‘හෙම්බල දේවතාව, බුද්ධාදීහු නම් තමන් භජන ය කළවුන්ට හයක් පැමිණි කල පහනක් සම්භව අඳුරු දුරු කරන්නා සේ භය දුරු කෙරෙති. එ හෙයින් තමන් භජන ය කළවුන්ට බඩ සා කලට බතක් මෙන් ද, පිපාසා කලට පැනක් මෙන් ද, පිහිට ව සිටිති. ඒ එ සේ මැ’යි. සර්වඥවරයන් නිසා ප්‍රතිනියත වූ සූවිසි අසඞ්ඛ්‍ය ය හැර සෙසු ත් බොහෝ දෙන නිවන් දකිති. සෙසු බොහෝ දෙනා නිවන් දක්නේ කෙ සේද යත්? කෙළ ගණන් විතරට ත් බොහෝ ව බුදු වූ බුදුවරුන් වහන්සේ කරා පැමිණ නිවන් දුටුවවුන් හැර මෙ කපට සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් යට බුදු වූ දීපඞ්කර නම් බුදුරජුන් වහන්සේ සුනන්‍ද නම් වෙහෙර දී ධර්‍ම සක් පැවතුන් සූත්‍රය දෙසූ දවස් දෙව් මිනිසුන් ගෙන් සියක් කෙළ විතර නිවන් දුටහ. නැවත බුදු රජුන් වහන්සේ තමන් වහන්සේගේ උසභක්ඛන්ධ නම් පුතණුවන් වහන්සේ මුල් ව රාහුලෝවාද සූත්‍ර ය වැනි වූ සූත්‍රයක් දෙසූ දවස් අසූ කෙළක් විතර දෙව් මිනිස්සු නිවන් දුටහ.
නැවත ඒ බුදුන් අමරවතී නම් නුවර මහරි ගස මුලදී යමා මහ පෙළහර කොට ලා තව්තිසා දෙව්ලොව පරසතු රුක් මුල්හි පඬු ඇඹුල් සල හස්නෙහි වැඩ හිඳ මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ දෙවියන්ට විදම් බණ දෙසූ දවස් දෙවියෝ අනූ කෙළ දහසෙක් නිවන් දුටහ. තව ද සුනන්‍ද නම් වෙහෙර දී කෙල ලක්‍ෂයක් දෙනා වහන්සේ රහත් වූ සේක. නැවත එක් සමයෙක දිවකුරු බුදු රජුන් වහන්සේ සාර ලක්‍ෂයක් පමණ රහතන් පිරිවරා දඹදිව සැරි සරන සේක්, එක් තැනෙක බොහෝ දෙනා ගෙන් ලබන සක්කාර සම්මාන ඇති ඉතා ප්‍රසිද්ධ වූ යකුන්ගේ ම විසීම ඇති ඉතා භයානක වූ වලායෙන් ගැවසී සිටිනා කුළු ඇති ගසින් කොළින් සැදුම් ලද නො එක් සිවු පාවුන් විසින් ගැවසී ගත් නාරද නම් වූ පර්වතයක් කරා වැඩි සේක. ඒ පර්‍වතයෙහි ත් නාරද නම් වූ යක්‍ෂයාණ කෙනෙක් වෙසෙති. ඒ යක්‍ෂයාණන්ට ත් හවුරුදු පතා දඹදිව් වැස්සෝ මිනිස් බිලියක් ගෙනවු ත් දෙති. දීපඞ්කර නම් බුදු රජුන් වහන්සේ යක්‍ෂයාණන්ට බිලි ගෙණාවවුන් නිවන් දක්වනු නිසා සාර ලක්‍ෂයක් රහතුන් වහන්සේ සතර අතට යවා පියා කරුණා පමණක් සහාය කොට ගෙන යක්‍ෂයාණනු ත් නිවන් දක්වනු සඳහා නාරද නම් පර්‍වතයට නැඟි සේක.
මිනිස් මස් ‘කෑමේ මුත් නිවන් කෑමෙහි සිතක් නැති යකු මකුකම ඉවසා ගත නොහී බුදුන් එ තැනට වඩනා ම ක්‍රෝධයෙන් දිළිහී පියා භය ගන්වා පලා පියනු කැමති ව තමාගේ ආනුභාවයෙන් පර්වත ය වෙවුල්වා දී ය. වෙවුල්වා පු පර්‍වතය ත් බුදුන්ගේ ආනුභාවයෙන් උන් කරා ම නමා ගෙන යන්ට වන. තුමූ බා ගොසින් ‘ගින්නෙකින් දවා මරවා පියෙමි’ යි මහා ගිනි කඳක් මවා ලීය. තමන් මවා ලූ ගිනි කඳ බුදුන්ගේ ආනුභාවයෙන් තමන් ම දවන්ට නමා ගත. බුදුන්ට තබා බුදුන්ගේ සිවුරෙහි හූ රළකට ත් හානි නො වී ය. යකා වැලි ත් ‘මහණ දෑ දෝ නොදෑ දෝ’ යි බලන්නේ සූර්‍ය්‍යයා ළං හෙයින් දුරුබා පලා යන තෙක් ශරත් චන්ද්‍රයා බැස ලා හුන් කලක් මෙන් ඉතා ශෝභාවත් ව හුන් බුදුන් දැක ‘අනේ, මේ මහණ මහානුභාව සම්පන්න ය. මෝ හට යම් අනර්ථයක් කෙළෙම් නම් ඒ මා කරා ම එ යි. පොළොව පැකිල්ලවුන්ට පොළොව ම පිහිට වන්නා සේ මුන් විනා මට පිහිටෙක් නැත. මුන්ම ආශ්‍ර ය කෙරෙමි’ සිතා ලා බුදුන් සක් සඟළින් ඉතා හොබනා පතුල් සඟළ වැඳලා ක්‍ෂමා කරවන්ට කිවු ය.
බුදුහුත් අමුතු ව කරන ක්‍ෂමාවක් නො වන බැවින් පිළිවෙළ කථාව වදාළ සේක. දේශනා කෙළවර නාරද නම් යක්‍ෂයාණෝ ද දස දහසක් පමණ යක්‍ෂයන් හා සමඟ සෝවාන් වු ය.
එ දවස් සියලු දඹ දිව් වැස්සෝ බිලියම් නිසා එකි එකී ගම කින් එකි එකී මිනිසකු ගෙනවු ය. තව ත් බොහෝ වූ සාල් තල මුං කලත් ශර්කරා ගිතෙල් මී සකුරු ආදිය ත් ගෙනවු ය- නාරද නම් යක්‍ෂයාණෝ ද එ දවස් ගෙණා සාල් ආදිය ගෙන ගෙනාවුන්ට ම දෙවා පියා බිලියමට ගෙනා මිනිසුන් බුදුන් කරා ගෙන ගොසින් බුදුන්ට ම පිදී ය. බුදුහු ත් උන් හැම දෙනා ‘මෙ සේ එව, මහණෙනි’යි වදාළ බස් පමණෙකින් ම මහණ මාලු පැවිදි කරවා සතියක් ඇතුළත ම රහත් කරවා වදාළ සේක. එ සේ රහත් වූ වහන් දෑ ද කෙළ සියයෙක. නැවත ඒ බුදුහු සුදසුන නම් පවුවෙක වස් වැස අනූ ලක්‍ෂයක් දෙනා වහන්සේ රහත් කැරවූ
සේක.