312. මඞ්ගල සූත්‍ර අටුවා ආදි වූ කථාන්තර

star_outline

තව ද අකුසලින් දුරු වීමට හළ මනා දෙය ත් කුසල් හි පිහිටීමට කළ මනා දෙය ත් දක්වනු පිණිස මඞ්ගල සූත්‍ර අටුවා ආදි වූ කථාන්තර ත් දක්වමු.

කෙ සේ ද යත් -

දඹදිව් තෙලෙහි ප්‍රසිද්ධ ව තිබෙන නුවර වලින් බරණැස් නුවර ය, සැවැත් නුවරය, ලිච්ඡවි රජුන් ගේ විසල් මහනුවරය, මිහිළි නුවර ය, අළවු නුවර ය, කොසඹෑ නුවර ය, තක්සලා නුවර ය, කාළ චම්පා නුවර ය, මදු රට සාගල නුවර ය; නුවරට බිම බලන දවස් කිඹුලකු හඬාපී හෙයින් හෝ කිඹුලකු වැනි ගල තලක් නුවර ගාවා ඇති හෙයින් සුංසුමාරගිරි නම් නුවර ය, මහාමන්ධාතු ආදි වූ රජ දරුවන් විසින් පරිග්‍රහ ය කරන ලද හෙයින් හෝ ගිජ්ඣකූට වෙහරාදී පර්වතවලට මධ්‍ය හෙයින් හෝ නොහො ත් බබළන්නා වූ මාළිගා ගෙවල් ඇති හෙයින් රජ ගහා නුවර ය, ශාක්‍ය රජුන් ගේ කිඹුල් වත් නුවර ය, සාකෙතනුවර ය, කුරු රට ඉඳිපත් නුවර ය, පැළලුප් නුවර ය, ජයතුරා නුවර ය, සකස්පුර නුවර ය, මල්ල රජුන් ගේ කුසිනාරා නුවර ය, යන මෙකී නුවර වලත් අඟු රට කම්පිල්ල රට ආදි නො එක් රටවල ත් ශාක්‍ය දනවු ආදි වූ නො එක් දනවුවලත් මිනිස්සු සකල සම්පත්තීන් සමෘද්ධ කාලය හෙයින් බොහෝ දෙන රැස්ව පියාකයට සිතට දුක් නැති හෙයින් නිකම් නො කියන හෙයින් රන්රත් රන් ආදි ය දී පියාත් කළ මනා වූ කුශල සන්නිශ්‍රිත කථා නොව රාම ශීතා කථා දී වූ ස්වර්‍ග මොක්‍ෂ බාධක කථා කියවති. ඉන් එකි එකී කථාවක්ම වහා නිමවන්ට නැති ව සාර මසකින් නිම යි.

එක් දවසක් රැස්ව හුන්නවුන් ගෙන් එක් කෙනකුන් ‘මඟුලට යම්හ’ යි කී කල්හි ‘මූ මඟුලට යම්හ’යි කියති. මඟුල නම් තමා කවරේ දැ’යි උපදවා ගෙන කරන කථා අතුරට මේ මඞ්ගල කථාව ත් තමා වැඩ කරු කථා හෙයින් පහළ වි ය. රැස් ව හුන්නවුන් ගෙන් එක් කෙනෙක් ‘මඟුල් නම් අභිවෘද්ධි කාරණ ය’යි මෙ විතරකින් කියා පියා තබා නො පියා නැවත ‘දන්නා තැනකින් විචාරම්හ’යි කියාත් නො පියා ‘මම මඟුල් දනිමි. මේ ලෙව්හි යම් කිසි කෙනෙක් නිඳා නැඟී සිට සරළුවන් දකිත්ද, නැවත බෙල් යටක් හෝ දකිත් ද, දැරි ඇති කෙනකුන් හෝ දකිත් ද, වැළවළලු ලා සරහා ලත් බාල දරුකෙනකුන් හෝ දකිත් ද, නැවත පිරුණු පැන් කළයක් හෝ දකිත් ද, අලුත් රේමසකු හෝ දකිත් ද, ආජානීය අශ්වයන් හෝ දකිත් ද, ආජානීය අශ්වයන් යෙදූ රථයක් හෝ දකිත් ද, බැමිණුවන් දෙනුන් හෝ දකිත් ද, තවත් අනිකුත් මෙ බන්දක් දුටුවු නම් ඒ මඟුලැ’යි කිවු ය.

උන් ගේ බස් සමහර කෙනකුන් තමන් දන්නා මඟුලු ත් එ තෙක් ම හෙයින් ගිවිස ගත්හ. සමහර කෙනෙක් තමන් නොගිවිස්සහ. යම් කෙනෙක් නො ගිවිස්සෝ නම් ඌ තුමූ දුටු දෙය මඟුලැ යි කීවවුන් හා විවාද කොට ගෙන ‘ඇස නම් යහපත ත් දක්කි, නපුරත් දක්කි. ඉදින් ඇසින් දුටු දෙය මඟුල් වේ නම් දුටු යම් දෙයක් ම මඟුල් වුව මැනව. එ සේ කලට ඒ යුක්ති නො වෙයි. අපි මඟුල් දනුම්හ. මේ ලෙව්හි යම් කෙනෙක් නිඳා නැඟී සිට ‘වඩත්’ යන බස හෝ ‘වඩ මනා යන බසක් හෝ ‘පුණ්ණයෙනි’ යන බසක් හෝ ‘ඵුස්සයෙනි’ යන බසක් හෝ ‘සුමනයෙනි, යන බසක් හෝ ‘ශ්‍රියා ය’යි යන බසක් හෝ ‘ශ්‍රි වැඩි ය’යි යන බසක් හෝ අද නකත් මොහොත යහපත, දවස් යහපතැ’යි යන බසක් හෝ තවත් අනික් යහපත් බසක් අසත් ද කනට ඇසුණු දෙය ම මඟුලැ’යි කිවු ය. උන් ගේ ඒ කථාත් සමහර කෙනෙක් ගිවිස්සෝ ය. සමහර කෙනෙක් තමන් මඟුල් නො දනිත ත් නො ගිවිස ‘කනට නම් යහපත ත් ඇසෙයි. නපුර ත් ඇසෙයි. කනට ඇසුණු දෙය ම මඟුල් වේ නම් මේ ලොව නපුරු මුව හොරා නැති නියා වේ දැ’යි වාද කළහ.

විවාද පමණෙකින් තබා පූ කලට තමන් ගේ දැනුමක් හෝ නො දැන්මක් හෝ නො පෙනෙන හෙයින් ගොඩිගළ කම් හඟවා ‘අපි මඟුල් දනුම්හ. මේ ලෙව්හි යම් කෙනෙක් නිඳා නැඟී සිට නාසයට ඇසෙන සඳුන් සුවඳ ආදී වූ සුවඳක් අසත් නම් එයි ත් මඟුල. නැවත අලුත් දැවිටි දණ්ඩක් කැවු නම් ඉදින් දිවට දැනුණු රස ය ත් මඟුල. පොළොව අල්වා හෝ නිලිගත් ගොයම් අල්වා හෝ අලුත් දාපු ගොයමක් අල්වා හෝ කැස්බකු අල්වා හෝ තල ගොයක් අල්වා හෝ නා මල් සපු මල් ආදියක් අල්වා හෝ වැල වරකා ආදී වූ ඵලා ඵලයක් අල්වා හෝ යම් පහසක් ලද්දු නම් ඒ පහසත් මඟුල, මඟුල් වේ නම් මේ තුන ය’යි කිවු ය.

උන් ගේ කථා ත් සමහර කෙනෙක් ගිවිස ගත්හ. සමහර කෙනෙක් ‘ඒ කිම්ද? නාසයට. සුවඳෙක් ම ඇසේ නම්, දිවට යහපත් රස ම දැනේ නම්, ඇඟට යහපත් පහස් ම දැනේ නම් තෙල යුක්ති ය. නාසයට නම් සුවඳත් ඇසෙයි. දුගඳත් ඇසෙයි. දිවට යහපත් රසත් නපුරු රස ත් දැනෙයි. කයට යහපත් පහසු ත් නපුරු පහසුත් දැනෙයි. නාසයට ඇසුණු දෙය හා දිවට දැනුණු දෙය හා කයට හැඟුණු දෙය හා හැම මඟුල් වේ නම් කුණු ගඳ ත් ඇසී ගිය කලට නාසය හකුළු වන්නේ හැයිද? තිත්ත දෙයක් සපා පියා මූණ හකුළුවන්නේ හැ යි ද? වස කෑ කල මියන්නේ හැයි ද? ගල පිට දඬු පිට වැද හොත් කලට ‘පිට රෙදෙයි ඇලය රෙදෙ යි’ කියන්නේ ත් හැයි ද, තෙලේ ත් අයුක්ති ය’යි ඇසූ දෙය මඟුලැ යි කීවවුන් හා විවාද කළහ.

දුටු දෙය මඟුලැ යි කීවොත් ඇසූ දෙය මඟුලැ යි කීවො ත් නාසයෙන් ඇසුණු දෙය හා දිවින් දත් රස ය හා කයට හැඟුණු පහස ම මඟුලැ යි කීවොත් පිළිවන් ව පෙනෙන හෙයින් ඔවුනොවුන් හා විවාද කරන පමණක් මුත් තමන් කිය කියා දෙය කාරණා කියා සිටුවා ලිය හෙන්නෝ නැත. මෙ ලෙසින් මේ මඟුල් කථාව දඹදිව මුළුල්ලෙහි ම ප්‍රසිද්ධ වි ය. දඹ දිව් වැසි මිනිස්සු මුළුල්ල ම මුළු මුළු ව පියා ‘වැළි මේ හැම මඟුල් නොවන කලට මඟුල් නම් කවරේ දෝ හෝ යි සිතන්ට වන්හ. උන් ගේ වසයෙන් උන්ට රකවලට සිටිනා දෙවියෝ ත් ‘මඟුල් නම් කවරේ දෝ හෝ’යි සිතන්ට වන්හ. උන් ගේ වසයෙන් උන්ට මිත්‍ර ව හිඳිනා ගස් කොළවල වසන දෙවියෝ ද මඟුල් ම සිතන්ට වන්හ. උන් ගේ වසයෙන් උන්ට මිත්‍ර ව හිඳිනා සව් මහ රජයෙන් පාත අහස වසන දෙවියෝ ත් සිතන්ට වන්හ. උන් ගේ මිත්‍ර ව හිඳිනා සව් මහ රජයෙහි දෙවියෝ ත් මඟුල් සිතන්ට වන්හ. උන්ගේ වසයෙන් උන්ට මිත්‍රව හිඳිනා තව්තිසා වැසි දෙවියෝ ය. උන් ගේ වසයෙන් උන්ට මිත්‍ර ව හිඳිනා යාම දෙව් ලොව දෙවියෝ ය. යාම දෙවියන්ට මිත්‍ර වූ තුසී පුර වැසි දෙවියෝ ය. උන්ට මිත්‍ර වූ නිර්‍මාණරති දෙවියෝ ය. උන්ට මිත්‍ර වූ පරනිර්මිත වසවර්ති දෙව්ලොව දෙවියෝ ය යි මේ දේවතාවෝ ත් ‘මඟුල් නම් කවරේ දෝ හෝ”යි සිතන්ට වන්හ.

සිතන්ට සිත් නැති හෙයින් හා අසන්ට කන් නැති හෙයින් අසඤ්ඤයන් හා සිතන්ට සිත් ඇත ත් අසන්ට කන් නැති හෙයින් අරූපී බ්‍රහ්මයන් හැර සෙසු බඹ දෙවියෝ ත් මඟුල් සිතන්ට පටන් ගත්හ. මේ මඟුල් කථාව මේ දඹ දිව යම් සේ පැවැත්තේ වී නම් දෙවි බඹුන් ගේ වසයෙන් දස දහසක් සක්වල මුළුල්ලෙහි ම පැවැත්තේ ය. ‘මඟුල් නම් කවරේ දෝ හෝ’යි සිතිවිලි පමණක් මුත් මෙ ම මඟුලැ යි යන ලබ්ධි ය නැති හෙයින් නිවන් දුටුවවුන් හැර සියලු ම දෙවි මිනිස්සු ඇසින් දුටු දෙය මඟුලැ යි ලබ්ධි ගත් එක් පක්‍ෂයෙක, නාසයට ඇසුණු ගන්ධ ය හා දිවට දැනුණු රස හා කයට හැඟුණු පහස හා තුන මඟුලැ යි ගත් එක පක්‍ෂයෙකැයි තුන් පක්‍ෂයෙක් වූහ. මෙසේ පක්‍ෂ වූ පමණක් මුත් ඔවුනොවුන් ගිවිස්වා ගත නො හෙති. කෝලාහල පසින් මේ මඞ්ගල කෝලාහල ය සනිටුහන් නැතිව මිනිස් ලොව හවුරුදු ගණනින් දොළොස් හවුරුද්දක් පැවැත්තේ ය.

කෝලාහල පසින් අනික් කෝලාහල සතර කවරේ ද යත් - කප නස්නට අවුරුදු ලක්‍ෂයක් තිබිය දී ම කල් තබා කාමාවචර දෙවියෝ රත් සළු හැඳ ගෙන හිසකේ උනා පිට හෙළා ගෙන හඬමින් වලපමින් ඉතා නපුරු වෙස් ඇති ව මිනිස් ලොවට බැස පියා ‘හෙම්බා, නිදුක්නි, මෙ වක් පටන් හවුරුදු ලක්‍ෂයක් ගිය කලට සත් හිර පහළ වීමෙන් කප නස්සී. කෙළ ලක්‍ෂයක් සක් වල එක පැහැර නස්සි. මහ මුහුද වියළෙ යි. මහ පොළ වත් මහ මෙරත් නස්සි. නො නස්නා බඹ ලොව තබා සෙසු බඹලොව පටන් උඩින් නස්සි. නිදුක්නි අනික් පිනක් නැති බැවින් ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් පතුරුවව. දුක්ඛිතයන් කෙරෙහි කරුණා ත් ඇති වව. සුඛිතයන් කෙරෙහි මුදිතාත් ඇති වව. උපෙක්‍ෂා ත් ඇති වව. දෙමවුපියන්ට උපස්ථාන ත් කරව. කුල දෙටුවන් පුදව. නො පමා වව’යි කියා ඇවිදිති. මේ කල්ප කෝලාහල ය.

සක්විති රජුන් උපදනාට පෙරාතු හවුරුදු සියයක් තිබැදී කාමාවචර දෙවියෝ ම මිනිස්ලොවට බැස මෙවක් පටන් හවුරුදු සියයක් ගිය කලට සක්විති රජ්ජුරු කෙනෙක් ලොව පහළ වෙතී කියා ඇවිදිති. මේ සක්විති කෝලාහල ය.

යම් කලෙක බුදුකෙනකුන් වහන්සේ ලොව පහළ වන සේක් නම් හවුරුදු දහසක් තිබියදීම පෙරාතු කොට ම අනැගැමි බඹු බ්‍රාහ්මාභරණයෙන් අමුතුවන්න්ව සැරහී ගෙන ශුද්ධාවාස බඹ ලොවින් මිනිස් ලොවට බැස පියා මෙ තැන් පටන් හවුරුදු දහසක් ගිය කලට බුදු කෙනකුන් වහන්සේ ලොව පහළ වන සේකැ’යි කියා ඇවිදිති. මේ බුද්ධ කෝලාහල නම් වෙයි.

කල්ප කෝලාහලය ත් චක්‍රවර්ති කෝලාහල ය ත් බුද්ධ කෝලාහලය ත් දෙවි-බඹුන් කියා ඇවිදිනා හෙයින් කෝලාහල වන්නාට ය. මඞ්ගල කථාව කෝලාහල වූයේ කෙසේදයත්-අනැගැමි බඹු ම දෙවි මිනිසුන් ගේ අදහස් දැනගෙන මිනිස් ලොවට බැස ලා ‘දොළොස් හවුරුද්දක් ගිය කලට බුදුහු මඟුල් වදාරන සේ කැ’යි කියා ඇවිදිති. ඒ තමා ත් උපදනේ බුදුන් උපන් සමයෙක. එ හෙයින් ඒ මඞ්ගල කෝලාහල නම් වෙයි.

තව ත් අනැගැමි බඹුම මිනිස් ලොවට බැස පියා සත් හවුරුද්දක් ගිය කලට එක් කෙනකුන් වහන්සේ බුදුන් කරා එළඹ මුනි භාවය කරන්නා වූ පිළිවෙත් විචාරන සේකැ’යි කියා ඇවිදිති. මොනෙය්‍ය කෝලාහල නම් වෙයි.

මෙසේ මේ කෝලාහල පසින් මඞ්ගල කෝලාහල ය ලොව පහළ ව මඟුල් දැනගත නොහීමෙන් ම දොළොස් හවුරුද්දක් ගිය කලට තව්තිසා වැසි දෙවියන්ට උන්ගේ දින වසයෙන් සත් පෑ දොළොස් විනාඩි ගාවක් විතර ගිය කලට තව්තිසා වැසි දෙවියෝ එක් තැන් ව ලා ‘නිදුක්නි, යම් සේ ගෙහිමියෙක් ගෙයි මිනිසුන්ට මුදලිද, ගම් මුදලියෙක් ගම් වැස්සන්ට මුදලි ද, රජ්ජුරු කෙනෙක් රට වැස්සන්ට නායකයෝ ද එ පරිද්දෙන් සක් දෙවිඳුහු අප දෙව්ලොව දෙවියන්ට නායක සේක. උන් වහන්සේට මෙ පවත් කිව මනා වේ දැ’යි ශක්‍රයනු ත් ඒ ඇසිල්ලට නිසි වූ සළු හැඳ ආභරණ ලා අඩු තුන් කෙළක් දෙවඟනන් පිරිවරා ගෙන පරසතු රුක මුල පඬු ඇඹුල් සල හස්නෙහි විජම් දේශනාවට පෙරාතු හෙයින් හුන්න වුන් කරා ගොසින් වැඳලා එකත් පස්ව සිට ‘ස්වාමීනි, දන්වන්නට දෙයෙක් ඇත. මඞ්ගල කථාවෙක් ලොව ඉපැද දැන් මහා කෝලාහලය. සමහර කෙනෙක් ඇසින් දුටු දෙය මඟුලැ යි කියති. සමහර කෙනෙක් පියවි කනින් ඇසූ දෙය මඟුලැයි කියති. සමහර කෙනෙක් ගන්ධ රස ස්පෂ්ටව්‍ය ය මඟුලැයි කියති. එක්තරා සනිටුහනක් නොවූ හෙයින් මින් කවරක් මඟුල් බව ත් නො දැනෙයි. ඉන් යමෙක් මඟුල් වේ නම් අපට ඒ වදාළ යහපතැ’යි කිවු ය.

සක් දෙවිඳු ද තමන් මහ නුවණ ඇති හෙයින් ‘මේ මඞ්ගල කථාව තෙපි ම සිතා ගතුද? යමකුගෙන් ඇසූදැ’යි විචාළෝ ය. ඌ තමන් සව් මහ රජයෙහි දෙවියන්ගෙන් ඇසූ නියා ව කිවු ය. උන් ගෙන් විචාළ තැන උන් ආකාශස්ථ දෙවියන්ගෙන් ඇසූ නියා ව කිවු ය. උන්ගෙන් විචාළ තැන ඌ බූමාටු දෙවියන්ගෙන් තමන් ඇසූ නියා ව කිවු ය. උන්ගෙන් විචාළ තැන මිනිසුන්ට රකවල සිටි දෙවියන්ගෙන් තමන් ඇසූ නියා ව කිවු ය. උන් විචාළ තැන මිනිස් ලොව පහළ වූ නියාව කිවුය. ඉක්බිත්තෙන් සක් දෙවිඳු තරාදිය තිබැදී අතින් කිරන්නා සේ අප ආයාස ගන්නේ කිම්ද බුදුහු දැන් කොයි වසන සේක් දැ’යි විචාළෝ ය. අනික් කොයි වසන සේක්ද, මිනිස් ලොව වසන සේකැ’යි කී කල්හි ඔබ කරා ගොසින් ඔබගෙන් විචාළ කෙනෙක් ඇත් දැ’යි කිවු ය.

එ සේ විචාළ කෙනෙක් නැතැ’යි කී කල්හි කුමක් ද, තොප හැම ගිනි තිබිය දී ගිනි ය යි සිතා කන මැදිරියන් තබා ලා පිඹිනා නියා ද? මඟුල් වදාරන්ට නිසි වූ නැවත දැකීම් වැඳීම් පිදීම් ආදි ය තබා තමන් වහන්සේගේ ගුණ සඳහන් කළ පමණෙකින්ම සඳහන් කළවුන්ට ලොවී ලොවුතුරා සැපත් සාදා දී ලන හෙයින් තමන් වහන්සේත් මඟුල් වූ බුදුන් අතින් නො විචාරා කුමක් දන්නා හෙයින් මා විචාරන්ට තබා ගතු ද, මඟුල් දන්ට වුව මනා වී නම් තෙපිත් බුදුන් කරා ගොසින් ඔබගෙන් විචාරා මඟුල් මේ ය යි දන ගනු ව. අප හැම දෙනා එක විට විචාරන්ට බැරි වේ ද, තෙපි විචාරව’යි එක් දේවතාවකුට විධාන කළහ.

ඒ දෙවි පුත් ද ඒ වේලාට නිසි වූ ආභරණ ලා සැරහී ගෙන විදුලියක් මෙන් බබලමින් දස දහසක් සක්වළ දෙවි බඹුන් හා සමඟ මධ්‍යම රාත්‍රි වේලේ දෙව්රම් වෙහෙරට ගොසින් ‘බුදුරජුන් වහන්ස, දස දහසක් සක්වළ දෙවි බඹුන් මඟුල් විචාරනු නිසා මේ එක සක්වළට රැස්ව හිසකේ අගක් බහා ලන තැන දෙවි බඹුන් හා සමඟ දහයකුත් විස්සකුත් තිසකුත් සතලිසකු ත් පනසකු ත් සැත්තෑවකු ත් අසූවකු ත් සියුම් අත් බැව් මවා ගෙන රැස් වූ දෙවියන්ට වඩා දේවතා වූ බ්‍රහ්මයන්ට වඩා බ්‍රහ්ම වූ මුඹ වහන්සේට ආරාධනා කෙරෙමි. සියලු දෙවි බඹුන්ගේ ආරාධනාවෙනුත් මිනිසුන්ගේ අනුමැතියෙනු ත් මඟුල් නම් මේ ය යි වදාළ යහපතැ’යි කිවු ය.

බුදුහු ඒ අසා වදාරා ‘හෙම්බල දේවතාව, ඌ තුන් පක්‍ෂය තෙලෙ ලෙස කියන්නා මුත් මඟුල්නම් කවරේ දැ’යි විචාළාට වැනි ව කියා ලූ බව මුත් කාරණයෙක. හෙළා නො කී බැවින් ඒ මඟුල් නො වෙ යි. මඟුල් නම් මෙලොවින් වුවත් පර ලොවින් වුවත් යමෙක් වැඩට කාරණ වේ නම් එයය. එකම මඟුලක් විචාළා වූ තොපට මඟුල් අට තිසක් කියමී’ වදාරා ලා මං විචාළවුන්ට යම් සේ මං දැන කියා ලන කෙනෙක් නො යා යුතු මං පළමු කියා යා යුතු මං පසු ව කියත් ද එ පරිද්දෙන් නො කළ මනා දෙය නො කරන්ට පළමු වදාරා ලා පසු ව කළමනා දෙය වදාරන සේක් ‘හෙම්බල, යම් කෙනෙක් කරන දෙයකුත් මෙලොව පරලොව වරදවා නපුරු කොට ම කෙරෙත් ද, කියන දෙයකු ත් දෙ ලොව ට ම වරදවා නපුරු සේ ම කියත්ද, සිතන දෙයකු ත් පර සිත් දන්නෝ ඇත් නම් මෙලොව නින්දා ලබන ලෙසට ත් තමාට වුව ත් පසු තැවිලි වන ලෙසට පරලොවත් නසා සිතත් ද එ සේ වූ නුවණ නැති සත්‍වයන් හා එක් නොවීම ත් මඟුල් අට තිසින් එක් මඟුලෙක.

මඟුල් වන්ට කාරණ කවරේ ද යත්? උන් හා එක් නො වීම මෙලොව පරලොව දෙක්හි ම වැඩට කාරණ හෙයින. උන් හා එක් වීමෙන් නපුර කවරේද යත්- යම් කෙනෙක් බාලයන් හා එක් වූ නම් කුණු මස් වසා ලූ පත ත් කුණු වන්නා සේ කවර තරමෙක යහපත් තරම් ඇත්තහු ත් නපුරු වෙති. තව ද, දධිවාහන ජාතකයෙහි මී අඹ ගස ආදි මී අඹ යහපත් වූවා පසු ව කොසඹ ගස් හා අඟුලු වැල් හා ගස මුල ඇති වීමෙන් මුල් [මුල්] හා එක් ව බැඳි කොළ කොළ හා එක් වී මී අඹ තික්ත වූවා සේ කවර තරම් ගුණ රස ඇත්තවුන් නීරසව නිෂ්ප්‍රයෝජන වන හෙයිනු ත්, තව ද යම් සේ දියෙන් වන භයෙක් දිය මුල් ව වේ ද ගින්නෙන් නො වේ ද, ගින්නෙන් වන භයට ගිනි ම මුල් ව ත් පැන් මුල් නොවේ ද, එ පරිද්දෙන් යම් කිසි භයෙක් උපදී නම් බාලයන් මුල් ව උපදුත් මුත් නුවණැත්තවුන් නිසා කිසිත් භයක් නැති හෙයින් බාලයන් හා එක් වීම නපුර. පූරණ කාශ්‍යපාදී නිවටුන්ගෙන් එකක් එකක්හු මුල් ව උන් හා එක් වීමෙන් අසූ දහසක් පමණ සත්තු නරකයේ උපන්හ. නිවන් පතා පින් කළ අජාසත් රජ්ජුරුවෝ දෙවිදතුන් ගේ සමවායෙන් ඒ ජාතියෙහි ලබන නිවනින් පිරිහුණහ.

තව ද අකීර්ති ජාතකයෙහි බොහෝ ව පතළ කීර්ති ය ඇති හෙයින් අකීර්තී නම් වූ බෝසත්හු ශක්‍රයන් ගෙන් වර ගන්නා ගමනේ ‘දුටුවවුන්ට වැඩක් නැති හෙයින් බාලයන් දැක්මක් නො වේව යි, උන් ගේ පව ත් ඇසීමෙන් කිසි ත් ප්‍රයෝජනයක් නැති හෙයින් උන් ගේ පවතු ත් නො අසම්ව යි, උන් හා එක් ව ඇසිල්ලක් වුවත් විසීමක් නො වේව යි, එක් ව විසීම තබා ඉදින් දැක පුව ත් කථා පමණකු ත් නො වේවයි’ කියා වර ගත්හ. එ හෙයින් උන් හා එක් නො වීම මෙලොව පරලොව දෙකෙහි ම වැඩට කාරණ හෙයින් උතුම් මඟුලෙක.

තව ද යම් කෙනෙක් කෙරෙත් නමුත් දන් දීම් ආදී වූ පිනක් වන දෙයක් මුත් දැන දැන ප්‍රාණ වධාදි ය නො කෙරෙත් ද, බසක් කියත් මුත් නිකම් කියා පියන බසෙක් වී නම් සැබෑවක් හා බණ මුසු දෙයක් මුත් බොරු ආදියක් නො කියත් ද, සිතත් නමුත් පින් වඩනා දෙයක් මුත් පව් වඩනට නිසි දෙයක් නො සිතත්ද, එසේ වූ බුදු පසේ බුදු සවුවන් භජන ය කිරී ම මෙලෝ පරලෝ දෙක්හි වැඩට කාරණ හෙයින් උතුම් මඟුලෙක. තව ද සුනෙත්‍ර නම් ශාස්තෘහු ය, මහා ගොවින්‍ද පණ්ඩිත ය, විධුර පණ්ඩිත ය, සරභඞ්ග ශාස්තෘහු ය, මහෞෂධ පණ්ඩිත ය, සුතසෝම රජ්ජුරුවෝ ය, නිමි රජ්ජුරුවෝ ය, අයොඝර කුමාරයෝ ය, අකීර්ති කුමාරයෝ ය, යනාදීහු ත් භජන ය කළවුන්ට කුශල සන්නිශ්‍රීත වැඩ සාදා දී ලති. එ හෙයින් ඔවුන් භජනය කිරීම ත් අභිවෘද්ධි කාරණ හෙයින් උතුම් මඟුල.