305. ජටිල තෙරුන් වහන්සේගේ වත

star_outline

දැන් ජටිල තෙරුන් වහන්සේගේ උත්පත්ති කථාව දතයුතු.

කෙ සේ ද යත් -

බරණැස් නුවර එක් සිටු දුවණි කෙනෙක් ඉතා රූපත්හ. උන් පසළොස් හැවිරිදි වයස දී හුදකලා පමණකට එක කෙල්ලක පාවා දීලා අසද්ධර්මයෙන් නවතනු නිසා සත් මාල් පායේ උඩු මාලේ ශ්‍රී යහන් ගබඩාවෙක ලූහ. උන් එක් දවසක් කවුළුදොර හැර පියා පිටත බල බලා සිටි කලට අහසින් යන්නාවූ විද්‍යාධරයෙක් උන් දැක උන් කෙරෙහි ස්නේහයක් උපදවා ගෙන කවුළු දොරින් වැද ලා උන් හා සහ වාසය කෙළේ ය. උයි ත් ඒ සහවාසය නිසා නොබෝ කලෙකින් ම දැරි ඇති වූහ. කැටිව සිටි කෙලි ත් දැරි ඇති නියා ව දැන ‘මේ කිම් දැ’යි විචාරා ‘වන්නාට ය, කාට ත් නොකියව’යි සිටු දුවණියන් කී කල්හි උන් ගෙන් ගහටයක් වෙතී යන භයින් කාටත් නො කීව.

උයි ත් දස වෙනි මස පුතණු කෙනකුන් වදා පියා නවමු සැළියක් ගෙන්වාගෙන ඒ දරුවන් ඊ ලා ලා කඩ වස්නෙකින් වස්වාලා මතුපිට මල් වඩමක් තබ්බවා ලා ‘තෙලෙ හිස තබා ගෙන ගොසින් ලා ගඟ දියෙන් යවා පියව. විචාළ කෙනෙක් ඇත් නම් ‘අපගේ ස්වාමි දියණියන්ට බිලියමෙකැ’ යි කියව’යි කෙල්ලට සම්මත කළහ. උයි ත් විධාන ලෙසින් ම ගඟ දියෙහි ලා පුව. ගඟ පාත තොටක නාන ගෑනු දෙන්නෙක් නවමු සැළිය දියෙන් එන්නා දැක එක් කෙනෙක් ‘තෙල සැළිය මාගේ ය’යි කිවු ය. එක් කෙනෙක් ‘ඊ ඇතුළේ යමක් ඇත් නම් ඒ මට ය’යි කියා ලා සැළි ය ළං වූ කල හැරගෙන ගොඩ තබා ලා වසාලූ වැස්ම හළ වුය. හැරත් ඇතුළේ වැද හොත් කුමාරයන් දැක ‘සැළි ය මාගේ යයි කිවු තැනැත්තෝ ඇතුළේ හොත් දරුවන් තමන්ට ය යි කියති. අනික් තැනැත්තෝ තමන් ආදි ම කියා ලූ ලෙසට දරුවන් තමන්ට ය යි කියති. මෙ ලෙසින් විවාද කරන පමණක් මුත් තුමූ යුක්තිය දත නොහී අධිකරණ නායකයන් කරා ගියහ. උනු ත් ඒ යුක්තිය කියා ලිය නුහුණු හෙයින් රජ්ජුරුවන් කරා ගියහ.

රජ්ජුරුවෝ උන්ගේ කථාව අසා යුක්තිය ත් එම හෙයින් ‘සැළි ය මාගේ ය’යි කී තැනැත්තන්ට සැළිය හැර ගන්ට කියා ලා ‘ඇතුළේ දෙය මාගේ ය’යි කී තැනැත්තන්ට දරුවන් නිල කළහ. රජ්ජුරුවන් කළ නිල ය හෙයින් සැළි ය ලත් තැනැත්තෝ ත් ගිවිස පූහ. ඉන් යම් කෙනකුන්ට දරුවෝ සම්භ වූ නම් ඌ කසයින් මහ තෙරුන් වහන්සේට උපස්ථාන කරන කෙණෙක. එ හෙයින් ‘මේ දරුවන් වඩා වර්ධන කොට ලා කසයින් ස්වාමීන් ළඟ මහණ කරවමි’යි සිතා ගෙන වඩා වර්ධන කෙරෙති. උපන් දවස නාවා පියන්ට නො වූ හෙයින් හිසකේ එක්ව බැඳී ගොසින් අවුල් වියවුල් ව සිට්ටි. එහෙයින් ජටිල යන නාමය තබා ලූහ.

උන් පියවර ඔසවා ඇවිදිනා කලට කසයින් මහ තෙරුන් වහන්සේ ඒ ගෙට සිඟා වැඩි සේක. උයි ත් මහ තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා වැළඳ වූහ. මහ තෙරුන් වහන්සේත් ජටිල කුමාරයන් දැක ‘කුමක්ද, උපාසිකාවෙනි, දරු කෙනකුන් ලත් නියා දැ’යි විචාළ සේක. ‘එසේය, ස්වාමීනි, මේ දරුවන් මුඹ වහන්සේ ළඟ මහණ කරවනු නිසා වැඩීමි. උන් මහණ කළ මැනැවැ’යි කියා ලා පාවා දුන්හ. ඔබ ද උන් කැඳවා ගෙන වඩනා සේක් මුන් ගිහි ව රඳා සම්පත් විඳිනට දෛව ඇත්තෝ දෝ හෝ යි විමසන සේක් ‘මුන් තමන් කුඩා බව මුත් පිණින් නු කුඩා වූ ය. මහ සම්පත් ලැබෙති. මහණ වන්ට තව වයස ත් බාල ය. රහත් වන්ට නුවණ ත් මූකුරා නො ගියේ’යි සිතා වදාරා උන් කැඳවා ගෙන තක්සලා නුවර එක් උපාසක කෙනකුන්ගේ ගෙට වැඩි සේක.

උයි ත් මහ තෙරුන් වහන්සේට වැඳ ලා සිටි තැනැත්තෝ කුමාරයන් දැක ‘ස්වාමීනි, කුමාර කෙනකුන් ලත් නියා දැ’යි විචාළහ. එ සේ ය, උපාසකයෙනි, මූ මහණ වන්ට නිසි කෙනකු තව බාලයෝ ය. මූකුරා ගන්නා තෙක් තොප ළඟ රඳතී’ වදාළ සේක. උයිත් ‘යහපතැ’යි ගිවිස උන් දරු කොට වඩති. උන්ගේ ගෙයි දොළොස් අවුරුද්දක් විචර විකපත් වන්ට නැති හෙයින් බඩු බෝ ව පියා තිබෙ යි. ඌ අනික් ගමකට කන්නලවුවෙක යන්නෝ ඒ බඩු මුළුල්ල ම සල්පිළ ලා ලා වඩනා දරුවන් සල්පිළ හිඳුවා ලා ඒ ඒ බඩුවේ මිල කියා ලා ‘මේ මෙතෙකට දී ලව’යි කියා ලා ගියෝ ය. එදවස් නුවර රකවල සිටි දෙවියෝ යටත් පිරිසෙයින් මිරිස් ලුණු ආදි වූ කුළු බඩු පමණකිනු ත් ප්‍රයෝජන ඇති කෙනකුන් අනික් සල්පිළකට නොයවා ඒ බාල දරුවන් හුන් සල්පිළටම යවූහ.

උයි ත් දොළොස් හවුරුද්දක් විකපත් නු වූ බඩු අග ය නො නසා එක දවසින් විකපත් කළහ. කෙළෙඹියාණෝ අවුත් සිස් ව තුබූ සල්පිළ දැක ‘හැයි පුත, බඩු නිකම් ම නසා පූ දැ’යි විචාළෝ ය. ‘මා එ සේ නැසුයේ නැත. කියා ලූ ලෙස ම වික්කෙමි. මේ මෙයට ගත් මිලය, මේ මෙයට ගත් මිල ය’යි එක් කළ මිල මුළුල්ලම පෑ වූය. කෙළෙඹියාණෝ වයස තරමට කටයුත්ත මූකුරා තිබෙන හෙයින් සමාධිව ‘මූ අනර්ඝ කෙණෙක, කො තැනෙක වුවත් රැකී ගනිතී’ තමන්ගේ වැඩිවිය පැමිණි දුවණියන් උන්ට පාවා දෙවා ලා හිඳිනා පරිද්දෙන් ගෙයක් ඉදි කරන්ට මිනිසුන්ට විධාන කොට ලා ගෙය කොට නිමි කල්හි ‘යව, ගොසින් තොපගේ ගෙයි හිඳුව’යි විධාන කළහ. උනු ත් ගෙට වදිනට යයි එළිපතින් ඇතුළේ පයක් තබා ලන්නා ම ගෙ පිටි පස්සෙහි මහ පොළොව පළා ගෙන බොහෝ ජාතිවල විපාක දෙන්ට නැති හෙයින් මේ එක ජාතියෙහි ම විපාක දෙන්ට කුසල් එක් වූවා සේ ඝන සංහත[1]ව වඩුවෙන් අසූ රියන් රන් පර්වතයක් නැංග. රජ්ජුරුවෝ ද ජටිල කුමාරයන්ගේ ගෙ පිටි පස්සෙහි පර්‍වත ය නැඟි නියා ව අසා ම උන්ට සිටු සේසත් යවූහ. ඌ එවක් පටන් ජටිල සිටාණෝ ය යි ප්‍රසිද්ධ වූහ.

ඒ ජටිල සිටාණන්ගේ පුතුන් තුන් දෙනෙක් වූහ. උන් වැඩි විය පැමිණි කලට සිටාණෝ මහණ වන්ට සිතා ගෙන ඉදින් අප හා සම්පතින් සරි සිටු කුලයෙක් ඇත් නම් අප මහණ විය දෙති. නැතහොත් මහණ විය නොදෙති. මේ දඹදිව සම්පතින් අප හා සරි සිටු කුල ඇත් දෝ හෝ’යි විමසනු නිසා ඝන රන් මුවා උළක්ද, කැවිටි ලීයක්ද, රන් පමුවක් ද කරවා ලා මිනිසුන්ට දී ලා තෙලෙ හැර ගෙන කිසිවක් විමසන්නා සේ දඹදිව මුළුල්ලෙහි ඇවිද සම්පතින් අප හා සරි සිටු කුල ඇති නියා ව විමසව’යි යවූහ. උයි ත් මුළුල්ලෙහි විමසා ඇවිදිනාහු භද්දිය නුවරට ගියහ. මැඬ මහ සිටාණෝ උන් හැම දැක ‘කුමක් කොට ඇවිදිනා නියාද’යි විචාරා ‘එක්තරා කටයුත්තක් විමසා ඇවිදුම්හ’ යි කී කල්හි ‘මුන් රන් උළක් හා රන් කැවිටි ලීයක් හා රන් පමුවක් හා හැර ගෙන අනිකක් විමසන්ට කාරණ නැත. පොහොසතුන් විමසා ඇවිදිනා වනැ’යි සිතා ගෙන ‘සගයෙනි, අපගේ ගෙයි පිටි පස්සට ගොසින් බලන දෙයක් ඇත, බලව’යි කීහ.[2]

උයිත් ගෙපිටි පස්සට ගොසින් එක් යාළ සොළසාමුණක් වප් යන තැන පොළොව පළා ගෙන නැංගාවූ ඇතුන් සා වූත් අසුන් සා වූ ත් ගොන් සා වූ ත් ඇළයෙන් ඇළ ය පැහැර සිටියා වූ සියලු සම්පත්තින් පිරුණු කුස් ඇති ඝන රන් මුවා එළුවන් දැක උන් අසුහස් සෙන් ඇවිද පියා නික්මුණාහ. මැඬ මහ සිටාණෝත් ‘යමක් සොයා විමසා ඇවිදු නම් ඒ දුටු දැ’යි විචාළහ. මැඬමහ සිටාණන් සම්පතින් වැඩී සිටි හෙයින් තමන්ගේ ජටිල සිටාණන්ට වඩනා හෙයින් ‘දුටුම්හ’ යි කීහ. ‘එ සේ වී නම් යව’ යි කියා ලා යවූහ. උයි ත් ගොසින් ‘ස්වාමීනි, මුඹ වහන්සේ ගේ කුමන සම්පත් ද? භද්දිය නුවර මැඬ මහ සිටාණන් වහන්සේ ගේ සම්පත් මේ තරම් වේ දැ’යි සම්පත් තමා විස්තර හෙයින් විස්තර කොට කීහ. ඒ අසා ජටිල සිටාණෝ සතුටු ව වැඩි තරම්ව සිටිනා එක් සිටු කුලයක් ලදිමි. තවත් ලද හැකි දෝ’ යි ලක්‍ෂයක් වටනා පලසක් දී ලා යවා, ගොසින් තව ත් එ බඳු සිටු කුල ඇත් නම් විමසව’ යි කීහ. ඌ රජගහා නුවරට ගොසින් ජෝතිය සිටාණන් ගේ ගෙට නුදුරු තැනෙක ගිනි මැළයක් බැඳ ලා සිටියහ.

‘මේ කිම් දෑ’ යි විචාළ කල්හි අපගේ‍ මහ ඇඟි පලසෙක් ඇත. මිල දී ලා හැර ගන්ට කීව ත් මහ ඇඟි හෙයින් හැර ගත හෙන්නෝ නැත. හැර ගෙන ඇවිදිනා කලට ඊ ලෝභයෙන්

සොර කෙනෙක් මරා පියත් දෝ හෝ යි බා ගින්නේ ලා දවා පියම් හ’ යි සිතා ය’ යි කීහ. ජෝතිය සිටාණෝත් ඒ දැක ‘තුලුන් කරන්නේ කිම් දැ’ යි විචාරා එ පවත් අසා කැඳවා ගෙන්වා ලා ‘මේ පලස කෙ තෙක් වටී දෑ’ යි විචාළහ. ‘මසු ලක්‍ෂයක් අග්ගි’යි කී කල්හි පලස ගෙනාවුන්ට මසු ලක්‍ෂයක් දෙවා පියා ‘තෙල පලස අපගේ පළමුවන වාසල පිස කසළ දමා සිටිනා කෙල්ලට දී පියව’ යි කියා ලා පලස ගෙනාවවුන් අත ම ඒ කෙල්ලට යවූහ. ඔයි ත් පලස අතට හැර ගෙන හඬමින් වලපමින් සිටාණන් ළඟට ගොසින් ‘ස්වාමීනි, මිඬියන්ගේ වරදක් දුටු කල මැරවු කල නපුරුද? මේ දළ පිළී මිඬියට දෙන්ට කාරණ කිම්ද? මේ ගෝණි කඩක් සේ දළ, මිඬිය හඳනේත් පොරෝනේත් කෙ සේදැ’යි කිව. සිටාණෝ ඒ අසා ‘එම්බල, තෙල පලස හඳිනට පොරෝනට යවු දෙයෙක් නො වෙයි. මම තිගේ තරම් නො දනිම් ද? තෙලෙ බිස්සක් සේ හකුළුවා ලා තී වැදහෝනා යාන බඩ තබාලා වැද හෝනා වේලේ සුවඳ පැණින් සෝධා පූ පා පිසිනට සිතා යවීමි. එ විතරකු ත් තිට බැරි නියා දැ’ යි කිවු ය.

‛ස්වාමීනි, ආදි නොදත් විසින් මුත් ඊ බැරි කවරේ දැ’යි කියා ලා ලක්‍ෂයක් වටනා පලස තමා පය පිසින්ට ගෙන ගියා ය. ජෝතිය සිටාණන්ගේ සම්පතෙහි තරම සම්පත් විමසන්ට ගියවුන්ට කෙළි ම හඟවා පී ය. විමසන්ට ගියවුන් ජටිල සිටාණන් කරා ගොසින් ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ සම්පත් රජගහා නුවර ජෝතිය සිටාණන් වහන්සේගේ සම්පත දුටු කලට උන්දෑගේ ගෙයි මෙහෙ කරන කෙල්ලන් තබා පළමු වන වාසල පිස කසළ දමන කෙල්ලන්ගේ සම්පතට ත් නැත්තේ වේ දැ’ යි කියා ලා ජෝතිය සිටාණන්ගේ සම්පත් විස්තර කොට කීහ.

ජටිල සිටාණෝ උන් ගේ කථාව අසා සතුටු ව ‘මහණ වීම ඉතිකින් පිළිවනැ’ යි නුවර රජ කරන රජ්ජුරුවන් ළඟට ගොසින් ‘මහරජ, මහණ වනු කැමැත්තෙමී’ කීහ. ‘යහපත’ යි රජ්ජුරුවෝ ත් අනුදත්හ. සිටාණෝ ගෙට ගොසින් පුතුන් කැඳවා ලා රන් මිටක් ඇති උදැල්ලක් වැඩි මාලු පුතණුවන් අතට දී ලා ‛යව, පුත, ගෙ පිටි පස්සෙහි සිටියා වූ රන් පවුවෙන් කැටියක් කපා ගෙන ව’ යි කිවු ය. උයි ත් උදැල්ල ගෙන ගොසින් රන් පවුවට කොට ලා බැලූහ. ගල තලෙක පහළ කලක් මෙන් වි ය. කැපුණු දෙයක් නැත. ඒ උදැල්ල උන් අතින් හැර ගෙන මැදි බෑ පුතණුවන්ට දී ලා යවූහ. උන්ට එ ලෙස ම වි ය. සුඟකු ත් නො කැපිණ.

ඉක් බිති ව උදැල්ල බාල පුතණුවන්ට දී ලා යවූහ. උන් ගොසින් කොටන්ට වදනා ම බොරු පසක් කෙටෙන්නා සේ රන් පවුව සුණු ව කෙටෙන්ට වන. ඉක්බිත්තෙන් ජටිල සිටාණෝ උන් කැඳවා ලා ‘මෙ තෙක් සෑහෙයි’ කියා ලා අනික් පුතුන් දෙන්නා කැඳවා ලා හෙම්බා තෙලෙ, මේ රන් පවුව තොප දෙන්නා නිසා උපන්නා නො වෙයි. එ සේ නො වන නියා ව නො කෙටුණු ගමනින් ම දනුව. මාගේ හා තෙල තොපගේ කුඩා මලණුවන් ගේ කුශලානුභාවයෙන් උපන. තුලුත් වසයෙන් උන් මුල් ව ප්‍රයෝජන විඳුව’ යි කීහ.

කුමක් නිසා ජටිල සිටාණන් හා උන් ගේ පුතණුවන් ගේ කුශලානුභාවයෙන් රන් පර්‍වත ය උප ද යත් - ඒ උන් දෙන්නාගේ ම කුශල කර්‍ම මහිමයෙන. ජටිල සිටාණන් ඉපැද ලා දියෙන් යන්ට කාරණ කිම්ද යත් - ඒ උන්ගේ අකුශල කර්‍ම බලයෙන. ඒ එ සේ මැ යි. කසුප් බුදුන්ගේ රන් දා ගබ කරන කල්හි එක් රහත් තෙර කෙනකුන් වහන්සේ දා ගබ කර්මාන්ත කරන තැනට ගොසින් කර්‍මාන්තයෙහි අඩු වැඩි බලා පියා ‘උපාසකවරිනි, මේ දාගබ උතුරු දිග මූණ කුමක් නිසා නො නැංගේ ද? සතර අතින් ම සරි ව නැඟෙන කල වේ ද, යහපතැ’යි වදාළ සේක. ‘බෙත් ම වූ නියායෙන් ඒ දිගට රත් රන් මඳ හෙයිනැ’ යි කීහ. මම ඇතුළු ගමට ගොසින් සමාදන් කරවා රත් රන් එක් කරවමි. තොපි නොපමාව කර්‍මාන්තකරව’යි වදාරා ලා නුවරට වැද ‘උපාසකවරිනි, තොප හැම දෙනා කරවන දා ගබ එක් මූණ කට රත් රන් නො සෑහෙයි. අනික් තුන් මූණ කර්මාන්ත රත් රනින් කරන හෙයින් මේ මූණ අනිකෙකින් කරන්ට බැරි වේ ද, පින් පුරා කරවන දෙය බැවින් බලාත්කාරයෙකින් නොවන පසු රත් රන් එක් කරව’යි සමාදන් කරවමින් බඩාල් ගෙයකට ත් වැඩි සේක. බඩාලාණෝ ද ඒ වේලාට ඇඹේණියන් හා ඩබරක් කොට ගෙන හුන්හ. තෙරුන් වහන්සේ ත් ‘තොපට නියම වූ මුහුණට රත් රන් මද, රන් රනක් සපයව’ යි වදාළ සේක.

උයිත් අඹුවන් කෙරෙහි කළා වූ ක්‍රෝධයෙන් කිපියවුන් සලකන කාරණ නැති බැවින් ‘මුඹ ගේ බුදුන් දියෙහි ලා පියන්නැ’ යි කිවු ය. උන්ගේ ඇඹේණියෝ ද, කියා ලූ නියා ව ඉතා නපුර. මා හා ඩබර කළ කල මට ම කරන කියන දෙයක් මුත් නිරපරාධ බුදුන්ට කියා ලූ ලෙස තමාගේ තරමට තරම් වත් ඔබට තරම් නො වෙ’ යි කීහ. බඩාලාණෝ ද ඒ වේලේ සලකා පියා කියන්නා තබා සිතු ව මනා දෙයකු ත් නො වන හෙයින් ‘ස්වාමීනි, ක්‍ෂමා කළ මැනැවැ’ යි කියාලා තෙරුන් වහන් සේ වැඳගෙන හොත්හ. තෙරුන් වහන්සේ ත් ‘තොප අපට වරදවා කී දෙයෙක් නැත. වරදවා කීවා බුදුන්ට වුව. ඔබ ම ක්‍ෂමා කරවව’ යි වදාළ සේක. ‘කවර ලෙසකින් කුමක් කොට ක්‍ෂමා කරවා ගනිම් දැ’ යි කීහ. ‘රන් මල් යෙළ යාළක් කරවා ලා දා කුස ලා ලා ඉසින් කනින් දියෙහි ගැලී තෙත් පිළී ඇති ව තෙත් හිස කේ ඇති ව ක්‍ෂමා කරවව’ යි වදාළ සේක. උයි ත් ‘යහපතැ’යි ගිවිස රන් මල් කරන තැනැත්තෝ පුතුන් තුන් දෙනාගෙන් වැඩිමාලු පුතණුවන් කැඳවා ලා පුත, හෙම්බා, බුදුන්ට වරදවා ලා කෝප බලයෙන් බසක් කියා පීමි. එ සේ හෙයින් මේ රන් මල් කොට ධාතු නිධානයෙහි ලා ලා ක්‍ෂමා කරවමි. තොපිත් ඊට සහා ය වව’ යි කිවු ය.

ඌ තුමූ ඒ අසා ‘මා මුඹ වරදවා කියන්ට කීවා නැත. කරතොත් මුඹ ම කරන්නැ’යි කියා ලා සහාය නුවූහ. මැඳි බෑ පුතණුවන් බණවා ලා එ ලෙස කී තැන උයි ත් මැළි ව දඬුවම් ලෙසින් වුවත් කරන පින්කමට සහාය නුවූහ. බාල පුතණුවන් කැඳවා ලා සහාය වන්ට කී තැන ‘යහපත් වුව ත් නපුරු වුව ත් දෙමවුපියන්ට පැමිණි කටයුත්ත දරුවන්ට භාරවේ දැ’යි සහාය ව රන් මල් කළහ. බඩාලාණෝත් වියත් සා විතර රන් මල් යෙළ යාළක් කොට ලා ධාතු නිධානයෙහි ලා ලා තෙත් පිළී හා තෙත් ඉස කේ ඇති ව බුදුන් ක්‍ෂමා කැරවූහ. ක්‍ෂමා කරවීම නිසා ප්‍රතිසන්ධි විපාක ය නැති වුව ත් ප්‍රවෘත්ති විපාක බලයෙන් ආදිත් සවාරෙක ඉපැද ඉපැද ලා දියෙන් ගියහ. කෙළවර අත් බැව ය. පසු ව විපාක දී පියන්ට අවසරයක් නැති හෙයින් රහත් වන ජාතියෙ ත් ඉපැද ලා දියෙන් ගියහ. ඒ අකුශල විපාකය ත් ගෙවිණ. යම් සේ උන්ගේ දරුවෝ දෙන්නෙක් රන් මල් කිරීමට නොලැබුණා වූ නම් රන් පර්‍වත ය උන් දෙන්නාට නො ලැබිණ. ජටිල සිටාණන් හා බාල පුතණුවන් රන් මල් එක් ව කළ බැවින් රන් පර්‍වතයක් එක් ව උපන.

මෙ සේ ජටිල සිටාණෝ පුතුන්ට මාලු කම් කියා ලා බුදුන් ළඟ මහණ ව කීප දවසකින් ම රහත් වූහ. බුදුහු එක් කලෙක පන් සියයක් දෙනා වහන්සේ හැර ගෙන සිඟා වඩනා සේක් ජටිල තෙරුන් වහන්සේගේ පුතුන් තුන් දෙනාගේ ගෙට සිඟා වැඩි සේක. උයිත් බුදුපාමොක් මහ සඟනට දෙපෝයක් මුළුල්ලේ මහදන් දුන්හ. වහන්දෑ ද එක් දවසක් ධම් සෙබෙයි දී ජටිල තෙරුන් වහන්සේ බණවා ලා ‘ඇවැත්නි, අසූ රියන් රන් පර්වතයෙහි ත් පුතුන් තුන් දෙනා කෙරෙහි ත් ඇලුම නැත් දැ’ යි විචාළ සේක. ‘මට එ බන්දෙක් නැතැ’ යි කී කල්හි වහන්දෑ ‘නැත කියා රහත් නියා ව හඟවන නියාදැ’යි කී සේක. බුදුහු ඒ අසා වදාරා ඔබට තෘෂ්ණාව කුමකු ත් නැති නියා ව හඟවන්ට බණ වදාරණ සේක් යම් කෙනෙක් රූපාදි වූ සාරමුණෙහි සදොරින් පවත්නා තෘෂ්ණාව හැර ගිහිගෙන් නික්ම මහණ වූද, මහණ ව රහත් වීමෙන් භවක්‍ෂය කළා වූ ඔහු උතුමැ’ යි කියමී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටුහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ජටිල සිටාණන් අසූ රියන් රන් පර්‍වතය පටන් මහා සම්පත් හැර ගොසින් මහණ ව භව ක්‍ෂය කළා සේම භව ක්‍ෂයට ම උත්සාහ කටයුතු.

  1. සංගත

  2. දෙන්නා ම