තව ද ගුණ ඇත්තවුන් ගේ ගුණයෙහි පහදු ත් මුත් ගුණමකු නො වීම් සඳහා ධම්ම දින්නා වහන්දෑ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
උන්දෑ ගිහි අවස්ථාවෙහි ස්වාමී ව සිටි විශාඛ නම් උපාසකයෝ එක් දවසක් බුදුන් කරා ගොසින් බණ අසා අනගැමි ඵලයෙහි පිහිටා ‘මා ගේ සියලු සම්පත් ම මා ඊ ඇලුම් නැති බැවින් ප්‍රයෝජන විඳින්ට නිසි ව සිටි ය ධම්මදින්නාවන්ට නිල කෙළෙමි නම් යහපතැ’යි සිතූහ. ඌ තුමූ ඊට පෙරාතු ගෙට එන කල ධම්මදින්නාවන් කවුළු දොරින් බලා සිටිනවුන් දැක සිනාවක් පහළ කෙරෙති. එ දවස් ඒ දිග නොබලා ම නික්මුණා හ. ධම්මදින්නාවෝ ත් කාරණ කිම් දෝ හෝ’යි සිතා ‘වන්නාට, බත්කන වේලේ දී විචාරමි’යි සිතා ලා බත් කන්ට හුන් කලට බත් ලා ලා සිටියෝ ය. මෙ තෙක් දවස් විශාඛයෝ කැටිව හිඳ බත් කන්ට ධම්මදින්නා වන් කැඳවති. එ දවස් නො කැඳවා ම බත් අනුභව කෙරෙති. එන ගමනේ මා දසාව බලා නූපූයෙත් බත් කන්ට නො කැඳවූයේ ත් මා කෙරේ මුසුප්පුවක් ඇති වනැ’යි සිතූ හ.
විශාඛයෝ ත් බත් කා ලා සුවසේ හුන් වේලේ දී උන් කැඳ වා ලා ‘මේ ගෙයි සියලු සම්පත් තොපට දෙම්හ. තෝ ප්‍රයෝජන විඳුව’යි කීහ. ධම්මදින්නාවෝ ත් ‘මුසුප්පුවක් ඇති කෙනෙක් සම්පත් නිල කෙරෙත්ද? කාරණ කිම් දෝ හෝ’යි සිතා මුඹ නැ’යි කිවු ය. මම මෙ වක් පටන් සම්පතෙක නො බැඳෙමි යි කී කල්හි ධම්මදින්නාවෝ ත් තමන් කළ පින් ඇති හෙයින් ‘කාරා දමා පු කෙළ පිඬක් සේ මුඹ නිරාල ය ව හළ සම්පත් මට හැයි’ ද? මාත් මහණ වන්ට අනුදත ‘මැනැවැ’යි කිවුය. උයි ත් යහපතැ’යි ගිවිස මහ පෙරහරින් උන් මෙහෙණවරට ගෙන ගොසින් මහණ කරවූහ.
උන්දෑ ද උපසම්පදාව ත් ලදින් විවෙකාර්ථිව මෙහෙණිනි වහන්දෑ හා කැටි ව දනවුවට ගොසින් එහි වසන දෑ නො බෝ කලෙකින් ම පිළිසිඹියා පත් රහත් ව සෙස්සවුන්ට පිරෙන පින් නෑයන්ට පිරෙන නිසා නැවත රජගහා නුවරට ආ දෑ ය. විශාඛ නම් උපාසකයෝ ත් උන් දෑ ආ නියා ව අසා කුමක් නිසා ආ නියා දෝ යි සිතා මෙහෙණවරට ගොසින් ස්ථවිරින්දෑ වැඳ ලා එකත් පස් ව හිඳ සස්නෙහි උකටලී ඇති ව ආ නියා දෑ යි විචාරීම යුක්ත නො වන්නේ වේ ද යි සිතා ‘ලොවුතුරා විෂයෙන් ප්‍රශ්නයක් විචාරමි. ඒ ප්‍රශ්න අධිගත කෙනකුන්ට මුත් කියා ලීම බැරි බැවින් කියා ලූ සේක් නම් අධිගම ලත් නියා ය. අධිගත කලට උකටලී නැත්තේ වේ දැ’යි සිතා ශ්‍රෝත ආපත්ති මාර්‍ග විෂයෙහි ප්‍රශ්න විචාළහ. ස්ථවිරින්දෑ ද විසඳු දෑ ය. උපාසකයන් සෙදැගැමි අනගැමි-මග ත් ප්‍රශ්න විචාරා රහත් මග ත් ප්‍රශ්න විචාළ කල්හි උන් තව රහත් නු වූ හෙයින් ‘ඒ තව තොපට විෂය නො වෙයි. කැමැත්තා නම් බුදුන් කරා ගොසින් විචාරව’යි කිවු දෑ ය.
උයි ත් බුදුන් කරා ගොසින් තමන් ප්‍රශ්න විචාළ ලෙස ත් ධම්මදින්නාවන් දෑ විසඳූ ලෙසක් මුළුල්ල ම බුදුන්ට දැන්වූහ. බුදුහු ත් ඒ අසා ‘ධම්මදින්නාවන් කී නියා ව ඉතාම යහපත. මා වුව ත් තෙලෙ ප්‍රශ්න විසඳන්නේ තෙලෙ තරමේ ම ය’යි වදාරා බණ වදාරණ සේක් ‘යම් කෙනකුන්ට ගිය දවස පැවැති පස් කඳෙහි ත් මතු එන දවස පවත්නා පස්කඳෙහි ත් ඇල්මෙක් නැත් නම් සියලු ලෙසින් ම නිකෙලෙස් වූ ඔහු උතුමැයි කියමි’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් නුවණැත්තවුන් විසින් යටගිය දවස පැවැති ස්කන්ධයන් කෙරෙහි ඇලුම් හැර ගත නුහුණ ත් දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ඇලුම් හැර මේ ජාතියෙහි භව ක්‍ෂය කට නුහුණ ත් ආයති කාලයෙහි භවක්‍ෂයට උත්සාහ කටයුතු.