30. මහසුප් තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද උපදනාවුන් හා මියන්නාවුන් හා දැක ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, අප්‍රිය සම්ප්‍රයොග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක් ආදී වූ දුක් තමා හැර වන දුක් නොවන හෙයින් තමා කෙරෙහි සත් සලකා දැක ඒ දුකින් මිදෙනු නිසා පින් කම හැසිරෙනු පිණිස අපිස් තෙනට අගතැන් පත් වූ-තව ද විසුද්ධි කැමැත්තන්ට පිහිට වීමෙන් පොළොව හා සමාන වූ කෙලෙස කිලුටු සෝධා හැරී මෙන් පවිත්‍ර පැනක් හා සරි වූ සියලු කෙලෙසුන් දවා හැරී මෙන් ගින්නක් හා සම වූ සියලු කෙලෙස් කසළ දුරු කිරීමෙන් පවනක් හා සම වූ සියලු කෙලෙස් ලෙඩ සන්සිඳවීමෙහි දිව බෙහෙතක් වැනි වූ කෙලෙස් විස බා පීමෙහි ආනුභාව සම්පන්න මන්ත්‍රයක් වැනි වූ ශීල සමෘද්ධ්‍යාදී ගුණ බිජුවට හට ගන්ට සරු කෙතක් වැනි වූ අභිමතාර්‍ථ සාධා දීමෙහි සිතුමිණි රුවනක් වැනි වූ විසුද්ධි කැමැත්තවුන් සසර සයුරෙන් එ තර කිරීමට නැවක් වැනි වූ සියලු කෙලෙස් කසළ හා එක් නොවීමෙන් පියුමක් වැනි වූ කෙලෙස් දුගඳ පැසි කිරීමෙහි සිවු දෑ සුවඳක් වැනි වූ අෂ්ට ලෝක ධර්‍ම නමැති සුළඟින් වෙවුලීමක් නැති හෙයින් මහ මෙර වැනිවූ ප්‍රත්‍යය සමුත්පන්න ධර්‍මයන්ගේ ස්වභාව ය දැක්වීමෙහි මැදි කැඩ පතක් වැනි වූ කෙලෙස් පහර වැළහීමෙහි ඵලකායුධයක් වැනි වූ කෙලෙස් අවු හා වැසි හා නවතාලීමෙහි කුඩයක් වැනි වූ මොහඳුරු දුරු කිරීමෙහි හිරු හා සමාන වූ නො එක් ගුණ රුවනට ආකර වී මෙන් මහ මුහුද හා සරි වූ කෙළෙස් දුවහ පුරන මහසුප් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.

ඒ කෙසේ ද? යත්:

එක් සමයෙක මහසුප් තෙරුන් වහන්සේ රජගහා නුවරට ආසන්න ව තිබෙන පුළිල ලෙණ ය යන ගල් ලෙනක වසන සේක් රජගහා නුවරසිඟා ගෙන පුළිල ලෙණේදී වළඳා ලා අන්තයෙහි ආලෝක කිසුණ ත් ප්‍රතිභාග නිමිත්ත වූවා වඩා ලා ඊට ඇතුළත් වූ පමාව වසන්නා වූ ත් නො පමාව වසන්නා වූ ත් මියන්නා වූ ත් උපදනා වූත් සතුන් දිවසින් බල බලා වැඩහුන් සේක.

බුදුහු එ තැනට එක්සිය අසූ ගව්වක් විතර ව තිබෙන දෙවුරම වැඩ හිඳ ‘අද ම පුත් මහසුප් මහතෙරහු කුමක් කෙරෙද්දෝ හෝ” යි දිවසින් බලා වදාරා මියන්නවුනු ත් උපදනවුනු ත් දිවසින් බලතී දැන වදාරා ‘සතුන්ගේ චුති උත්පත්ති දෙක බුදු නුවණින් මුත් දත නො හැක්ක. මවු කුස පිළි සිඳ ගෙන මවුපියන් නො දන්වා ම මියන්නවුන්ගේ ගණන් නැත. එ සේ හෙයින් තොපට අවිෂ ය ය. තොපට විෂය වන්නේ මුහුදින් ඇසට විෂ ය තෙන සේ ය. ‘චුති උත්පත්ති දෙක සවාරෙන් දනිතො ත් බුදු වරුන්ට මුත් තොපට බැරිය’යි බුදුරසක් විහිදුවා ළඟ වැඩ උන්නා සේ ම ‘හෙම්බා, කාශ්‍යපයෙනි, යම් පොකුණකට වදනා වතුරු දියෙක් පරණ ව තුබූ පැන් අළලා ගෙන ඊට අවසර නො පෑ තම තමා මතු මත්තෙහි පලවා පියා ද, එ මෙන් නුවණැත්තෝ තුමූ තමන්ගේ අප්‍රමාද නමැති වතුරු පැනින් සිත් සතන් නමැති පොකුණෙහි ප්‍රමාද නමැති පරණ පැන් පලවා අප්‍රමාද නමැති අලුත් දිය ම රඳවති. රඳවා ලා ඉන් නිරන්තර ව නහා පිරිසිදු ව දිවස් නමැති මාළිගාවට තදනුරූප පිළිවෙත් නමැති හිණින් නැඟී එහි සිට හෝ අනාවරණඥාන නමැති මහ මෙර උඩට පැරුම් නමැති මහ හිණින් නැඟී සිට හෝ මාළිගාවෙක උඩු මාළක සිටි කෙනෙක් මාළිගාවෙන් පාත සිටියවුන් සුව සේ දකිද්ද, එ මෙනුත් පර්‍වතයක් මුදුනේ සිටි කෙනෙක් ගල් පාවුල සිටියවුන් සුවසේ දකිද්ද එ මෙන් උපදනවුනු ත් මියන්නවු ත් සුව සේ දකිතී’ වදාළ සේක. මේ දේසනා කෙළවර ත් බොහෝ දෙන නිවන් පුර වන්හ.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ජාති දුක් ආදිය එළ වන අකුසලින් දුරු ව ජාති දුක් ආදී වූ දුක් නැති නිවන් එළ වන කුසල්හි පිහිටන්ට උත්සාහ කටයුතු.