දුටහ. සොරෙය්‍ය නුවර දී ඉසිදත්ත නම් රජ්ජුරුවන්ට බණ දෙසන කල්හි පැහැද මහණව රහත් වූ අට ලක්‍ෂයක් රහතන් පිරිවරා බුදුහු ආදි පොහොය කළ සේක. දෙවන පොහොය එ දවස් රහත් ව මහණ වූ සත් ලක්‍ෂයක් රහතන් පිරිවරා හිඳ කළ සේක. සොරෙය්‍ය නුවර දී පෙරළා ත් කරන පොහොය එ දවස් රහත් ව මහණ වූ ස ලක්‍ෂයක් රහතුන් පිරිවරා කළ සේක.