රේවත බුදුන්ට ඉක් බිති ව සෝහිත නම් බුදුන් ලොව පහළව මහ බඹහුගේ අයදමෙන් දහම් සක් පැවැත් වූ දවස් දෙවි මිනිසුන් ගෙන් අසඞ්ඛ්‍යයක් විතර නිවන් දුටහ. නැවත සුදසුන් නුවර පළලු රුක් මුල්හි දී යමා මහ පෙළහර කොට ලා තව්තිසා දෙව්ලොවට වැඩ විදම් බණ දෙසූ දවස් මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ අනූකෙළක් දෙවියෝ නිවන් දුටහ. නැවත එක් සමයෙක සුදසුන් නුවර ජයසේන නම් රජ කුමරහු සතර ගවුවක් විතර වෙහෙරක් කරවා ලා විහාර ය වටා හෝපලු-මුරුත-සපු-නා-දොඹ-පුවඟු-මුහුළු-අඹ-කොස්-පියා ගස්-සල්-කුඹුක්-ඇටඹ-කරවූ ආදි ගසින් ගැවසී ගත් වත්තකු ත් කරවා ලා බුදු පාමොක් සඟනට දුන්හ. විහාරානිසංස මුඛයෙන් බණ වදාළ සේක. එකල්හි කෙළ දහසක් දෙන නිවන් දුටහ. සුනන්‍දවතී නම් නුවර දී බුදුන් ආදියෙන් පොහෝ කරන දවසට එ දවස් අවුත් මහණ ව රහත් ව කෙළ සියයක් පමණ රහතන් වහන්සේ පොහොයට රැස් වූ සේක. නැවත මේඛලා නම් නුවර ධම්මගණාරාම නම් විහාරයක් පිළිගෙන වදාළ දවස් අනූ කෙළක් විතර මහණ ව රහත් වූ සේක. යම් කලෙක සෝභිත බුදුහු දෙව් ලොව වස් වැස ලා වස් පවාරණ දවස් මිනිස් ලොවට බට සේක් ද - එ දවස් අසූ කෙළක් විතර මහණ ව රහත් වූ සේක.