තව ද ගිලන් පස ය විනවූවන්ට ත් විරෝධ නැති නියා ව හඟවන්ට දෙවංගික බමුණානන් පැන විචාළ වත දක්වමු.
කෙසේද යත් -
එක් සමයෙක බුදුහු ඇඟ පහරනා රුජා ඇති ව උපවාන තෙරුන් වහන්සේ හුණු පැනක් ඉල්වා ගෙන එන්ට දෙවංගික නම් බමුණානන් ගේ ගෙට යවා වදාළ සේක. උන් වහන්සේ ත් උන් කරා ගොසින් බුදුන්ට රුජා ඇති නියා ව වදාරා හුණු පැනක් ඉල්වූ සේක. ඒ බමුණානෝ සතුටු ව ගොසින් මට වූයේ බලවත් වූ ලාභයෙක. බුදුන් මා ගෙන් හුණු පැනක් ඉල්වා එවූ ගමනින් ම මාගේ තරම් සිටියේ ය’යි සිතා ගෙන උණු පැන් කදකු ත් මිනිසකු ලවා ගෙන්වා ගෙන යන්ට නිල කොට ලා උක් පැණි මුලකු ත් උපවාන තෙරුන් වහන්සේ අතට පිළිගන්වා ලූහ. තෙරුන් වහන්සේ ත් ඒ ගෙන්වා ගෙන වෙහෙරට ගොසින් බුදුන් හුණු පැණින් නාවා පියා හුණු පැනෙයි පැණි වත් කොට කලන්දු කොට ලා බුදුන් වළඳවා ලූහ. ඒ ඇසිල්ලෙහි ම රුජා නැති වි ය. බමුණානෝ ‘කවුරුන්ට දුන් දෙයෙහි විපාක බලවත් දෝ හෝ’ යි ඒ බුදුන් විචාරමි’ බුදුන් කරා ගොසින්-
“කත්‍ථ දජ්ජා දෙය්‍යධම්මං - කත්‍ථ දින්නං මහප්ඵලං,
කථං හි යජමානස්ස – කථං ඉජ්ඣති දක්ඛිණා.”
යනු හෙයින් ‘කො තැනකට දුන් දෙයෙහි විපාක බලවත් දැ’ යි විචාළෝ ය. බුදුහු ත් යම් තැනකට දුන් දනෙහි විපාක බලවත් වී නම් ඒ තැන් දක්වන සේක් ‘යම් කෙනෙක් ත්‍රිවිද්‍යාව සිද්ධ වී මෙන් පෙර විසූ කඳ පිළිවෙළ දනිත් ද, සප්ත කාම ස්වර්‍ගය හා බඹලෝ විස්ස ත් සතර අපාය ත් දිවසින් දකිත් ද, රහත් වීමෙන් විශිෂ්ට වූ නුවණින් දත යුත්ත විශිෂ්ට වූ නුවණින් දැන, පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දැන, පැහිය යුත්ත පාහා, සාක්‍ෂාත් කටයුත්ත සාක්‍ෂාත් කොට හෙවත් දුක් පිරිසිඳ දැන තෘෂ්ණාව නසා මාර්‍ග භවමින් නිවන් සාදා ගෙන සිටියෝ නම් උන්ට දුන් දෙයෙහි විපාක ත් බලවත. උන් උතුමැ’යි කියමි’ වදාරා දේශනාව නිමවූ සේක. මේ දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. බමුණානෝ ත් තුනුරුවන්හි පැහැද සරණ සීලයෙහි පිහිටා උපාසක වූහ. මේ දේශනාව පස්වා දහසක් මුළුල්ලෙහි බොහෝ දෙනාට චින්තා මාණික්‍ය-කල්ප වෘක්‍ෂ-කල්ප ලතා-භද්‍රඝටාදියක් මෙන් ඉෂ්ටාර්ථ සාධක විය.
එ හෙයින් සත් පුරුෂයන් විසින් ගිලන් තැනට උපස්ථාන කිරීම ත් බුද්ධවර්ණිත කුශලයක් බැවින් එහි හැසිර ගිලනු ත් ලෙසින් මුඳන සේ අකුසලින් දුරු ව උන් ආරෝග්‍යතාවෙහි පිහිටියා සේ කුසල්හි පිහිටා ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කරන්ට උත්සාහ කටයුතු.