තව ද කෙ තෙක් බාහ්‍ය ශාස්ත්‍රයෙනුත් ශාසනයට ප්‍රයෝජන නැති නියාව හඟවන්ට වංගීස තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
රජගහා නුවර වංගීස නම් බමුණාන කෙනෙක් මළ මිනිසුන්ගේ හිස් නිය පිටින් ගසා ලා ‘මේ නරකයෙහි උපන් කෙනකුන් ගේ හිස ය. මේ තිරිසන් යෝනියෙහි උපන් කෙනකුන් ගේ හිස ය. මේ ප්‍රේත ලෝකයෙහි උපන් කෙනකුන්ගේ හිස ය, මේ මිනිස් ලොව උපන් කෙනකුන් ගේ හිස ය, මේ හිස දෙව්ලොව උපන් කෙනකුන් ගේ හිස ය’යි ශාස්ත්‍ර බලයෙන් දිවසින් දක්නා සේ දකිති. බමුණෝද මුන් මුල්ව ලොව රවටා කෑ හැක්කැයි සිතා ගෙන උන් රත් පිළියක් හඳවා ලා රත් පිළියක් පොරවා ලා හැරගෙන දනවුවල ඇවිදිනාහු මිනිසුන්ට ‘මේ අපගේ වංගීස නම් බමුණානෝ මළ මිනිසුන් හිස නිය පිටින් ගසා ලා උන් උපන් තැන් දනිති. තොප තොපගේ මළ නෑයන් උපන් තැන් විචාරව’යි කියති. මිනිස්සුත් පැහැදීම් තරමට ම දස කළඳක් වුව ත් විසි කළඳක් වුව ත් සියයක් වුවත් දහසක් වුවත් දී ලා තමන් තමන් ගේ නෑයන් උපන් තැන් විචාරති. වංගීසයෝ ද හිස නිය පිටින් ගසා ලා මළවුන් උපන් තැන් කියති. ඒ බමුණෝ ත් මෙ ලෙසින් සැවැත් නුවරට ගොසින් දෙව්රම් වෙහෙරට නුදුරු තැනෙක නවාතැන් ගත්හ.
උයි ත් දාවල් බත් කා ලා හුන්නාහු බොහෝ දෙනා බණ අසන්ට යන්නවුන් දැක ‘කොයි යවු දැ’යි විචාරා බණ අසන්ට වෙහෙරට යම්හ’යි කී කල්හි ‘ඔබ ගොසින් කුමක් කරා ද? බණ අසන පමණෙක් ම වේ ද? දක්නා ඇරුම නැත්තේ වේ ද? තෙල අපගේ වංගීස නම් බමුණානෝ බලවත් කෙණෙක. මළ මිනිසුන්ගේ හිස නිය පිටින් ගසා ලා ඇසුණු හඬින්ම උපන් තැන් දනිති. තොප හැමගේ ම මළ නෑයන් උපන් තැන් විචාරව’යි කිවුය.
ඔහුත් ඒ අසා ‘ තොපගේ වංගීසයෝ කුමක් දනිත් ද? ඒ විෂයට අපගේ බුදුන් වැනි කෙනෙක් ඇත්ද? තොප ගේ වංගීසයෝ නරකාදියෙහි උපන් පමණක් දන්නා බව මුත් උත්පත්ති කාරණ වූ කර්‍ම විෂ ය[1] ‘නො දන්නෝ වේද? අප ගේ බුදුහු කර්‍ම විෂය ත් දැන වදාරල සේකැ’යි කීහ. බ්‍රාහ්මණයෝ, කර්ම විෂය දනිත ත් නොදනිතත් අපගේ වංගීසයෝ ම වඩිති’යි කීහ. මෙ ලෙස කියා පසු බැස්මක් නැති බැවින් කලහ වඩා ගෙන ‘එසේ වී නම් තොප ගේ වංගීසයන් වඩනා නියා වේව යි, අපගේ බුදුන් වඩනා නියා වේව යි, එක් තැන් කොට ලා බලන්ට වුව මනා වේ දැ’ යි බමුණ නු ත් කැඳවා ගෙන විහාරයට යන්ට නික්මුණාහ.
බුදුහු ත් උන් එන නියා ව දැන ලා නරකයෙහිත් තිරිසන් යෝනියෙහි ත් මිනිස් ලොව ත් දෙව්ලොවත් උපන් සතර දෙනකුගේ හිස් සතරක් හා රහත් තැනකගේ හිස ය යි හිස් පහක් ගෙන්වා ගෙන පිළිවෙළින් තබ්බවාලා උන් හැම දෙනා ආ කලට වංගීසයන්ට ‘තොපි මළවුන්ගේ හිස් නිය පිටින් ගසා පියා ලා උන් හැම උපන් තැන් දනු දැ’යි විචාළ සේක. ‘එ සේ ය. දනිමි’යි කී කල්හි පන්තීන් තැබූ හිස් වලින් මුල තිබූ හිස තෙලෙ කාගේ හිසෙක් දැ’යි විචාළ සේක. වංගීසයෝ ත් හිස නිය පිටින් ගසා පියා නරකයෙහි උපන් කෙනකුන්ගේ ය’ කිවු ය.
බුදුහූ ත් උන් ගේ සිත සතුටු කරවා සාධුකාර දෙවා වදාරා අනික් හිස් තුන ත් විචාරා උන් තිරිසන් යෝනියෙහි උපන් කෙනකුන් ගේ හා මිනිස් ලොව උපන් කෙනකුන් ගේ හා දෙව් ලොව උපන් කෙනකුන්ගේ හිසැ යි හිස් තුන ම තෝරා කියා ලූ කල්හි වෙන වෙන ම සාධුකාර දෙවා වදාරා පස් වැනි ව තුබූ හිස පෑ ලා තෙලෙ කා ගේ හිස දැ’යි විචාළ සේක. ඌ නිය පිටින් ගසා පියා උපන් තැනුත් නැති බැවින් ඒ දන්ට නිසි ශාස්ත්‍ර ය ත් තමන් කෙරෙහි නැති බැවින් නො දත්හ. බුදුහු ත් වංගීසයෙනි, ඒ හිස ඇත්තවුන් උපන් තැන් නො දනු දැ[2]යි විචාරා නො දනිමි කීකල්හි ඊ ස්වරූප මම දනිමි’යි වදාළ සේක. වංගීසයෝ ද තමන් ඒ හැම දන්නා මන්ත්‍රානුභාවයකින් හෙයින් බුදුන් ගේ දැන්ම ත් මන්ත්‍ර බලයෙකිනැ යි සිතා ‘එ ම මන්ත්‍රය මට දෙන්ට වුව මැනවැ’යි කීහ. මහණ ව උගතමනා මන්ත්‍රයක් බැවින් මහණ නුවූ වන්ට දෙන්ට බැරි ය’යි වදාළ සේක.
වංගීසයෝ ද ‛මේ මන්ත්‍ර ය උගතිමි නම් ශාස්ත්‍ර දැන්මෙන් මුළු දඹ දිවට උතුම් වෙමි’යි සිතා ලා බමුණන් නම් ශාස්ත්‍රලෝභී හෙයින් මහණ ව උපසම්පදාවත් ලැබ කීප දවසෙකින් ම විවසුන් මතුරු බලයෙන් රහත් ව රහතන් ගේ හිසු ත් රහත් හිස යි දන්ට බල ඇති ව බමුණන් අවුත් මහණ වන්ට යන ගමනේ කළ කථා ලෙසට මන්ත්‍ර උගත් නියා ව විචාළ කල්හි යම් මන්ත්‍රයක් අරභයා විචාරත් නම් ඒ මන්ත්‍රය උගන්ට තමන් වහන්සේ අයොග්‍ය නියාවත් බමුණානන් කරා ගමන් තබා සසර ගමන් නැති නියාව ත් කී සේක.
වහන්දෑ ද එ පවත් අසා ‘මුන් මහණ වූයේ කවදා ද? මෙතෙක් කල් මහණ වූ අප හැම හින්ද දී මුන් ම රහත් වූ නියා දැ’යි හැදහිලි නැති ව බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඔබ රහත් නියා ව හඟවන සේක් ‘මහණෙනි, යම් කෙනෙක් සත්‍වයන්ගේ චුති-ප්‍රති සන්ධි දෙක දිවැස් ඇති බැවින් දනිත් ද, කිසිවෙකත් ඇලුම් නැත්තෝ ද, පිළිවෙත මනාව පිහිටියෝ ද, චතුරාර්‍ය්‍ය සත්‍ය ය දැන සිටියෝ ද, උන් උතුමැ’යි කියමි. දෙවියන් වුව ත් මිනිසුන් වුවත් යම් කෙනකුන් ගේ නිවී ගිය පහනෙක ඔබ්බෙක පිහිටීම නැත්තා සේ භාවොත්පත්ති ය නැති හෙයින් උත්පත්ති ය නො දකිත් ද එ සේ වූ රහතන් තෙලෙ ලෙස කියන්ට ම තරම. මෙ ලෙස කියා දීත් තෙපි උන් කෙරෙහි හැදහිල්ල නැත්තා නම් තොපට වන හානි මුත් තෙලෙ ලෙස කීමෙන් උන්ට වන හානි නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් නුවණැත්තවුන් විසින් සොපද්‍රව වූ මන්ත්‍ර ශාස්ත්‍රාදියෙහි ඇලුම් හැර නිරවද්‍ය ව තිබෙන කුශලයෙහි ම හැසිර සියලු ලෙසින් ම නිරුපද්‍රව වූ නිවන් ම අත් කටයුතු.