29. අනිත්ථිගන්ධ කුමාරයන්ගේ කථාව

star_outline

තව ද එක් කුල දරුවාණ කෙනෙක් කසුප් බුදුන් සමයෙහි විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි නො පමාව මහණ ධම් කරන්නාහු කිසුණු පිරියම් කොට ධ්‍යාන උපදවා ගෙන විත්ත සුද්ධි ය ඇති බැවින් ලක්‍ෂණ රසාදි විසින් නාම රූප ව්‍යවස්ථාව කිරීමෙන් දෘෂ්ටි ශුද්ධිය ත් ඇති ව විවසුන් වඩා ත් අධිගමය කට නො හී ධ්‍යාන බලයෙන් බඹ ලොව උපන්හ. පසු ව කලෙක දී බඹ ලොවින් චුත ව බරණැස් රජ්ජුරුවන්ට පුත් ව ඉපැදෑ වැඩී වර්ධන වන්නාහු යම් අවධියෙක පටන් මෝ ගෑනි ය, මේ පිරිමියා ය යි විභාගය දනිද් ද එ තැන් පටන් කිරි මවුනු ත් ළං වනු නො කැමැත්තෝ ය. නෑවීම් ආදිය ත් නො ඉවසති. ඒ සියල්ල ම පිරිමින්ට ත් පිළිවන් හෙයින් ඌ ම කෙරෙති. කිරි පොවන කල කිරි මවු ඇඟ මුළුල්ල වසා සැට්ට ලා ගෙන පිරිමි වෙස් ගෙන තන පුඬු පමණක් පිටත් කොට ලා කිරි පොවති. ඒ කුමාරයෝ තුමූ නො පෙනෙන තෙනට වුව ත් ස්ත්‍රී කෙනෙක් ළං ව අවු නම් හෝ ස්ත්‍රී කෙනකුන්ගේ බසක් ඇසූ නම් හඬති. වැඩි විය පැමිණි කල ත් බඹ ලොව රඳන කල නුදුටු විරූ හෙයින් දැක්ම නො කැමැත්තෝ ය.

එසේ හෙයින් අනිත්‍ථිගන්ධ කුමාරයෝ ය යි නම් තබා ලූහ. සොළොස් හැවිරිදි කල්හි පිය රජ්ජුරුවෝ කුල පරම්පරාව පැවැත්ත මනා වේ දැ යි ජාති සම්පන්න නො යෙක් කුලවලින් ස්ත්‍රීන් ගෙන්වා තුලුන් කෙරෙහි කුමාරයන් ඇලුම් කරව යි එක් ඇමැත්තකුට විධාන කළහ. ඇමැති ත් උපදෙසකින් ඇලුම් කරවනු කැමති ව කුමාරයන් ළඟ තිරයක් අද්දවා ලා රඟ මඬුලු කරවි. කුමාරයෝ නටන ගී කියන බෙර ගසන හඬ අසා මේ කුමන අරගලයක් දැ යි විචාළහ. ඇමැත්තණුවෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ නළුවන් රඟ මඬුලු බැඳ ගෙන කෙළී නළු[1] පානා නියා ය. තෙල ඇති වන්නේ මහ පිණැති තැනට ය. මුඹ වහන්සේ ත් මහ පිණැති සේක. කෙළි නළු1 බැලුව මැනැවැ’යි කිවු ය. කුමරයෝ ඒ අසා ඇමැත්තණුවන් මරා නෙරපීහ. උයි ත් ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ බිසවුන් කැඳවා ගෙන අවුත් කුමාරයන් ක්‍ෂමා කරවා ලා පෙරළා ඇමැත්තවුන් ක්‍ෂමා වූ හෙයින් පාවා දුන්හ. කුමාරයෝ රජ්ජුරුවන්ගේ ඊට කරණ උත්සාහ හරවනු පිණිස බඩාලුන් ගෙන්වා ගෙන යහපත් රත්රන ලවාලා ස්ත්‍රී රුවක් කරවාලව’යි විධාන කළහ. උයි ත් විශ්වකර්‍ම නිර්මිතියක් සේ ශෝභාමත් වූ ආභරණ ලා සරහන ලද ස්ත්‍රී රූපයක් කොට පෑවූ ය.

කුමාරයෝ දැක විස්ම ව ඉස සලා පියා ‘ඉදින් මෙ බඳු ස්ත්‍රී කෙනෙක් සම්භ වෙත් නම් ඉවසමී’ රන් රුව දෙ මවු පියන් ළඟට යවූහ. දෙ මවු පියෝ ද ‘අප ගේ පුතණුවෝ මහ පිණැති වූවෝ ය. අවශ්‍යයෙන් මුන් හා එක් ව පින් කළ කෙනෙක් ඇති වෙති’ යි ඒ රන් රුව රථයක සිටුවා ලා ඇමැත්තන්ට පාවා දී ලා ‘යව, ගොසින් රුවින් තෙල රන් රුව තරම් රූ ඇති කෙනකුන් විමසව’යි කීවු ය. උයි ත් ඒ රන් රුව ඇර ගෙන සොළොස් මහ දනවුවෙහි ඇවිදින්නාහු ඒ ඒ ගම්වලට පැමිණ පැන් තොට ආදි වූ යම් තෙනක දී බොහෝ දෙන දකිත් නම් ඵ් තැන දේවතා දුවක මෙන් ඒ රන් රුව සිටුවා ලා මා හැඟි පිළි හඳවා ලා ආභරණ ලා මල් පළඳවා ලා එ තැන විනයක් බඳවා ලා තුමූ මුවා වෙලා සිටිති. මෙ ලෙස කරන්නේ කුමක් නිසා දැ යි යත හොත් – මේ තරම් රුවක් දුටු කෙනෙක් ඇත් නම් මූ අසවල් තැනැත්තෝ ය යි කියති. මෙ ම ලෙසින් මදු රට සාගල් නුවර හැර සෙසු රටවල ඇවිද ඒ කුඩා රට වේදැ යි ආලිස්සම් කොට සිතා තමන් ඈත මෑත ඇවිදිනා ගමන් පළමු කොට ඔබ ත් ගොස් නොපියා ආ පස්සේ නික්මුණාහ. නික්ම සිට සිතන්නාහු ‘මදු රට සාගල් නුවර රූ ඇත්තන් ඇතැ’යි අසම්හ. ඔබ නොගොසින් ම ගිය කලට රජ්ජුරුවන් වහන්සේ පෙරළා එවන සේක. ඔබ ත් ගොසින් යම්හ’යි සිතා මදුරට සාගල් නුවරට ගියාහ.

සාගල් නුවර මද්ද නම් රජ්ජුරු කෙනෙක් ඇත. උන්ගේ ත් සොළොස් හැවිරිදි දුවණි කෙනෙක් උතුම් රූ ධරති. උන්ගේ කම්මිත්තෝ ද නහන පැන් සොයා තොටට ගියාහු එ තැන සිටි රන් රුව දැක ‘අප පැනට එවා ලා ලද අවසරයේ පැන් තොටට පලා ආ නියා වේ දැ’ යි කියමින් ළඟට අවුත් ‘මුන්දෑ අප ගේ ස්වාමි දුවණියන් දෑ නො වෙති. උන් වහන්සේ රුවින් වඩනා සේකැ’ යි කුසල් නමැති බඩාලුන්ගේ කර්මාන්ත ඉතා විසිතුරු හෙයින් කීහ. ඇමැත්තෝ ද ඒ අසා මද්ද රජ්ජුරුවන් කරා ගොසින් සුදුසු ලෙසින් ඒ කුමාරිකාවන් අනිත්‍ථිගන්ධ කුමාරයන්ට සරණ විචාරා නිල කළහ. මද්ද රජ්ජුරුවෝ ත් යහපතැ යි ගිවිස්සාහ. ඇමැත්තෝ ද ‘එවූ රන් රුවට වඩනා තරම් කුමාරිකා කෙනකුන් දෑ මදු රට සාගල් නුවරින් සම්භ වූ සේක. තමන් වහන්සේ අවුත් කැඳවා ගෙන වඩිනේ ඇද්ද? අපි කැඳවා ගෙන ඒම්මෝ දැ’ යි විචාරා බරණැස් රජ්ජුරුවන් ළඟට මිනිසුන් යවූහ. රජ්ජුරුවෝ මා එන කලට ජන පීඩාව මහත. තමන් ම කැඳවා ගෙන එන බව ය’ යි කියා යැවූහ. ඇමැත්තෝ ත් කුමාරිකාවන් කැඳවා ගෙන යන්නාහු ම රන් රුව ට ත් වඩනා තරම් කුමාරිකා කෙනකුන් දෑ සම්භ වූ දෑ ය යි අනිත්‍ථිගන්ධ කුමාරයන්ට කියා යවූහ. කුමාරයෝ ද අසා රාගයෙන් මඬනා ලදුව උපදවාගත් ප්‍රථම ධ්‍යානයෙන් පිරිහුණාහ. ‘වහා ගෙනෙව’ යි ‘වහා ගෙනෙව’ යි කියා යවති.

උයි ත් දෙ රැයක් එක් තෙනක නො රැඳීමෙන් බරණැසට පැමිණි නුවරින් පිටත රඳා හිඳ ‘අද ම කැඳවා ගෙන එමෝ ද? නුවර සරහා ලා කැඳවා ලා එවූ විටෙක එම්මෝ දැ’ යි කියා යවූහ. රජ්ජුරුවෝ ‘මහ පොහොසතුන්ගේ දරුවෝ ය. මඟුල් පෙරහර කරවා වුව මනා ලෙසින් ගෙන්වන තෙක් උයන රඳව’ යි කියා යවූහ. උයි ත් විධාන ලෙස ම කළහ. කුමාරිකාවෝ ද තමන් ඉතා සියුමැලි බැවින් උසුලා ලීමෙන් ආයාස ඇති ව ලා රුජා ඇති ව මිරිකා පී මල් දමක් සේ ම වෙලා ඵ දවස් රෑ ම මළහ. ඇමැත්තෝ සංග්‍රහයෙන් පිරිහුණම්හ යි කියා හැඬුහ. රජ්ජුරුවෝ ත් නුවර වැස්සෝත් ආදියෙන් ම නිල කොට ගෙනා කුමාරිකාවන්දෑ නට හෙයින් පසු එවන්නෝ ඇද්ද නැද්ද ? කුල පරම්පරාව සිඳෙන නියා ය’ යි හැඩූහ. නුවර ත් මහා කොලාහල වි ය. අසමින් ම පෘථග්ජන දෝෂ ය නිසා කුමාරයන්ට ත් ශෝක බලවත් විය.

ශෝක ය බලවත් වුවත් ඊට ම දැපී නො හිඳ ශෝකයට මුල සොයන්නෝ ‘මේ ශෝක යනම්වූපන් කෙනකුන්ට ආධාර නැති බැවින් සිස් අහස මල් නොපිපෙන්නා සේ ඇති නො වෙයි. උපන් කෙනකුන්ට ම වෙයි. එ හෙයින් ශෝකයට මුල් වන්නේ ජාතිය ය. ඒ ජාතියට මුල කවරේ දෝ හෝ යි ඊ මුල් සොයන්නාහු ජාතියෙක් වේ නම් කුශලාකුශල චෙතනා සඞ්ඛ්‍යාත කර්‍මභවය නිසා වෙයි. ඒ භව ය දෘඪග්‍රාහ සඞ්ඛ්‍යාත උපාදාන ය නිසා වෙයි. උපා දාන ය අෂ්ටොත්තරශත ප්‍රභෙද වූ තෘෂ්ණාව නිසා වෙයි. තෘෂ්ණාව වේදනාව නිසා වෙයි. ඒ වේදනාව චක්ඛුසම්ඵස්සාදි ඵස්ස ය නිසා වෙයි. ඒ ඵස්සය ෂඩායතන නිසා වෙයි. ඒ ෂඩායතන නාම රූපය නිසා වෙයි. ඒ නාම රූප ය ප්‍රතිසන්ධිවිඥාන සඞ්ඛ්‍යාත විඥානය නිසා වෙයි. ඒ විඥානය පුඤ්ඤාභිසඞ්ඛාරාදි වූ සංස්කාරය නිසා වෙයි. ඒ සංස්කාරය භවාදීනව ප්‍රච්ඡාදක වූ අවිද්‍යාව නිසා වෙයි. ඒ අවිද්‍යාවට ආශ්‍රව සමුදය මුල් වෙයි. අවිද්‍යාව නැති වන්නා ම ශෝකය තබා කුමකු ත් නැතැ’යි පූර්‍ව භාවනාභියොගය මුල් ව අනුලෝම විසින් ප්‍රත්‍යයාකාරය සලකා විවසුන් වඩමින් එ තැන හිඳ ම පසේ බුදු වූ සේක. කුමාරිකාවන්ගේ මිය යාම දෙ මවු පිය ආදීන්ට අලාභ වුව ත් මුන් වහන්සේට භවොත්පත්තිය නු වූ හෙයින් මහා ලාභ ය.

මාර්‍ග සුවෙන් ඵල සුවෙන් නියුක්ත ව වැඩ හුන් පසේ බුදුන් දැක, සැටියෙන් පසේ බුදු සැටි නැති හෙයින් ඇත්තෝ වැඳලා ‘රජ්ජුරුවෙනි, ශෝක නොකළ මැනව. දඹදිව මහත් බැවින් නොගිය තැනට ගොසින් රන් රුව සේ ම රූපත් කුමාරිකා කෙනකුන් දෑ ගෙනවුත් පාවා දෙම්හ’යි කිවු ය. ‘මට ශෝක නැත. නිශ්ශොක ව පසේ බුදු වීමි’යි කී සේක. කුමක් අරමුණු කොට ද පසේ බුදු වූයේ ය යි විචාළ කල්හි -

සංසග්ග ජාතස්ස භවන්ති ස්නෙහා

ස්නෙහත්‍වයං දුක්ඛමිදං පහොති,

ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො

එකො චරෙ ඛග්ග විසාණකප්පො.

යනු හෙයින් යම් කෙනකුන්ට ලක් දිව කළු දික් නම් ගම වසන කෙළෙඹිදුවක් කැලණියේ සිට ගොසින් සිඟමින් සිටි කිසිත් පුරුදු කමක් නැති ළදරු කෙනකුන් වහන්සේ දැක පිළිබඳ සිත් ඇති ව දුටු පමණක් මුත් අනික් දෙයක් නැති ව රාග නැමැති වහ්නින් දා මළා මෙන් ද, මළ කෙළෙඹි දුවණියන් හැඳි පිළිය දැක මෙබඳු ස්ත්‍රියක හා සහවාස ය නොවී ය’යි ආඳා යවා තබා ලා වල් පත ඇල්ලුවා සේ උන් නො මියන අවධියේ ත් තෙල සේම දුර්‍වල අදහස් එකක් නො ව පසු ව ශෝකයෙන් මළ ළදරු තැනැත්තන් වහන්සේ මෙන් දැකීම පමණකින් ම ඇල්ම ඇද්ද මෙ සේ ම මෙම ලක් දිව ගල්ගමුවේ[2] හිඳිනා කැඹිරි දුවක තමා සේම කුඩා කොල්ලන් පස් දෙනකු හා කැටිව පියුම් විලකට ගොසින් නා පියා මල් පැළඳ ගෙන ගොඩ නැඟී ලා ලීලොපෙත කොට ගීයක් කියන්නා අසා පසඟුළු ලෙණ වසන අභිඤ්ඤාලාභී තිස්ස නම් භික්ෂූන් වහන්සේ අහසින් යන ගමනු ත් නැති ව ගුණ විශේෂයෙන් පිරිහුණුවා කැඹිරි දුව කියා ලූ ගීය අසා ලූ හෙයින් ඇසූ බස් පමණෙක ත් ඇලුම් ඇද්ද?

එ සේම මෙම ලක් දිව අනුරාධපුර නුවර රුවන්වැලි මළුවෙ හිදී බණ කියමින් හුන් බාල නමක් බණ අසන්ට ගිය රාජකුමාරිකා වක් දැක කර්‍මානුරූප ව මියත ත් එපමණකින් ම නැවත නොපියා සිඛ පද විකුම් කොට හස්තග්‍රාහාදී විසින් කාය සංසර්‍ගයට පැමිණ පෙරළා තිර ය ඉවත් කොට බැලූ කලට මිය පියා හොත් බාල භික්ෂූන් දෑ හා රාජකුමාරිකාව මෙන් ඇඟ අල්වා පීමෙනුත් ඇලුම් ඇද්ද, එ සේ ම මෙම ලක් දිව මිරිසවැටිය පූජාවෙහිදී හුණු කැඳ වළඳන ගමනේ අත දන නියාව බලා හැම තැනට බාල වූ සාමණේරනමට දළකඩ වළල්ලක් දීලා කථා කළ සාමණේරී කෙණකුත්, ඒ වළල්ල පිළිගත් හෙරණුන් දෑ ත් දෙපක්ෂය පසු ව මාලු පැවිද්ද ත් ලදින් මාලු පැවිද්දේ පටන් සැට වයස් පලා ගොසින් යම් කිසි ආපදාවකින් රට පලා ගොසින් රට දී ඔවුනොවුන් හා කථා කොට හැඳින ගෙන එපමණ කථාවකින් හා එ පමණ ප්‍රයොජනයකින් ඔවුනොවුන් විෂයෙහි විපන්න වූ බැවින් කථා පමණෙක ත් සංග්‍රහ පමණෙක ත් ඇලුම් ඇද්ද, ඒ ඇලුම් මෙ ලෝ පරලෝ දෙක්හි බොහෝ දුකට ආයාසයට පමුණුවාලව යි ඒ ආදීනව සලකා ඉන් මිදෙන්ට පසේ බුදු වූ නියාව වදාළ සේක.

තව ද එක් කුල දරුවාණ කෙනෙක් කසුප් බුදුන් සමයෙහි විසිදහසක් හවුරුදු මහණ ධර්‍ම කොටත් භවොත්පත්තිය නැති කට නුහුණු හෙයින් සසර ඇවිදින්නාහු එක් සමයෙක බරණැස් නුවර මහා සම්පත් ඇති සිටු කුලයෙක උපන්හ. කුසල්හි හැසිරෙන්ට නො ව පින්හි අනදර සිතින් පරදර කම්හි හැසිර මිය ගොසින් නර කයෙහි පැසී පරදාර කර්‍මයෙහි තම විපාක ය නො නිමි හෙයින්, සිටාණ කෙනකුන්ට දූව උපන්හ. උන් මවු කුස පිළිසිඳ ගත් ගමනේ නරකයෙන් ආ හෙයින්, ඇඟ හුණු හෙයින් සිටු දුවණියෝ බොහෝ දුක් ගෙන දුකින් ම වැදූය. කුමාරිකාවෝ ද උපන් දවස් පටන් දෙ මවු පියන්ට වුව ත් සෙසු නෑයන්ට වුව ත් පරදාර හැසිරෙන සමයේ කාටත් අප්‍රියයා සේ ම අප්‍රියයෝ ය. වැඩි විය පැමිණ සරණ ගිය කල ත් සමණන්ට වුව ත් නැඳි මයිල් ආදීන්ට වුවත් ඉතා අප්‍රියයෝ ය. උත්සව දවසකදී සිටු පුත්‍රයාණෝ උන් හා එක් ව උත්සවයට මැළි ව වෙශ්‍යාවක ගෙන්වා ගත්හ.

සිටු දුවණියෝ කෙල්ලන්ගෙන් එ පවත් අසා සිටු පුත්‍රයාණන් කරා ගොසින් නො එක් ලෙසින් පයිලිකම් දක්වා ‘ස්වාමීනි, ස්ත්‍රීහු නම් රජ දරුවන් දශදෙනකුට නෑ ව සිටියෝ නමුත්, සක් විති කෙනකුන්ට දූ වූ නමුත්, ස්වාමි ව සිටි තැනැත්තවුන් දුක් පත් වුවත් උන්ට යටත් ව සිටිති. රක්ෂා කළ ස්වාමීන් බැණ නො නැගෙන කලට උන්ට මහා දුක. මා ත් කැමැත්තො ත් රඳවන බවය. නැත්නම් හැරපියන්නා දෙමවුපියෝ නොදමන්නෝ වේද? ඔබ යෙමි’යි කිවු ය. ඒ අසා සිටු පුත්‍රයාණෝ අනුකම්පා ඇති ව ලා වන්නාට ය, මුසුප්පු නො ව උත්සවයට සැරහී ගනුව. එක් ව උත්සව කෙළිමි’යි කිවු ය. සිටු දුවණියෝ එ පමණකිනු ත් වහා සතුටු ව ‘සෙට නකත් කෙළි කෙළිමි’යි බොහෝ කන බොන දෑ ඉදි කරවු ය. සිටු පුත්‍රයාණෝ ද දෙ වන දවස් නො කැඳවා ම උත්සවයට ගියහ. සිටු දුවණියෝ ත් කැඳවා එතී කියා රැක හිඳ වේසී පියා කල් යන හෙයින් එ පවත් දන්නට මිනිසුන් යවු ය. ගිය මිනිස්සු පෙරලා අවුත් සිටු පුත්‍රයාණන් උත්සවයට ගිය නියාව කිවු ය.

උයි ත් සියලු උත්සවෝපකරණ ගෙන්වා ගෙන රථයකට නැඟීලා උයනට යන්ට නික්මුණාහුය. ඉක්බිත්තෙන් ගඳ මහන්[3] පව්වෙහි නන්‍ද මූලක නම් ලෙන වසන පසේ බුදු කෙනකුන් වහන්සේ සත් දවසක් නිරෝධ සමවතට සම වැදලා සත්වන දවස් නිරෝධයෙන් නැඟී අනවතප්ත විල දී නාලිය දැවැටි වළඳා ලා සිඟා අද කොයි යෙම් දෝ හෝ යි සලකන සේක් ඒ සිටු දුවණියන් දැක ‘මෝ මට යමක් පිළිගන්වාපු නම් ශේෂ ව සිටි පාපය ගෙවෙන්නේ ය’යි දැන ගල්ලෙන ආසන්නව දෙසිය ශතළිස් ගවුවක් උස ඇති රත් සිරියෙල් ගලෙක් ඇත. ඊ වැඩ සිට ගැට වටු ගන්වා සිවුරු වැලඳ ගෙන පාත්‍ර ය හැර ගෙන සෘධ්‍යනුභාවයෙන් අහසින් වැඩ සිටු දුවණියන් එන පෙර මග බරණැස් නුවරට මූණ ලා වැඩසිටි සේක. ඔබ දැක සිටු දුවණියන්ගේ කෙල්ලෝ සිටු දුවණියන්ට කිවු ය.

උයි ත් රථයෙන් බැස පියා පසඟ පිහිටුවා සකස් කොට වැඳ ලා පාත්‍ර ය හැර ගෙන මධුරාහාරයෙන් පුර ලා පියුමෙකින් වසා ලා පියුමක් මත්තේ තබාගෙන මල් කළඹක් අතින් හැරගෙන පසේ බුදුන් වහන්සේ ළඟට ගොසින් පාත්‍ර ය පිළිගන්වා ලා වැඳ ගෙන මල් කලඹ අල්වා ගෙන සිට ‘මේ මල් කලඹ දුටු යම් කෙනකුන්ට ප්‍රිය ද එ පරිද්දෙන් උපනු’පන් ජාතිවල දුටු දුටුවන්ට ප්‍රිය වෙම්ව’යි පළමු කොට පැතූ ය. නැවත ‘ස්වාමීනි, මවු කුස විසීම නම් නරක දුකට නො අඩු ලෙසින් දුක. එ සේ හෙයින් උපදනා යම් ජාතියෙක පියුම් ගැබෙකම උපදිම්ව’යි දෙවෙනි ව පැතූ ය. තුන් වෙනි ව ‘ස්වාමීනි, ගෑනු ව ඉපදීම නම් මිනිස් ලොව ඉපදත් හීන වූවා සේ ඉතා ලාමක ය. එ සේ හෙයින් නිවන් දක්නා ජාති දක්වා විවරණ ලත් මහ බෝසතුන් මෙන් ගෑනි නො වෙම්ව’යි පැතූ ය. සතර වැනිව ‘මුඛ්‍ය විපාක විසින් නිවන් දකිම්ව’යි පැතූ ය. මෙ සේ පැතීම් සතරක් පතා ලා ඒ මල් කළඹ පසේ බුදුන්ට පිළිගන් වා ලා පෙරළා ත් වැඳ ලා ‘මාගේ ශරීරයෙහි සුවඳත්’ පෑයත්[4]මේ මල් කලඹ සේ ම වේව’ යි පැතූ ය. පසේ බුදුහු ත් පාත්‍රය ත් මල් කලඹ ත් හැර ගෙන අහසට පැන නැඟී ලා ප්‍රත්‍යෙක බුද්ධ ගාථා දෙකකින් අනුමෙවෙනි බණ වදාරා ‘සිටු දුවණියෝ මා නික්මෙන නියාව දකිත්ව’යි ඉටා ලා ගඳ මහන් පව්වෙහි නන්‍ද මූලක ලෙනට ම වැඩි සේක.

සිටු දුවණියන්ට ත් ඒ දැක බලවත් ප්‍රීති උපන. තුන්වන ජාතියෙහි කළා වූ පරදාර කර්‍මයෙන් නරකයෙහි පැසී ශේෂව තුබු වා යම්තම් ව තුබූ පැනක් මහ අවු පැහැර සුන්නා සේ ගෙවිණ සිනිඹලා යුෂයකින් තඹ මල නැති වූවා සේ පුරාකෘත පාප ය ගෙවී පිරිසුදු වූහ. එ වෙලේ නැඳිමයිලන්ගේ මිනිස්සු ත් දෙ මවුපියන්ගේ මිනිස්සුත් හිත පක්‍ෂව ගෙන පඬුරු එවන්ට පටන් ගත්හ. ආදි නො කැමැති සිටු පුත්‍රයාණෝ ත් ‘මම එන ගමනේ සලකුණු නැති ව නැඟී අයිමි. වහා කැඳවා ගෙන එව යි මිනිසුන් යවූ ය. එවක් පටන් ළෙයි ගල්වා ලූ සඳුනක් මෙන් ද, කර පළන් මුත් හරක් මෙන් ද, මල් දමක් පරිද්දෙන් ද සිතා පිරි මසති.

සිටු දුවණියෝ ත් ආයු පමණින් සැපත් වළඳා පින්කම් බෙහෙදින් ස්ත්‍රී වන්ට නිසි අකුසල් ලෙඩ සන්හිඳුවා ගත් හෙයින් ස්ත්‍රී ලෙඩ නැති ව දෙව් ලොව උපදනා තැනැත්තෝ පියුම් ගබක් ඇතුළත දිව්‍ය පුත්‍ර ව උපන්හ. ඒ දේවතාවාණෝ යම් තෙනකට යෙත් නමුත් පියුම් ගබින් ම යෙති. සිටිත් නමුත් පියුම ඇතුළේ ම සිටිති. හිඳිත් නමුත් පියුම මත්තේම හිඳිති. වැදහොවිත් නමුත් පියුම මත්තේ ම වැද හොවීති. මහ පියුම් දෙවි පුත්හු යයි නම තබා ගත්හ. මෙසේ ඒ දෙවි පුත්හු මෙ බඳු ශෝභා ඇති ව ස දෙව් ලොව ම පාත දෙව් ලොව පටන් උඩ දෙව්ලොව දක්වාත් ඒ ඒ දෙව් ලොව ආයු පමණින් දෙව් සැප විඳිති.

මෙ සේ උන් දෙව් ලොව සැපත් විඳිනා කලට බරණැස් රජ්ජුරුවන්ගේ විසි දහසක් පමණ පුරඟනෝ ඇත. ඉන් එක කෙනකුත් මහ පියුම් දෙව් පුත්හුගේ නියෝගයෙන් මෙන් දරු කෙනකුන් නො ලැබෙති. දරුවන් නැති නියාව දැක ඇමැත්තෝ ‘ස්වාමීනි, පුරවධූන් බිසෝවරුන් වදන දරුවන් නැති පසු ප්‍රවෙණි රක්නා නිසා දරු කෙනකුන් නිසි තෙනකින් හැරගෙන වඩන්ට වුවත් වුවමනා වේදැ’යි සරුප් ලෙසකින් කීහ. රජ්ජුරුවෝ ඒ අසා එ සේ වී නම් අග මෙහෙසුන් බිසොවුන්ට එ ලෙස තරම් නො වන හෙයින් උන් හැර සෙසු විසිදහසක් පුරඟනන් ම වෙශ්‍යා ලෙසට රජ ගෙන් පිටත් කරව’යි කිවු ය. සත් දවසක් විතරට එලෙස කොටත් පිරිමි තල්ගස තල් නො ගන්නා සේ සතියක් මුළුල්ලෙහි ත් පුත්‍ර ප්‍රති ලාභයකට නිසි පින් නැති හෙයින් දරුවන් නොලත්හ. නැවත ඇමැත්තෝ රජ්ජුරුවන්ට කියන්නෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ අග මෙහෙසුන් බිසොවුන් වහන්සේ නුවණින් පිණින් ස්ත්‍රීන් මුළුල්ලට ම වඩනා සේක.

‘ධර්‍ම නාටක වීම ඕ හට තරම් නොවතත් මුඹවහන්සේ මුල් ව පුතණු කෙනකුන් වහන්සේ ලත් සේක් නම් යහපතැ’යි කිවුය. රජ්ජුරුවෝ එ පවත බිසොවුන්ට තුමූ කිවු ය. බිසවු ‘මහ රජ. යම් ගෑනු කෙනෙක් බොරු නො කියත් නම් ආචාර සීලී වූ නම් දරු කෙනකුන් වදතත් ඌ වදති. විළි ලජ්ජා නැත්තවුන්ට එයි ත් පිණින් වන දෙයක් හෙයින් දරුවන් ඇති වන්නේ කෙ සේ ද? විළි ලජ්ජා ඇති ව වසන්නවුන්ට දරුවන් සම්භ වන නියාව බැලුව මැනවැ’යි මතුමාලට පැන නැඟීලා පන් සිල් සමා දන් ව ගෙන ආනුභාව සම්පන්න මන්ත්‍රයක් ලක්‍ෂ දෙන කලක් මෙන් තමන් සමාදන් වූ පන් සිල් එක්වන් සලකන්ට වන්හ. එසේ සලකා ලා දරු කෙනකුන් පතන්නා ම ඒ බිසොවුන්ගේ ගුණානුභාවයෙන් සක් දෙවිඳුහුගේ හස්න හුණු වි ය. සක් දෙවිඳු ද භස්න හුණුවන්ට කරුණු විමසනුයේ මේ කරුණු දැක ‘ගුණ සම්- පන්න බිසොවුන්ට දරු කෙනකුන් දෙමි යි අහසින් අවුත් ඉදිරි ව ලා සිට ‘බිසොවෙනි, කුමක් පතවු දැ’යි විචාළේය.

‘දරු කෙනකුන් පතමි’ කී කල්හි මුසුප්පු නො වව. දරු කෙනකුන් දෙමි’යි කියා ලා දෙව් ලොවට ගොසින් ආයු ගෙවී ගිය දේවතා කෙනෙක් මේ දෙව්ලොව ඇද්දෝ හෝ යි බලනුවෝ මහ පියුම් දෙවිපුත්හු මේ දෙව් ලොවින් චුත ව උඩ දිව්‍යලෝකයෙහි උපදිති යි දැන උන්ගේ විමනට ගොසින් ‘මහ පියුම් දෙවි පුත, මිනිස් ලොව උපදුව’යි කිවු ය. දෙවි පුත්හු ඒ අසා ‘මිනිස් ලොව නම් කාම ස්වර්‍ග ව තිබෙන පමණක් මුත් ඉතා පිළිකුල. ඊ උපද නට කියන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. පුත, තොප මුබ උපන්නෙ ත් මිනිස් ලොව දී පින් කොට ය. මහ බෝසත්හු පවා දෙව් ලොව බඹ ලොව දී පැරුම් නො පිරෙන හෙයින් ඊ ආයු පමණින් නො සිට මිනිස් ලොව උපදිති. තෙපි ත් එහි ඉපැද ප්‍රත්‍යෙක බොධියට පැරුම් පුරව’යි පැරුම් පිට ලා කීහ. මහරජ, මිනිස්ලොව කුණිනු ත් මවු කුස් නම් ඉතා කුණු ය. අඳුරු බලා ලූ කලට ලෝ ඇඳිරි නරකයක් වැන්න. වෙනසෙක් නම් කුඩා පමණෙක. දුගඳ පිළිකුල් සැටියට අත්පස් නරක ය වැන්න. වෙනස නම් නරකායු පමණට ඊ දසමසක් හෝ දසමස් දෙපෝයක් හෝ හිඳිනා විතරෙක. එ සේ හෙයිනු ත් මිනිස් ලොව උපදනට බැරි ය’යි කිවු ව. ‘පුත, තොප මවු කුස ඉපදීමෙන් ප්‍රයෝජන කිම්ද? යම් ලෙසකින් පියුම් ගබ උපදිතොත් එලෙසට තෙපි පින් කළව. දෙව් ලොව පහළ වන පියුම් ඔබ දී පහළ නොවේ ද? එ හෙයින් මිනිස් ලොව උපදුව’ යි නො එක් කාරණ කියා ගිවිස්වා පී ය.

මහ පියුම් දෙවි පුත්හු ද සක් දෙවිඳුගේ නියෝගයෙන් දෙව් ලොවින් සැව බරණැස් රජ්ජුරුවන්ගේ උයන ගල් පොකුණෙහි පියුම් ගබෙක සංසේදජ ව උපන්හ. දරුවන් පතා හොත් බිසවු ද එ දවස් රෑ අලුයම් වේලෙහි සීනෙන් විසි දහසක් විතර පුරඟනන් පිරිවරා උයනට ගොසින් සල වට හිඳ මඟුල් පොකුණෙහි පියුමෙකින් පුතණු කෙනකුන් ලද්දු නම. සීනය පාන් වමින් දුටු හෙයින් උදවුව විපාක දෙන්නා, රාත්‍රිය පාන් වූ කල්හි බිසවු සීනෙන් ගිය ලෙසට ම උයනට ගොසින් එක් පියුමක් ශෝභාමත් ව ප්‍රබුද්ධාසන්න ව සිටියා දුටු වූය. පියුම ඉතා ගැඹුරෙ ත් නො වෙයි. ගොඩට ආසන්නයෙ ත් නො වෙයි. පියුම දකිමින් ම ඇතුළේ හොත් කුමාරයන් නුදුට ත් දරු පෙම් හට ගත. දැකලා අනික් කෙනකුන් නො යවා තුමූ ම ගොසින් ලා පියුම හැරගන්නා පිපී වැනී ගිය ලෙස නම් බිසොවුන්ගේ මුඛ පද්මයෙහි නෙත් නමැති නිල් මහනෙල් මල් දැක පියුමෙහි පෙති එ තමා අරුම දෙයක් හෙයින් එම විස්ම ය දැක සමාධීන් සිනාසී පූවාක් වැන්න.

පිපී ගිය පියුම ඇතුළෙහි තුත්තෙක තුබූ රන් පිළිමයක් මෙන් වැද හොත් කුමාරයන් දුටුවු ය. දැකලා ම පුතණු කෙනකුන් ලදීමි’ හඬ ගා පීහ. බොහෝ දෙන ත් අභිමතාර්‍ථය සෑදීගිය හෙයින් සමාධි ව සාධුකාර දුන්හ. රජ්ජුරුවන්ට ත් කියා යවූහ. රජ්ජුරුවෝ අසා’ලද්දේ කොයිදී දැ’යි විචාරා ලත් තැන් අසා උය න ත් පොකුණ ත් පියුම[5] ත් ඇම අප සන්තක හෙයින් අපගේ ම පුතණුවෝ ය’යි කියා ලා නුවරට ගෙන්වා ගෙන විසි දහසක් පුරඟනන් ලවා කිරි මා කම් කැරවූහ. යම් යම් පුරවධූ කෙනෙක් කුමාරයන්ගේ අදහස් දැන කැවූ නම් පෙවූ නම් මසු දහසක් ලැබෙති.

සියලු බරණැස මුළුල්ල ම අසුරයන් වන් දෙවු පුරයක් මෙන් ද, දෙවියන් වන් අසුර පුරයක් මෙන් ද ඇලලී ගියේ ය. මුවදොර වල් මුළුල්ල එක්තැන් වූවාක් මෙන් පඬුරු පාක්කුඩමුත් අවුත් ලක්‍ෂ ගණන් කෙළ ගණන් උපදනට පටන් ගත. කුමාරයෝ ද ඒ ඒ දෙය ගෙනවුත් ‘මේ කැව මැනව, මේ පුව මැනැවැ’යි කීමෙන් තමන් පසේ බුදුන්ට බත් පාත්‍ර ය පිළිගන්වා ලා පැතුව මනා දෙය පතා ගත් පමණක් මුත් ගත් පැරැත්තයක් නැති හෙයින් දෝ පැරැත්ත අසා කුසී ව ගොසින් වාසල කරා පලා ගොසින් ලා හූ වටක් දම දමා කෙළිති.

එ කල එක් තරා පසේ බුදු කෙනකුන් වහන්සේ බරණැස් නුවර නිසා ඉසිපතන නම් උයන් හි වසන සේක. උන් වහන්සේ ද වේලා පස ම වත් පිළිවෙත් සපයා ගෙන ඵල සම වතින් නැඟි සේක් අහර සිඟා කො තැනකට යමෝ දෝ හෝ’යි සිතා පදුම කුමාරයන්ගේ හේතු සම්පන්න නියාව දැක මුන් ගිය දවස කළ පින් කවරේ දෝ හෝ යි විමසන සේක් ‘මා බඳු වූ පසේ බුදු කෙනකුන්ට බත් පාත්‍රයත් පිළිගන්වා ලා ප්‍රාර්ථනා පසක් පැතූහ. ඉන් සතරෙක් සමෘද්ධ විය. එකක් තව සිද්ධ වූයේ නැත. ඒ සිද්ධ නො වී නම් සෙස්සෙන් ප්‍රයෝජන නැත. ඊට ත් උපදෙසක් කෙරෙමි’ සිඟා වඩනා බඳු ව කුමාරයන් ළඟට වැඩි සේක. කුමාරයෝත් ආදර්ශයක් බඳු වූ පසේ බුදුන් දැක ශාසනික බැවහාර නොදන්නා බැවින් ‘මහණ, මුඹ නො එව මුඹ අවු නම් මේ කව, මේ බොව යි කියා මහ ගහට කෙරෙති. තෙල ලෙසින් මම බොහෝ ගහට විඳ පීමි’යි කිවුය. ඔබ ද එක බසින් ම නැවත පියා කුමාරයන් තමන් වහන්සේ වසන තෙනට ගමන නො නවතනා ලෙස කොට ලා විහාරයට ම වැඩි සේක.

පදුම කුමාරයෝ ද ළඟ සිටියවුන්ට ‘මේ මහණ මා නො එන්ට කියන්නා එක බසින් ම නැවැත්ත. මට උරණ ව දැ’යි විචාළෝ ය. හැම දෙන ‘ස්වාමීනි, තෙල තරම් තැන් උරණ නො වන සේක. ක්‍ෂමාව නම් ඔබට ලා ආභරණයක් වැනි ය. සැදෑ ඇති ව යම් කෙනෙක් යමක් දුන්නු නම් ඒ වළඳා ලා මහණ ධම් පුරණ සේක. එ විතරක් මුත් මැරුවවුන් මැරීම හා බිණුවවුන් බිණීම හා ඒ හැම ඔබට නැතැ’යි කිවු ය. එ සේ කීවත් කුමාරයෝ තමන් සසරින් නැවත්ත මනා හෙයින් නො නැවත ‘මහණ මට උරණ ම ය. උරණ නැත හොත් අව මනා වේ ද? ඔහු ක්‍ෂමා කරවමි’ දෙ මවු පියන්ට කියා ලා ඇතකු නැඟී ගෙන මහ පෙර හරින් ඉසිපතනයට ගොසින් උයන සිටි මුව රළක් දැක මූ කවුරුදැ යි විචාළෝ ය. මුවෝ ය යි කී කල්හි ‘මේ කැව මැනව, මේ පුව මැනවැ’යි කිය කියා මුනු ත් කුසීත කරවන්නෝ ඇද්දැ’යි විචාළෝ ය. ස්වාමීනී, ඒ හැම ලබන්ට පින් කළ මනා වේ ද? එ බඳු පිනක් මුඹ වහන්සේ ලා සේ නො කළ හෙයින් උන්ට ඒ හැම නැත. යම් තෙනක තණ පැන් ඇත් නම් එ සේ වූ තැනෙක රඳතී’ කිවු ය. කුමරහු ඒ අසා මුන් දවස් යවන නියාව යහපත. කවර දවසෙක දෝ මට එ බන්දක් වන්නේ ය’යි සිතූහ.

පසේ බුදුහු ත් තමන් වහන්සේ කරා උන් එන නියාව දැන ලා පෙත් මඟ ත් මළුව ත් සක්මන ත් හැමඳ පියා සක්මනට නැඟී එක් දෙ විටක් සක්මන් කොට පියවර සටහන් දක්වා ලා දාවල් වැඩ හිඳිනා තැන ත් පන් සල ත් හැමඳ පියා ඇතුළට වන් පිය වර සටහන් දක්වා ලා පිටතට නික්මුණු පියවර සටහන් නොපා අනික් තෙනකට වැඩ පී සේක. කුමාරයෝ එ තැනට ගොසින් පවිත්‍ර වූ අදහස් ඇති පසේ බුදුන් පවිත්‍ර කොට හැමඳි මං පෙත් දැක ඒ පසේ බුදුන් වහන්සේ වසන්නේ මෙ තැන ය යි හැම දෙන අතිනු ත් අසා ‘උදාසන ත් ඒ මහණ මා කියා ලූ බසට උරණ ව ගෙන ආ ය. දැනු ත් රැස් පිරිස් අවුත් වැද පියා හැමඳ පියා තුබූ මළු මැඬ කසළ කළොත් කැල ම උරණ වෙති. තෙපි හැම මෙ තන රඳව’ යි පිරිස පිටත රඳවා ලා තුමූ ඇතු පිටින් බැස පියා තනි ව ම විහාරය ඇතුළට වැද ලා හැමදි තැන්හි ඔබා ලූ පියවර සටහන් දැක ‘එ කාන්ත ව මේ මහණ මෙ තැන වසනුයේ නවාම් වෙළඳාම් කරනුයේ නො වෙයි. තම හට වැඩක්ම සිත සිතා හිඳිනා වන. දැන් ඌ තුමූ කොයි දෝ හෝ’ යි විමසනු නිසා දාවල් වැඩ හිඳිනා තැනට ගියහ. එ තැන ත් පියවර සටහන් දැක ආදි සිතූ ලෙස ම සිතා රෑ වසන පන් සලට ගොසින් නැවත දොර හැර ලා ඇතුළු පන්සලට වැද පසේ බුදුන් නො දැක ඈත මෑත බලා උන් වහන්සේ වැඩ හිඳිනා ගල් පෝරුව දුටු වූය.

එයි ත් දැක ආදි සිතූ ලෙස ම සිතා එ තැන්හි හිඳ ධ්‍යාන උපදවා ගෙන විවසුන් වඩා පසේ බුදු වූ සේක. පසේ බුදු පෙරළා නුවරට ගමන නුවුව මනා හෙයින් එ තැනින් නො වඩනා සේක. ඇමැත්තෝ රජ දරුවන්ගේ අණ සක් මැඬ ලිය හැක්කේ නො වෙයි. ‘ම පුතුන් හැර ගෙන මෙතෙක් වේලා වල කල් යවන්ට කාරණ කිම් දැ’යි මරවා තළවා දඬු මුඬු ගත් සේක් නමුත් නපුර. කුමාරයන් වහන්සේ කැඳවා ගෙන යම්හ’යි පන් සලට වැද ලා පසේ බුදු වූ කුමාරයන් දෑ ම දැක ‘මුන්දෑ පසේ බුදුන් නො දැක සිතිවිලි ගෙන හුන් සේක් වනැ’යි සිතා ලා “ස්වාමීනි, පසේ බුදුහු නිරන්තර ව මෙහි වසන සේක. දුරකට වැඩ පියන්නේ නැත. සෙට වුවත් අවුත් ක්‍ෂමා කැරවිය හැක්ක. පසේ බුදුන් අද නුදුටුවම්හයි මුසුප්පු නොකැමැත්තේ ය. නුවරට යම්හ’යි කිවු ය. ‘මට එසේ මුසුප්පු සිතිවිලි නැතැ’යි කී කල්හි කුමක් නිසාදැ යි විචාළ කල්හි පසේ බුදු වූ නියාව කී සේක. ‘මෙසේ පසේ බුදු වතොත් පසේ බුදුවන්ට බැරිනැති නියා වේ ද? ළු සේ කුමක් අරමුණු කොට ද පසේ බුදු වූයේ’යි විචාළෝ ය.

“මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො,

යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය,

විඤ්ඤෑ නරො සෙරිතං පෙක්ඛමානො

එකො චරෙ ඛග්ගවිසාණකප්පො”

යනු හෙයින් වල තණ පැන් අනුභව කොට ලා වසන සිවුපා වුන්ගේ සප්‍රධාන වාස ය දැක ඒ අරමුණු කොට පසේ බුදු වූ නියාව වදාළ සේක. එ හෙයින් නුවණැත්තවුන් විසින් ප්‍රත්‍යෙක බොධිසත්‍ව චරිත ත් අසා පින්කම නො පමාව භවක්‍ෂයට ම උත් සාහ කට යුතු.

  1. කෙළිලල

  2. හල්ගමුවේ

  3. ගඳ මහත්

  4. දෑවැයි

  5. පියුම්