317. රේවත නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු

star_outline

සුමන බුදුන්ට ඉක්බිති ව රේවත නම් බුදුන් ඉපැද දම්සක් පැවතුන් සුත දෙසූ දවස් කෙළක් පමණ වහන්දෑ රහත් වූ සේක. තුන් මඟ තුන් ඵලයෙහි පිහිටියවුන්ගේ ගණන් නැති. නැවත තුන් කෙළක් විතර මිනිසුන් හැර ගෙන දක්නට ගිය අරින්‍දම නම් රජ්ජුරුවන්ට බණ වදාළ දවස් දෙවි මිනිසුන්ගෙන් කෙළ දහසෙක් නිවන් දුටහ. නැවත එක් දවසෙක නිරෝධ සමවත අනුසස් විචාළවුන්ට ඊ අනුසස් වදාරා ලීමෙන් මිනිස්සු කෙළ සියයක් නිවන් දුටහ. සුධඤ්ඤවතී නම් නුවරදී ආදියෙන් පොහෝ කරන දවසට එ දවස් මහණ ව රහත් ව අසඞ්ඛ්‍යයක් පමණ රහතන් වහන්සේ පොහොයට රැස් වූ සේක. දෙ වෙනි පොහොයට එ දවස් මහණ ව රහත් ව කෙළ ලක්‍ෂයක් විතර රහතන් වහන්සේ රැස් වූ සේක. රේවත බුදුන්ගේ අග සවු වූ වරුණ නම් මහ තෙරුන් වහන්සේ ගිලන් වූ හෙයින් ඔබගේ ලෙඩ විචාරන්ට ආ බොහෝ තැනට බණ වදාරා කෙළ ලක්‍ෂයක් විතර රහත් කරවා වදාළ සේක.