306. ජොතිය තෙරුන් වහන්සේ ගේ වත

star_outline

තව ද නො එක් ලෙසින් නස්නා සුලු සම්පත් හැර මහණ වීමට ත් නො නස්නා සුලු වූ නොහොත් කවුරුන් විසිනුත් හැර පැහැර ගත නො හැකි සැපත් හැර මහණ වීමෙහි අරුමය දක්වන්ට ජොතිය තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

අජාසත් කුමරහු දෙවිදතු උන් හා එක් ව ගෙන උන්ගේ අසත් සමවායෙන් පියාණන් මරා රජ පැමිණි තැනැත්තෝ ‘ජොතිය සිටාණන් ගේ මාළිගාව හැර ගනිමි’ සටන් සරහා නික්ම මැණික් පවුරෙහි සිවුරඟ සෙනඟ සහිත වූ තමන්ගේ ඡායාව දැක ගොවියා පිත් සටන් සරහා ගෙන නික්මිණි වනැ’යි සලකා ලා එළඹ ගත නුහුණු වුය. ජොතිය සිටාණෝ ද එ දවස් පෙහෙව ගෙන බත් අනුභව කොට ලා වෙහෙරට ගොසින් බුදුන් ළඟ බණ අස අසා හුන්හ. පළමුවන දොරටුවෙහි රකවල් ගෙන සිටි යමවොලී නම් යක්‍ෂයා පිරිවර යක් දහස හැර ගෙන කොයි එන නියා දැ යි කියා ලා මරා ලුහුබඳවා ගත. රජ්ජුරුවෝ බිඳී විහාරයට ම අවු ය. ජොතිය සිටාණෝ ද රජ්ජුරුවන් දැක ලා ‘කුමක් ද, රජ්ජුරුවන් වහන්ස’යි කියා ලා නැඟී සිටියහ. ‘සිටාණෙනි, තෙපි මා හා සටනට පිරිස මෙහෙයා ලා මුඹ අවුත් බණ අසන බඳු ව ලා හුන්නා දැ’යි කිවු ය. සිටාණෝ තමන් ඒ වේලා වනතුරු නොදත් හෙයින් මාගේ මාළිගාව හැර ගන්ට වැඩියේ ඇත් දැ’යි විචාරා ‘එ සේය’යි කී කල්හි ‘මුඹ වහන්සේ එක රජ්ජුරුවන් වහන්සේ තබා දහස් ගණන් රජ දරුවෝ ත් මා නොකැමති කරවා මාගේ සම්පත් ගත නො හෙන සේකැ’ කිවු ය.

‘එ සේ කලට තොප ම රජ නියා වේ දැ’යි අජාසත් රජ්ජුරුවෝ කිපී ගියහ. මා රජ කුලයෙක නූපන් හෙයින් මට රජ කමුත් නැත. එ තෙකුදු වුවත් මා ‍නොකැමති කරවා මා සන්තක දා හුයක් විවර වත් රජ දරුවන් ආදි කවර කෙනකුත් හැරගත නො හෙති’යි කිවු ය. ‘සෙස්සන් හැර ගත නො හෙත ත් මම තොප නො කැමති කරවා ම හැර ගනිම් දැ’යි කිවු ය. ‘එ සේ වී නම් රජ්ජුරුවන් වහන්ස, දැන්ම පරීක්‍ෂා කොට හැක්ක. මාගේ ඇඟිලි දසයේ කැටි ව මුදු විස්සෙක් ඇත. මම එය රජ්ජුරුවන් වහන්සේට නො දෙමි. ඉදින් සපන් වූවොත් හැර ගත මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝත් වැළිත් බිම කෙළිල්ලෙන් හිඳ ලා උඩ අහසට පිනූ නම් වඩුවෙන් අටළොස් රියනක් විතර පෙනෙති. කෙළින් සිට පිනූ නම් අටළොස් රියනක් විතරට පෙනෙති. ඒ තරම් බල ඇති රජ්ජුරුවෝ ත් නො එක් ලෙස යත්න කොට ත් එක මුන්දක් විචර ත් ගළවා ගත නුහුණු වූ ය. මච්ඡරිය කොසිය සිටාණන් කබලු වෙන් කරන්ට උත්සාහ කොට විඩා වූවා සේ විඩා වූ පමණෙක.

සිටාණෝ ද සළු පට අතුට ලුව මැනවැ’යි කියා ලා ඇඟිලි ඊට නමා පෑ ලූය. මුඳු විස්ස ම සිටාණන්ගේ මෙහි අදහස ඇති වන්නා ම සළු පිට වැගිරිණ. ‘රජ්ජුරුවන් වහන්ස, මා සන්තක දෙයක් මා නො කැමති කරවා හැර ගත නො හැකි නියා ව තිලින්ම දත මැනවැ’යි කියා ලා කොට ලූ ලෙසට මුසුප්පු ඇති ව මා මහණ වන්ට අනුදත මැනව”යි කිවු ය. රජ්ජුරුවෝ ත් ‘මුන් මහණ වූ කලට මාළිගාවත් සම්පතුත් නිරායාසයෙන් ම මට එන්නේ වේ දැ’යි සිතා දෛව ය යි සිතා ගත නො හී එක බසින් ම ‘යහපත, මහණ වව’යි කිවු ය. ජොතිය සිටාණෝ ද බුදුන් ළඟ මහණව මාලු පැවිද්දත් ලදින් නොබෝ කලකින් රහත් ව ජොතිය තෙරුන් වහන්සේ ය යි ප්‍රසිද්ධ වූහ. උන් වහන්සේ රහත් වන්නා ම සම්පත් මුළුල්ල ම අතුරුදන් විය. ඇඹේණිය නුත් දෙවියෝ උතුරු කුරු දිවයින ම ලා ලූය.

එක් දවසක් වහන්දෑ ජොතිය තෙරුන් වහන්සේ බණවා ලා ‘කුමක් ද, ඇවැත්නි, තමන්ගේ ඒ රුවන් මහපායේ වේව’යි, සෙසු සම්පත වේව’ යි, සිටු දුවණියන් කෙරෙහි වේව යි, ඇලුම් ඇත්දැ’යි විචාරා නැති හෙයින්ම ‘නැතැ’ යි කී කල්හි ‘මූ ස්වාමීනි, නැත්ත කියා රහත් නියාවක් හඟවති’ කී සේක. බුදුහු ත් ඔබට තෘෂ්ණාව නැති නියාව හඟවන සේක් ‘යම් කෙනෙක් සියල්ලෙහි ම ඇලුම් හැර ගොසින් මහණව රහත් වූ නම් භවක්‍ෂය කළාවූ උන් උතුමැ’යි කියමි. එ හෙයින් ම පුතුන් ජෝතිය තෙරුනු ත් රහත් වූ හෙයින් ඒ සියල්ලෙහි ම ආලය නැත. තෙපි උන් කෙරෙහි අමුත්තන් නො සිතව’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ජොතිය තෙරුන් වහන්සේ භව සැපත් වළඳා කෙළවර නිවන් සම්පත් අත් කළා සේ පින් කම නො පමාව හැසිර භව සැපතුත් තෙල ලෙසින්ම වළඳා කෙළවර නිවන් අත් කටයුතු.