314. කොණ්ඩඤ්ඤ නම් බුදුන් ගෙන් නිවන් දුටුවාහු

star_outline

නැවත ඔබට ඉක් බිති ව කොණ්ඩඤ්ඤ නම් බුදුන් ලෙව්හි ඉපැද ධම්සක් පැවතුන් සූත්‍ර ය දෙසන දවස් බුදුන් හා එක දා මහණ වූ දස කෙළක් විතර වහන්දෑ නිවන් දුටු සේක. දෙව් මිනිසුන්ගෙන් කෙළ ලක්‍ෂයක් විතර නිවන් දුටහ. තවද කොණ්ඩඤ්ඤ නම් බුදුන් මහා මඞ්ගල සූත්‍ර ය දෙසූ දවස් සෝවාන්-සෙදැගැමි-අනගැමි වූවන්ගේ ගණන් නැත. අනූ කෙළ දහසක් විතර රහත් වූහ. යමා මහ පෙළහර කෙරෙමින් සිට බණ වදාළ ගමනේ සෝවාන් ආදි වූ තුන් මග තුන් ඵලයට පැමිණි තැන්ගේ ගණන් නැත. අසූ කෙළ දහසක් විචර රහත් වූ සේක.

තව ද කොණ්ඩඤ්ඤ බුදුහු බුදු ව ලා චන්‍දවතී නුවර නිසා සඳ නම් වෙහෙර වසන සේක. එ ම නුවර සඳ නම් බමුණු කුමරුවන් හා සුභද්ද නම් බමුණු කුමරුවන් හා දෙ දෙන කොණ්ඩඤ්ඤ බුදුන් ගෙන් බණ අසා පැහැද දහසක් දෙනා හා සමග මහණ වූහ. ඒ දෙනම මුල් ව කෙළ ලක්‍ෂයක් දෙනා වහන්සේ රහත් වූ සේක. ඉක්බිති විජිතසේන නම් පුතණුවන් වහන්සේ මුල් ව බණ වදාළ දවස් කෙළ ලක්‍ෂයක් දෙනා වහන්සේ රහත් වූ සේක. නැවත එක් සමයෙක බුදුහු දනවු සැරි සරන සේක් උදේන නම් රජ්ජුරුවන්ට බණ වදාළ සේක. ඒ රජ්ජුරුවෝ ද බණ අසා අනූ කෙළක් දෙනා හා සමග මහණ ව රහත් වූහ.