තව ද පින් කම හැසිරෙන්ට මැළියවුන්ට උත්සාහ වඩනා නිසා ජටිල තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
යට ගිය දවස බරණැස් නුවර කෙළෙඹියෝ දෙ බෑ කෙනෙක් මහත් කොට උක් සේනක් කැරවූහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනට ගොසින් උක් සේන බලා පියා බෑණන්ට උක් දණ්ඩක් හා තමන්ට උක් දණ්ඩක් හා කපා ගෙන උක් පැන් පෙරී නො වැගිරෙන ලෙසට කපාපී මූණත් පත් වසා බැඳ ලා අල්වා ගත්හ. එ කල උක් දඬු යත දී මැඬ මැනැවැ යි නැත. උක් දඬු කපා ලා අග හෝ මුල හෝ පාත් කොට එල්වා ගත් කල්හි ඩබරාවකින් වැගිරෙන පරිද්දෙන් උක් වසල්ල පමණක් තිබැ දී උක් පැන් තෙමේ ම පාත තුබූ වළඳට වැගිරෙයි. ඒ කෙළෙඹියාණන් උක් සේනෙන් උක් දඬු කපා ගෙන එන වේලාට හිමව්පියස ගඳ මහන් පවුවෙහි නන්‍ද මූලක නම් ලෙන වසන පසේ බුදු කෙනකුන් වහන්සේ සතියක් මුළුල්ලෙහි නිරෝධ සමාපත්තියට සම වැදී ලා එයින් නැඟී ‘අද කවුරුන්ට සඞ්ග්‍රහයක් කෙරෙම් දෝ හෝ”යි පරීක්‍ෂා කොට උක් දඬු දෙක ගෙණෙමින් සිටි තැනැත්තවුන් තමන් වහන්සේගේ නුවණ දැළ බැඳුණු නියාව ත් සංග්‍රහ කරන්ට සමර්ථ නියාව ත් දැන පාසිවුරු හැර ගෙන අහසින් වැඩ උන්ට ඉදිරි ව ලා වැඩ සිටි සේක.
උයි ත් ඔබ දැක තෙල් ගා පහන් කළ පහනක් මෙන් පහන් සිත් ඇති ව උස් තැනෙක උතුරු සළුව අතුට ‘ස්වාමීනි, වැඩ හිඳිනේ යහපතැ’ යි පසේ බුදුන් වහන්සේ වඩා හිඳුවා ලා පාත්‍ර ය නම්වා ඔබ ලවා ම වාවාගෙන උක් දණ්ඩේ වසා බැඳ ලූ පත උනා පියා පාත්‍ර ය මුදුනට කළහ. උක් පැනු ත් බැස පාත්‍ර ය පිරිණ. පසේ බුදුන් වහන්සේ උක් පැන් වළඳා පී කල්හි කෙළෙඹියාණෝ සමාධි ව උක් පැන් රස දන්නා සේම පින්කමත් රස දැන ගෙන ‘ඉදින් අපගේ බෑණන් වහන්සේ උක් දඬු පිළිගන්වා ලූ නියාවට මිල ගන්නා සේක් වී නම් මිල දී පියමි. ඊ පින්කම මට ම වූවා වෙ යි. දී ලූ දෙයෙහි සිත පහදවා ගෙන පින් හැර ගන්නා සේක් වී නම් පින් දී පියමි. එ කල පින්කම දෙ පක්‍ෂයට වූවා වෙයි’ සිතා ගෙන ‘ස්වාමීනි, තවත් පාත්‍රය නමා වදාළ යහපතැ’යි අනික් උක් දණ්ඩෙ ත් පත උනා පියා උක් පැනින් පාත්‍ර ය පුරා ලූහ. ‘අපගේ බෑණන් වහන්සේ උක් සේනේ උක් දඬු ඇති බැවින් අනික් උක් දණ්ඩක් ගෙන්වා ගෙන කන සේක. මේ උක් දණ්ඩ මා ගෙනා නියාව ත් දන් දුන් නියාව ත් නො දන්නා සේකැ’යි මේ විචර වඤ්චා සිතකු ත් අදහස ඉතා පවිත්‍ර බැවින් හට නො ගත්තේ ය.
පසේ බුදුන් වහන්සේ ද උක් පැන් පළමු වළඳා පී හෙයින් පසු ව ලත් උක් පැන් පාත්‍ර ය උක් පැන් නොලත් සෙසු පසේ බුදුවරුන් වහන්සේට දෙනු කැමැතිව පැන් පාත්‍ර ය අල්වා ගෙන වැඩ හුන් සේක. කෙළෙඹියාණෝ ද පිළිගත් ලෙසින් හා අල්වා ගෙන වැඩ හිඳිනා ලෙසින් ම ඔබ්බකට පිළිගන්වන්ට සිතා වැඩ හිඳිනා නියාව දැන ගෙන පසඟ පිහිටුවා වැඳ ලා ‘ස්වාමීනි, මා පිළිගන්වා ලූ උක් පැනෙයි අනුසසින් දෙව් මිනිස් සැප ත් වළඳා කෙළවර මුඹ වහන්සේට සම්භ වූ නිවන් රස මට ත් සම්භ වේව’යි පතා ගත්හ. පසේ බුදුන් වහන්සේ ත් ඒ එ සේ ම වේව’යි වදාරා තමන් වහන්සේ ගඳ මහන් පව්වට වඩනා තෙක් කෙළෙඹියාණන්ට පෙනෙන ලෙසට ඉටා ලා අහසින් ගඳ මහන් පවුවට ම වැඩ උක් පැන් පාත්‍ර ය පන්සියයක් පසේ බුදුන්ට බෙදා දුන් සේක. කෙළෙඹියාණන්ට පින්කම මඳ නූවා සේ ම උක් පැනුත් මඳ නො වී ය.
කෙළෙඹියාණෝ ද ඒ පෙළහැර[1] දැක බලවත් ව සතුටු ව බෑණන් ළඟට ගොසින් ‘කොයි ගියා දැ’යි විචාළ කල්හි උක් සේන බලන්ට ගිය නියාව කිවුය. ‘නොගිය කල කුම් වුවත් උක් සේනට ගිය කල උක් දඬු එකක් දෙකක් ගෙනව මනා නො වේ දැ’යි කී කල්හි “එසේය, උක් සේනට ගිය ගමනේ මුඹ වහන්සේට උක් දණ්ඩක් හා මට උක් දණ්ඩක් හා ගෙනාමි. අතුරු මඟදී එක් පසේ බුදු කෙනකුන් වහන්සේ දැක මට ගෙනා උක් දණ්ඩේ පැන් ඔබට ම පිළිගන්වා පියා ‘සැදෑ සිත් නැති ව මිල ගන්නා සේක් වී නම් මිල දී පියා පින්කම මට ම කොට ගනිමි. දුන් දෙයෙහි සිත පහදවා පින් ඉල්ලූ සේක් වී නම් පින් දී පියමි. එ සේ කල ඒ පින්කම මුඹ වහන්සේට ත් මට ත් වන්නේ ය’යි මුඹ වහන්සේට ගෙනා උක් දණ්ඩේ පැනු ත් ඔබට ම පිළිගන්වා පීමී කුමක් ද? ඊට මිල හැර ගන්නේ ඇත් ද? නො හොත් පින් හැර ගන්නේ ඇත් දැ’යි විචාළහ. ‘වන්නාට උක් පැන් දෙවිටක් කොට දුන්නාවාද පසේ බුදුහු ඊට කුමක් කළ සේක් දැ’යි විචාළෝ ය.
මාගේ උක් දණ්ඩේ පැන් තමන් වහන්සේ වළඳා ලා මුඹ වහන්සේට ගෙනෙන උක් දණ්ඩේ පැන් පිළිගෙන ආසින් ගඳ මහන් පවුවට වැඩ පන්සියයක් පසේ බුදුන් වහන්සේට බෙදා පිළිගැන්නූ සේක. ඒ පින්කම මුඹ වහන්සේට ත් මට ත් නො මඳ ව බෙදුණා සේම උක් පැන් පාත්‍රය ත් පන්සියයක් පසේ බුදුන්ට නො මඳ ව බෙදුණැ’ යි කිවු ය. වැඩි මාලු කෙළෙඹියාණෝ ද ඒ කියත් කියත් ප්‍රීතීන් පිනා ගොසින් ‘මට භව සම්පත්තීන් කම් නැත. නිවන් දකිම්ව’ යි නිවන් පතා ගත්හ. මලණුවෝ දෙව් සැපත් හා මිනිස් සැපත් හා නිවන් සැප ත් හා තුන පැතූහ. බෑණෝ නිවන් සැප පැතීමෙන් ම භව සැපතු ත් එන හෙයින් නිවන් සැපත් ම පැතූහ. මේ උන්ගේ ඒ අවධියේ කළ පින්කම. ඔහු ආයු පමණින් සිට එයින් සැව දෙව්ලොව ඉපැද එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දෙව්ලොව ම දවස් යවූහ.
උන් දෙව්ලොව වසන කල ම විපස්සී නම් බුදුහු ලොව උපන් සේක. ඒ දෙ බෑයෝ ත් දෙව් ලොවින් සැව බන්ධුමතී නුවර එක් කුල ගෙයක වැඩි මාලු තැනැත්තෝ වැඩි මාලුව ත් බාල තැනැත්තෝ බාලවත් දෙබෑ ව ම උපන්හ. ඉන් වැඩි මාලු තැනැත්තන්ට සේන ය’ යි නම් තුබූහ. බාල තැනැත්තන්ට අපරාජිත ය’ යි නම් තුබූහ. උන් දෙන්නා වැඩි විය පැමිණි කල්හි තුනුරුවන් ලොව පහළ වූ සේක. ‘දන් දෙව, පින් කරව, අද අට වක් පොහොය ය, අද තුදුස් වක් පොහොය ය, අද පසළොස් වක් පොහොය ය. පෙහෙ වව, බණ අසව, යනාදීන් පින්කම යොදා ඇවිදිති. එ සේ කියා ඇවිදිනවුන්ගේ විධාන ත් අසා බොහෝ දෙන පෙරවරු දවස් දන් දී ලා පස්වරු වේලාට බණ අසන්ට යන්නවුනු ත් දැක මහා සේන නම් කෙළෙඹියාණෝ ද ‘කොයි යවු දැ’ යි විචාළහ. බුදුන් කරා බණ අසන්ට යම්හ’ යි කී කල්හි ‘මම ත් එමි’ යි කියා ලා උන් හා සමග ම ගොසින් බණ අසනු නිසා පිරිස් කෙළවර හුන්හ. බුදුහු ත් උන්ගේ අදහස් දැන පිළිවෙළ කථාව වදාළ සේක. ඔහුත් බුදුන්ගේ බණ අසා මහණ වීමෙහි රුචි ඇති ව මහණ කරන්ට බුදුන්ට ආරාධනා කළහ.[2]
බුදුහුත් ‘අනු දත මනා නෑයෝ ඇද්දැ’ යි විචාරා ‘ඇතැ යි කී කල්හි එ සේ වී නම් උන්ට කියා ලා එව’ යි වදාළ සේක. උයිත් මලණුවන් ළඟට ගොසින් ‘අප සන්තක සියල්ලෙක් ඇත්නම් මෙතෙක් කල් දෙන්නා සන්තක ව තුබූ ව ත් මෙ වක් පට තොපි ප්‍රයෝජන විඳුව, තොපට ම ය’ යි කීහ. මුඹ වහන්සේ නැ’ යි විචාළ කල්හි ‘මම බුදුන් ළඟ මහණ වෙමී’ යි කී ය. ‘ස්වාමීනි, කුමක් කියන නියා ද? දෙමවුපිය දෙදෙනා නැත ත් බෑණන් වහන්සේ හෙයින් දෙමවුපිය තරමේ සිටි සේක. අපගේ සම්පත් සුඟෙක් නො වෙයි. මට මතු බොහෝව. ගිහි ගෙයි රඳාත් පින් කටහැක්ක. මා තනි[3] කොට ලා මහණ නූව මැනැවැ’ යි කිවුය. ‘මලණ්ඩ, බුදුන් ගෙන් බණ ඇසීමි. ඒ බණ ගිහි ගෙයි රඳා පුරා ලිය නොහැක්ක. මම මහණ වෙම්මැ’යි කියා ලා සම්පත මලණුවන්ට නිල කොට ලා බුදුන් ළඟ මහණ ව මාලු පැවිද්ද ත් ලදින් නො බොහෝ කලකින්ම පැතුවා නිවන් සම්පත් ම හෙයින් රහත් වූ සේක.
මලණුවෝ ද ‘මහණ වූ පූජාව කෙරෙමි’ යි සතියක් මුළුල්ලෙහි බුදු සඟනට මහ දන් දී ලා සතිය කෙළවර බෑණන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ සසර දුකින් මිදී රහත් වූ සේක. මම පස් කම් ගුණෙහි ඇලී වසන හෙයින් ඇවිත් මහණ විය ත් නො හෙමි. ගිහි ගේ නම් ධ්‍යාන භාවනාවට ස්ථාන නො ව ත් ගිහි ව කළ මනා පින් කම් මට වදාළ යහපතැ’ යි කිවු ය. ඒ අසා තෙරුන් වහන්සේ ‘නුවණැත්තාණෙනි, බුදුන් වසන ලෙසට ගඳකිළියක් කරව’යි වදාළ සේක.
උයි ත් යහපතැ යි ගිවිස දැව පෝරු ආදිවූ නො එක් දඬු පත් ගෙන්වා ගෙන වඩුවන් ලවා සස්වා පියා එක් ටැඹෙක රන් බදවා ය, එක් ටැඹෙක මැණික් ඔබ්බවා ය යි මේ නියායෙන් දැව ආදී වූ දඬු පත් මුළුල්ලෙහි ම රුවන් කර්මාන්ත කරවා ඉන් ගඳ කිළිය කරවා ලා සත් රුවන් ඔබ්බවා කැරැවූ උළින් සොයවා ලූහ.
ගඳ කිළිය කරවන කල්හි අපරාජිත නම් වූ බෑනණු කෙනෙක් ඒ කරවන පින්කම තමනුත් මුසු කරන්ට කිවු ය. ‘නෑ කම නෑ කම් මය. මේ නියා පින්කම් තනි ව කරත් මුත් අනික් කෙනකුන් මුසු නො කරමි’යි කිවු ය. උයි ත් මුසු වන්ට උත්සාහ කොට වෙහෙසී පියා මුසු ව ගත නො හී ගඳ කිළියට ඉදිරියෙහි කුඤ්ජර ශාලා නම් වූ වැඩ හිඳ බණ වදාරන ලෙසට මණ්ඩපයෙක් වී නම් යහපතැ යි සත් රුවනින් විසිතුරු කොට කුඤ්ජර ශාලා නම් වූ සුධම් දෙව් සබයට අපහාස කරන්නාක් වැනි වූ මණ්ඩපයක් කරවා ලූහ. ඌ අපගේ බුදුන් සමයෙහි මෙණ්ඩක නම් වූ සිටු වූහ.
ගඳ කිළියෙහි ත් සත් රුවන් මුවා වූ කවුළු දොර තුනකු ත් කැරැවූහ. ඊට ඉදිරි කොට ලා මඬ ඇති නො වන නිසා යටින් සුණුවම් කරවා ලා පොකුණු තුනකු ත් ඉදි කරවා සිවු දෑ සුවඳ පැන් පුරවා ලා අපරාජිත නම් වූ සිටු පුත්හු පස් වනක් පියුම් ගස් ඇති කැරැවූහ. කුමක් නිසාද යත් - බුදුන් ඇතුළු ගඳකිළියේ වැඩ හුන් වේලාට සුළං හමා ලා රේණු සලා ගොසින් ඇඟ වැද ගන්නා නිසා ය. ගඳ කිළියේ කොත් කැරැල්ලේ බිබුළ රත්රන්ම ය ය. කැරැල්ල පබළු ම ය ය. කොත් කැරැල්ලට පාත සොයා ලූ උළු ඉඳුනිල්මුවා ය. මෙ සේ ඒ ගඳ කිළිය පිල් සත් විදහා ගෙන නටන මොනරකු මෙන් ඉතා හොබ්බි. සත් රුවනින් මහත්ව තිබෙන දෙයක් පොඩි කරවා පියා සීන් ව තිබෙන දෙය එ ලෙසින් ම හැර ගෙන ගඳ කිළි ය වට මළුව හැර ලා බඳවා ලූ පවුරු වළල්ල හස්සේ පය ඔබාලූ කලට දන දක්වා එරී යන තරමේ සත් රුවන් පුරවා ලූහ.
මෙසේ ගඳ කිළි ය කරවා නිමවා ලා අපරාජිත නම් සිටු පුත්හු බෑණන් වහන්සේ ළඟට ගොසින් ‘ස්වාමීනි, ගඳ කිළි ය කරවා නිමවා ලීමි. ප්‍රයෝජන වුන[4] කල වේ ද මට පින් පිරෙන්නේය. ඒ ලෙසක් වුව යහපතැ’යි කිවු ය. තෙරුන් වහන්සේ ද බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මේ අපගේ මල් සිටු පුත්හු ගඳ කිළි ය කරවා නිමවා ලා මුඹ වහන්සේ ප්‍රයෝජන විඳිනා කැමැති ව කියතී වදාළ සේක. බුදුහු ත් හුනස්නෙන් නැඟී ගඳ කිළි පිරිවෙණ කරා වැඩමවා ලා ලූ සත් රුවන් බලා ඇතුළු මළුවේ පය නො තබා දොරටුවේම වැඩ සිටි සේක. වැඩි සිටි නියාව බලා බුදුන් ගේ අදහස දත නො හී වඩනට ආරාධනා කළහ.
බුදුහු නො වැඩ සිටි සේක් ම ය. තුන් විටක් දක්වා වඩනට ආරාධනා කළ කලට බුදුහු උන්ගේ බෑණ තෙරුන් වහන්සේගේ මූණ බැලූ සේක. බලා වදාළ ලෙසින් ම ඔබ අදහස දැන ගෙන මල් සිටාණන් බණවා ලා ‘තෙල සත් රුවනේ රකවල් තොප පිළිබඳ කොට ගෙන සුව සේ වැඩ වදාරන්ට ආරාධනා කරව’යි වදාළ සේක. උයි ත් ඔබ ගේ බස් අසා බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ලා ස්වාමීනි, යම් සේ මිනිස්සු රුප්පයක වැද හෙවලා ඊට ආලයක් නැති ව පලා යෙත් ද, හොරු-අඟුළු ආදියට නැඟී ලා ගඟින්-හොයින් ඵ් තෙර වූවාහු යම් සේ ඊ ආලයක් නැති ව පලා යෙත් ද, එ පරිද්දෙන් මුඹ වහන්සේ ත් තිලින් කුමක ත් ඇලුම් නො කොට විසු ව මැනවැ’යි කිවු ය.
බුදුන් ගේ පත්ල නම් සෙස්සක් නො මිරිකා රුවන් ම මිරිකන්ට නිසි වුව ගඳ කිළියට රුවන් ම මිරිකා ගෙන නො වැඩ සිටියේ හැයි ද යත්- ‘සර්වඥවරයන් හුන් තැනට නම් බොහෝ දෙන පෙරවරු ත් පස්වරු ත් එති. ආ ආවුන් නිරායාස ව තුබූ රුවන් උකා ගෙන යන කලට වලකා ලන්ට අපට බැරි ය. පිරිවෙණ මෙතෙක් රුවන් ලවා ලූවා තමන් වහන්සේ ගේ උපාසකවරුන් ගෙන යන නියාව බල බලා ත් නවතා නූපු සේකැ’යි සිටු පුත් මා කෙරේ මුසුප්පු ඇති ව ඇතුළ යාන් තිබැ දී[5] දඬු මැසිවල වැද හෙව දුක් විඳිනා සේ, මාළිගා තිබැදී රුප්පාවල වැද හෝනා සේ මී නියා පින්කමක් කොටත් බොහෝ නිරා දුක් විඳී. ඌ එයින් නවතා ලුව මැනැවැ’යි මෙ තෙක් කාරණ සලකා වැඩ සිටි සේක. උන් ‘රකවල් මට ම භාර ය. වඩනා යහපතැ’යි ආරාධනා කළ කල්හි වැඩි සේක.
සිටු පුත්‍රයාණෝ දසත් රුවනට රකවල් ලවා ලා රකවල සිටිය වුන්ට ‘මලු පෙට්ටිවල ලා ගෙන වේව යි හිණ ලා ගෙන වේව යි යන කෙනෙක් ඇත් නම් ගෙන යා නො දෙව. අතින් මිටින් පමණක් ගෙන යන්නවුන් නො නවතව’යි විධාන කළහ. ඇතුළු නුවර ඇත්තවුන්ට ත් ‘ගඳකිළි පිරිවෙණ දන පමණ සත් රුවන් ලවා ලීමි. බුදුන් ළඟට ගොසින් බණ අසා පියා යන දුක්පතුන් දෑත ගන්නා පමණක් උකා ගෙන යන බව ය. පෝසතුන් දෑතින් ගෙන යන්ට බැරි ය. එක් අතකින් එක විට හැර ගත්දෙය මුත් වඩා නොගෙන ගිය මැනැවැ’යි විධාන කළහ.
මෙ ලෙස විධාන කෙළේ හැයි ද යත් - සැදෑ ඇති කෙනෙක් සැදෑයෙන් බණ අසා සසර දුක් ගෙවති. සැදෑ නැත්තෝ වස්තු ලෝභයෙන් වුව ත් පණ අසා සසර දුකින් මිදෙති. සත්‍වෝපකාර ය ඇත මනා වේ දැ’යි මෙ ලෙස විධාන කළහ. බොහෝ දෙන ත් උන් ගේ විධාන ලෙසට රුවන් හැර ගන්ට වන්හ. එක් වරෙක ලවා ලූ රුවන් නිමි කලට නිමි නිමි සේ තුන් වාරයක් දක්වා දණ පමණ රුවන් ලැවූහ. බුදුන් පා මුල තියඹරාවක් සා අනැඟි මැණිකක් තබ්බවා ලූහ. ඒ කුමක් නිසා තැබ්බු ද යත් - බුදුන් ඇඟින් නික්මෙන රසු ත් මැණිකෙන් නික්මෙන රසුත් එක් වූ කලට වයිතියක් බිත කළ සිත්තමක් සේ බලා ඇස් ඇද්ද නො හැක්කේ වේ දැ’යි සිතා ය. බොහෝ දෙන ත් විඳ විඳ බලති.
ඉක්බිත්තෙන් එක් දවසක් මිථ්‍යාදෘෂ්ටික වූ බමුණෙක් බුදුන් පා මුල තුබූ අනගි මැණික හැර ගනිමි යි වෙහෙරට ගොසින් බුදුන් වඳනට යන්නවුන් ලා කැටි ව තෙමේ ත් ළං විය. සිටාණෝ ද එන සැටියෙන්ම මැණික හැර ගන්නා කැමැති ව එන නියා ව සලකා ලා මැණික හැර නො ගත්තු නම් යහපතැ’යි සිතූහ. එයි ත් බුදුන්ට වඳනා එකක්හු මෙන් මහෞෂධ පණ්ඩිත අවස්ථාවෙහි පා මුල තුබූ මැණික හැර ගත් අභ්‍යාසයට කෙවට්ට යන් කළ දෙයක් මෙන් අත පොවා ලා මැණික හැර ගෙන හිණ තබා ගෙන පලා ගියහ. ඒ සිටාණෝ එ තෙක් රුවන් උකා යන්නවුන් කෙරෙහි මුසුප්පුවක් නුවූවත් ඒ මැණික ගත් බමුණා කෙරෙහි සිත පහදවා ගත නුහුණුවු ය.
බණ වදාරා කෙළවර බුදුන් ළඟට ගොසින් ‘ස්වාමීනි, ගඳකිළිය වට කොට තුන් වාරයක් කොට දන පමණ සත් රුවන් ලවා ලූවා උකා ගනිත ත් මුසුප්පුවක් නොවෙමි. හැර ගත් හැර ගත් සේම සතුටු වීමි. මේ එක මැණික හැරගත් එක බමුණා කෙරෙහි සිත පහදවා ගත නුහුණුයෙමි’යි කිවු ය. බුදුහු උන්ගේ බස් අසා ‘හැයි සිටාණෙනි, තමා සන්තක දෙය අනුන් නො කැමති කරවා හැර ගත නොහැකි ලෙසට කට නොහැකි දැ’ යි වදාළ සේක. උයි ත් බුදුන් වදාළ උපදෙස දැන ගෙන බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මෙ වක් පටන් මා සතු දාහු වෑලයක් පමණක් මා නො කැමැති කරවා රජ දරු කෙනෙක් වත් සොර කෙනෙක් වත් හැර ගත නො හෙත්ව යි. මා සන්තක දෙය ගින්නෙනුත් නො දවයි, දියෙනුත් නො නසීව’ යි පතා ගත්හ. බුදුහු ත් ඒ එ සේ ම වේව’යි වදාළ සේක. සිටාණෝ ද ගඳ කිළිය නිමි පූජාව කර වන්නෝ එක් ලක්‍ෂ අට සැට දහසක් වහන්දෑ වෙහෙර ම වඩා හිඳුවා නව මසක් මුළුල්ලෙහි මහ දන් දී කෙළවර හැම තැනව සිවුරු පිළී දුන්හ. බාල නමට පැමිණි සිවුරු පිළී මසු දහසක් අග්ගි.
ඒ සිටාණෝ ද දිවි පමණින් පින්කම් කොට එයින් සැව දෙව්ලොව ඉපැද විපස්සී බුදුන් සමයේ පටන් අප ගේ බුදුන් දක්වා එකානූ කප මුළුල්ලෙහි දෙව් මිනිස් සැපත් වළඳා මේ අපගේ බුදුන් සමයෙහි නිවන් සම්පත් විඳුනා නිසා රජගහා නුවර එක් සිටු කුලයෙක පිළිසිඳ ගෙන නව මස් දෙ පෝයක් මවු කුස විසූහ. මවු කුසින් බිහි වූ දවස් නුවර මුළුල්ලෙහි ආයුධ දිලිහී ගියේ ය. සියල්ලවුන් පළන් ආභරණත් බබළා ගියේ ය. සියලු නුවර ඒකාලෝක විය. සිටාණෝ ද උදාසන රජ්ජුරුවන් දක්නට ගියහ.
බිම්සර මහ රජ්ජුරුවෝ ද ආයුධ දිළියෙන්ට ත් ආභරණ බබළන්ට ත් කාරණ සිටාණන් අතින් විචාළහ. ‘ඊට කාරණ නම් ස්වාමීනි, අපගේ ගෙයි මුඹ වහන්සේගේ මිඬි පුතකු වදාපීව. ඌගේ කුශලානුභාවයෙන් තෙලෙ බන්දෙක් වී ය’යි කිවු ය. අංගුලිමාල යන්දෑත් උපන් දවස් එසේ ම වූ හෙයින් සොර වන් නිසා දැ’ යි විචාළහ. රජ්ජුරුවන් වහන්ස, ඵ සේ වූ දෙයෙක් නැත. මහ පිනැත්තෝ ය. ඒ නිසා වී ය’යි කිවු ය. ‘එ සේ වී නම් යහපත් කොට වඩවයි. කිරි මිල වුවමනා වේ දැ’යි දවස් පතා මසු දහසක් දෙවති. උන්ට නම් තබන දවස් නුවර මුළුල්ල බබළා ගිය හෙයින් ජෝතිය යන නම් තුබූහ.
උන් වැඩිවිය පැමිණි කල්හි හිඳිනා ගෙවල් කරවන්ට බිම් බලන ඉදි කරන කල්හි සක් දෙවිඳුහු ගේ හස්න හුණු වි ය. සක් දෙවිඳු ද හස්න හුණු වීමට කාරණ විමසන්නෝ ජෝතිය කුමාරයන්ට ගෙබිම් ඉදි කෙරෙති. විදර්ශී බුදුන්ට උන් කරවා දී ලූ ගඳ කිළිය මිනිසුන් කළ ගෙවල වැඩ හිඳිනා තරමට නො වෙ යි. මාත් ඔබ ගිය මැනවැ’යි වඩු වෙසක් මවාගෙන එ තැනට ගොසින් එ තැන කර්මාන්ත කරන්නවුන්ට නොදන්නා බඳු ව ලා කුමක් කරවු ද’යි කිවු ය. ‘ජෝතිය කුමාරයන්ට ගෙබිමක් කරම් හ’ යි කී කල්හි ‘තෙපි හැම ඉවත් වව. තොප කළ ගෙවල හිඳුනෝ නො වෙති’යි කියා ලා බිජුවට සඞ්ඛ්‍යාවෙන් තුන් යාළ සතරමුණක් වජ්යන බිම් පියස බලා ලූහ. ඒ බිම් පියස ත් ඇසිල්ලෙහි කිසුණු මඬුල්ලක් මෙන් සමතල වී ය. නැවත මෙ පමණ තැන මහ පොළව පලාගෙන සත් රුවන් මුවා සත් මාල් පායෙක් නැගේ ව’යි සිතා ලා බැලූ ය.
ශක්‍රයන් ගේ ශක්‍රානුභාවයට වත්තමක් ව[6] ජෝතිය කුමාරයන්ගේ කුශලානුභාවයෙන් ශක්‍රයන් සිතූ තරම් මාළිගාව පැන නැංග. නැවත ‘මේ මාළිගාව මධ්‍ය කොට හාත්පසින් සත් රුවන් මුවා පවුරු වළලු සතෙක් නැඟේව’යි සිතා ලා බැලූහ. සත් රුවන් මුවා එ සේ වූ පවුරු වළලු සතෙක් නැංග. ‘පවුරු සත ගාවා කප් රුක් නැඟේව’යි සිතා ලා බැලූ කලට කප් රුකු ත් නැංග. ‘මාළිගාවට සතර කොන නිධාන සැළ සතරක් නැඟේව යි සිතා ලා බැලූ කලට විපස්සී බුදුන් සමයෙහි ගඳ කිළි ය වට කොට තුන් වාරයක් විතර ලවා ලූ සත් රුවන් උකා ගත්තවුන්ගෙන් හැර ගෙන පුරා තබා ලූවක් මෙන් නිධාන සැළ සතරෙක් නැංගේ ය. ඊ එක් සැලෙක උස ගවුවක් විතර ය. එ කෙක උස දෙ ගවුවක් විතර ය. එකෙක උස තුන් ගවුවක් විතර ය. එකෙක උස සතර ගවුවක් විතර ය. මුව විට පළල කීයේ නැත. බොධිසත්‍ව යන්ට නැංගා වූ නිධාන සැළවල මුව විටි පළලය. උස කලී නව ලක්‍ෂ සැට දහසක් ගවු පමණය. සැළ සතර ම මැඳ කැපූ තල් පැනෙයි ඇසී[7] පිරී සිටිනා සේ සත් රුවන් පිරී තිබෙයි. මාළිගාවට සතර කොන පසේ බුදුන් වහන්සේට දී ලූ උක්පැනෙයි අමුඛ්‍ය විපාක හඟවමින් හිමාල ය වනයෙහි උක් දඬු තරමට ත් මහත් ව නාඹ තල් කඳ සා ව පොළෝ පල්ලෙහි ඇති රස ඕජාවක් ඇත් නම් උක් දඬු ලෙසින් නැඟි ලෙසට ඝන රන්මුවා උක් දඬු සතරෙක් නැංග. උක් කොළ ඉඳුනිල් මිනිමුවා ය. පුරුක් රිදී මුවා ය. දොරටු සතේ ප්‍රධාන යක්‍ෂයෝ සත් දෙනෙක් රකවල් ගත්හ.
පළමු වන දොරටුයෙහි යමචොලි නම් යක්‍ෂයා තමා ගේ පිරි වර යක්‍ෂයන් දහස හා සමග රකවල් ගත. දෙ වන දොරටුවෙහි ඉපුල නම් යක්‍ෂයා තමාගේ පිරිවර යකුන් දෙ දහසක් හැර ගෙන රකවල් ගත. තුන් වන දොරටුවෙහි වජිර නම් යක්‍ෂයා තමා ගේ පිරිවර යකුන් තුන් දහසක් ගෙන රකවල් ගත. සතර වන දොරටුවෙහි වජිරබාහු නම් යක්‍ෂයා තමා ගේ පිරිවර යකුන් සාර දහසක් හැර ගෙන රකවල් ගත. පස් වන දොරටුවෙහි සකට නම් යක්‍ෂයා තමා ගේ පිරිවර යකුන් පන් දහසක් හැර ගෙන රකවල් ගත. ස වන දොරටුයෙහි කටච්ඡ නම් යක්‍ෂයා තමන් ගේ පිරිවර ස දාසක් යකුන් හැර ගෙන රකවල් ගත. සත් වන දොරටුවෙහි දිසාමුඛ නම් යක්‍ෂයා තමා ගේ පිරිවර සත් දහසක් යකුන් හැර ගෙන රකවල් ගත. මෙ සේ මාළිගාව ඇතුළ ත් පිට ත් රකවල් ගත් යකුන් බලවත් වි ය. ‘ජොතිය කුමාරයන්ට සත් රුවන් මුවා සත් මාල් මාළිගාවෙක් පොළොව පළා ගෙන පැන නැඟී හෙයින් මුත් විජයත් පාය අවුත් තුබුවා සේ පහළ විය. සත් රුවන්මුවා පවුරු සතක් හා දොරටු සතකු ත් පහළ වි ය. ‘නිධාන සැළ සතරකුත් නැංගේ ල’ යනු අසා බිම්සර මහ රජහු සිටු සේසත් යවූහ. එ වක් පටන් ජෝතිය සිටාණෝ ය’යි ප්‍රසිද්ධ වූහ.
උන් හා එක් ව පින් කළ උපාසිකාවෝ ද උතුරුකුරු දිව යින උපන්හ. දෙවියෝ උන් කැඳවාගෙන අවුත් සිටාණන් සැතපෙන ශ්‍රී යහන් ගබඩාවේ ලූහ. උයිත් එන ගමනේ උතුරු කුරු දිවයිනෙන් සාල් නැළියක් හා මැණික් ගල් තුනක් ගෙනා වුය. උන් දිවි පමණකට කෙතෙක් දෙනා වුව ත් ඒ සාල් නැළියම ඇත. ඉදින් ගැල් දහස් ගණනේ ත් සාල් පුරවනු කැමැත්තෝ වූ නම් ඒ ගැල් මුළුල්ල පුරා ලා සාල් නැළි ය සාල් නැළිය තරමේ ම සිට්ටි, බත් පිසන වේලේ දී සාල් නැළි ය සැළියේ ලා ලා මැණික් තුන ළිප් කැට තුනක් සේ තබා ලා සැළිය ඊ පිට තබා පිසති. මැණික් ගල් එ වෙලේ ම ගිනි ඇවිළ ලා බත් පැසී ගන්නා මැණික් ගල් නිවී යෙයි. ඒ සලකුණෙන් බත් පැසුණු නියාව දනිති. මාළු ආදි ය පිසන කලත් එම ලෙස ය. මෙලෙසින් උන්ට දර ගිනි නැතිව මැණික් ගලින් ම බත් මාළු ආදි ය පිසෙයි[8]. මැණික්වල ආලෝකයෙන් ම හිඳිති. ගින්නෙක ව ත් පානෙක ව ත් පෑය පමණකුත් නු දුටු විරූය.
ජෝතිය සිටාණන්ගේ සම්පත් මෙ බඳු ය’යි ඒ තරම් සම්පත් මිනිස් ලොව නැති හෙයින් දඹදිව මුළුල්ලෙහි ප්‍රසිද්ධ වි ය. බොහෝ දෙන ත් සම්පත් බලන්ට යෙති. සිටාණෝ ද ආ ආව වුන්ට උතුරුකුරු දිවයින සාල් නැළියෙන් බත් දෙති. කප් රුක්වලින් හෝ තුන් ගවුවක් පමණ උස ඇති නිධාන සැළින් හෝ කැමැති සම්පත් උකා ගන්ට විධාන කෙරෙති. සියලු දඹදිව් වැස්සන් කැමැති ලෙසින් වස්තු උකා ගෙන යත ත් විදර්ශී නම් බුදුන් සමයෙහි ගඳ කිළිය වටා තුන් වාරයෙක ලවා ලූ රුවන් හැර ගතත් අදහසෙහි අඩුවක් නූවා සේ ම නිධාන සැළින් අඟලක් විතර ත් අඩු නොවෙයි. කප් රුක්වල ත් අඩුව නො පෙනෙයි. මෙසේ බොහෝ දෙනා බොහෝ සම්පත් ගෙන යන කල්හි බිම්සර මහ රජහු උන්ගේ මාළිගාව දක්නා කැමති වත් මිනිසුන් ගේ එළඹීම බොහෝ හෙයින් අවසරයක් නො ලත්හ.
පසුව මිනිසුන් ගේ ගමන මඳ ව ගත් කලට රජ්ජුරුවෝ ජෝතිය සිටාණන් ගේ පියාණන්ට ‘තොපගේ පුතණුවන් ගේ මාළිගාව දක්නා කැමැත්තම්හ’යි කිවු ය. සිටාණෝ ද ‘යහපතැ’යි කියා රජ්ජුරුවන් වහන්සේ මුඹ ගේ මාළිගාව දක්නා කැමැති සේකැ’යි පුතණුවන්ට කීහ. ‘යහපත, වඩනා සේක්ව’යි කී කල්හි රජ්ජුරුවෝ ත් මහ පිරිවරින් ගියහ. පළමු වන දොරටුව පිස ගා ලා දමා සිටිනා කෙලී ගිය රජ්ජුරුවන් තමා අත එලී ගෙන එන දොරටුවට නැගෙන්ට අත දික් කොට ලුව. රජ්ජුරුවෝ ද කෙල්ල නියාව දත ත් ලජ්ජා ව වුව මනා තැන සිටාණන් ගේ ඇඹේණියෝ දෝ හෝයි සිතා ලජ්ජාවෙන් අත නො ඇල්වූහ. සිටාණන් ගේ වාසල් පිස කසළ දමන කෙල්ලන් පවා තෙල සේ නි කසළ කලට කවුරුන් වුවත් පවිත්‍ර අදහසින් පවිත්‍ර කොට පින් කටයුතු ය. අනික් දොරටු සය පිස කසළ දමන කෙල්ලනු ත් තමන් තමන්ගේ දොරටු කරා ගිය රජ්ජුරුවන්ට අත පොවන්නා ම සිටාණන්ගේ අඹු වනැ’යි සිතා ම අත නො අල්වන්නාහ. සත් වන දොරටුවට ගිය කලට ජෝතිය සිටාණෝ අවුත් වැඳ ලා සෙසු පින් කළ ත් රජ්ජුරුවන්ට පෙරාතු වන්ට නිසි පින් නො කළ හෙයින් තුමූ පසු ව රජ්ජුරුවන් පෙරාතු කළහ.
රජ්ජුරුවන්ට ත් මාළිගාවේ ඉඳුනිල් මිණිමුවා බිම සිය ගණන් බඹ විවරට ත් ගැඹුරු වළක් සේ වැටහිණ. රජ්ජුරුවෝ ත් ‘මා ආ ගමනේ අල්වනු නිසා වලක් කැණ වූ නියා ය’ යි සිතා ගත්හ. එ සේ සිතා ගෙන ලා ඇතුළු මාළිගාවට වදින්ට මැළි වූහ. සිටාණෝ ත් රජ්ජුරුවන් මැළිව උන් ගමනින් නො කීවත් වළෙකැ’යි සිතා භයින් ඇතුළු මාළිගාවට නො වදනා නියාව දැන ‘ස්වාමීනි, තෙල ලෙස පෙනෙන පමණක් මුත් වළෙක් නොවෙයි. මුඹ වහන්සේ පසු ව ගත මැනැවැ’යි රජ්ජුරුවන් පසු කොට ලා තුමූ පෙරාතු වූහ. රජ්ජුරුවෝ ද සිටාණන් පෙරාතු වන්නා තුමූ ත් සැක නැති ව වැද යට මාලේ පටන් මාළිගාව බලා ඇවිදිති.
එ කල නො ඉපැද ම බඩ හිඳිනා අවස්ථාවෙහි පිය රජ්ජුරුවන්ට සතුරු වූ හෙයින් අජාතසත්තු නම් කුමරහු පියාණන්ගේ ඇඟිල්ල අල්වා ගෙන ඇවිදිනා තැනැත්තෝ ‘අනේ, අපගේ පියාණන් වහන්සේ නුවණ නැති සේක. ඊටත් වඩා පින් මඳ සේක. ගොවි කුලෙහි උපන් තැනැත්තහු සත් රුවන් මුවා මාළිගාවල වසන තැන තමන් වහන්සේ දණ්ඩෙන් පතෙන් කළ ගෙවල හිඳිනා සේක. තමන්ගේ අඩු ව හඟවන්නා සේ ඒ බලන්ට ත් එන සේක. මම රජ වීම් නම් මුන් මේ ගෙයි හින්ද නොදෙමි” තමන් රජ කුලෙහි උපන් පමණක් හා උන් ගොවි කුලෙහි උපන් පමණක් සිතා ගෙන පින් කමින් උන් වඩනා නියාව නො සලකා තරම නපුරු සිතිවිල්ලක් සිතූහ.
රජ්ජුරුවනු ත් යට මාලේ පටන් මාලෙන් මාල බලා ඇවිදිනාවුන්ට දාවල් බත් අනුභව කරන වේලාව ආසන්න වි ය. රජ්ජුරුවෝ සිටාණන් බණවා ලා ‘ සිටාණෙනි, දාවල් බත මුබ දී අනුභව කරම්හ’යි කිවු ය. ‘පෙරවරු වේලේ මුබ වැඩි කල මුබ දී මේ නිම වන නියාව නො දනුමෝ ද? රජ්ජුරුවන් වහන්සේ මේ නිමවන්ට වසුනුත් රැස් පිරිසට බතුත් ඉදි කැරැවූයෙම් ය’යි කිවු ය. රජ්ජුරුවෝ ත් සුවඳ පැන් සොළොස් කළයක් විචරින් නා පියා සිටාණන් බත් අනුභව කරන සත් රුවන්මුවා මණ්ඩපයට ගොසින් උන් බත් කන්ට හිඳිනා පළඟ මත්තෙහි හුන්හ. රජ්ජුරුවන්ට ය යි වෙන නිල කළ සැරහුමෙක් නැත.
ඉක්බිත්තෙන් අත සෝධන්ට පැන් වත් කොට ලා මසු ලක්‍ෂයක් වටනා තළියක හුණු කිරි බත් ලා ලා කොරඬා බත් ලෙසට තබා ලූහ. රජ්ජුරුවෝ බත සැටියෙන් අනුභව කරන්ට ලා ලූ බතකැ’යි සිතා ලා අනුභව කරන්ට ආරම්භ කළහ. සිටාණෝ අනික් කෙනෙක් නම් සිනා සී පුව මනා තැන ‘ස්වාමීනි, තෙලේ මේ නිමවන්ට නිල කල බතෙක් නො වෙයි. කොරඬා බතට ලූවා ය. බත් තව ගෙනෙමින් සිටියෝ’යි කියාලා අනික් ඝන රන් තළියෙක බත් ලා ලා ආදි ගෙන ගොස් තුබූ කිරි බත් තළි ය මුදුනේ තබා ලූහ. එ ලෙස කෙළේ කුමක් නිසාද යත් - කිරි බතෙහි උණු ගුණ ය නිසා මුදුනෙහි තුබූ බත් අනුභව කරන්ට සැප හෙයිනි.
රජ්ජුරුවෝ ත් මධුරාහාරය අනුභව කරන තැනැත්තෝ එ දවසට කොසොල් රජ ව ගියා සේ පමණ දැන ගත නො හී අනුභවයට පටන් ගත්හ. සිටාණෝ රජ්ජුරුවන් විචරක් අනුභව කළ කලට වැඳ ලා දෝත මුදුනේ තබාගෙන සිට ‘ස්වාමීනි, තෙලේ විචරක් සෑහෙයි. වඩා වූවොත් දිරවා ලිය නො හැක්කැ’යි කිවුය. රජ්ජුරුවෝ සිටාණන් බත් සාහා ගත නො හී කීව’යි සිතා ලා ‘හැයි, සිටාණෙනි, අප බත් නො කෑ විරූවන් නො වත් තෙල ලෙස ම කියවුනැ’යි කිවු ය.
‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේගේ කෙ තෙක් රැස් පිරිස් ගෙනා සේක් වී නමුත් වෙන බත් මාලු ඉදි කැරවුව මැනැවැ’යි නැත. මේ බත් මාලු සෑහෙයි. එතකුදු වුවත් අයසක්[9] බා ය’යි කිවු ය. ‘කුමක් නිසා දැ’යි විචාළ කල්හි ‘ඉදින් රජ්ජුරුවන් වහන්සේට ව්‍යාධි පමණක් වුවත් රජ්ජුරුවන් වහන්සේ සිටාණන්ගේ ගෙයි දී මේ නිමවා ලා වැඩි සේක. මෙ ලෙසක් වූයේ සිටාණන් කළ දෙයක් වනැ’යි කියා බස උපදිතියි සිතා ය. බත් අරුමයකින් නො වෙයි” කීහ. ‘එ සේ වී නම් තළි ය ඉවත් කරව’යි කියා ලා තළි ය ඉවත් කරවා පියා අත සෝධා පීහ. රජ්ජුරුවන් මේ නිමවා ඉක් බිති රැස් වූ පිරිසු ත් බත් කෑහ.
රජ්ජුරුවෝ කථා කොට කොට හිඳ සිටාණන් බණවාලා ‘කුමක් ද? මේ ගෙයි සිටු දුවණි කෙනෙක් ඇත් ද නැත් දැ’යි විචාළෝ ය. ‘ඇතැ’යි කී කල්හි ‘කොයි දැ’ යි විචාළෝ ය. ශ්‍රී යහන් ගබඩාවේ හුන්හ. මුඹ වහන්සේ වැඩි නියා තව උන් දන්ට නැතැ’යි කීහ. ආත්ම ගර්වයකට කියා ලූ දෙයක් නො වෙයි. ඒ වේලා වනතුරු ත් ඌ තුමූ රජ්ජුරුවන් ආ නියා ව නො දනිත් ම ය. සිටාණෝද රජ්ජුරුවන් විචාළ ලෙසින්ම සිටු දුවණියන් දක්නා කැමැති නියා දැන උන් ළඟට ගොසින් ‘රජ්ජුරුවන් වහන්සේ වැඩි සේක. ගොසින් දුටු කල නපුරු දැ’යි කිවු ය. සිටු දුවණියෝ ද වැද හොත් තැනැත්තෝ නැඟීත් නො සිට ‘රජ්ජුරුවෝ නම් කවුරු දැ’යි කිවු ය.
‘රජ්ජුරුවෝ නම් තොපටත් අපට ත් නායක ව සිටිනා කෙනෙකැ’යි කී කල්හි නො සතුටු ව පියා ‘අනුන්ට අයති. වන ගමන් හීන පිනක් කළ නියා ය. දෙන දන ත් කම්පල අදහා දී ගත නුහුණුවමෝ වනුම්හ. කරන යම් පිනක් සිතින් නො සිතින් කළ නියා ය. ඉන් වේ ද දැන් යටත් වූවෝ ය. දැන් අප කළ මනා කුමක් දැ’යි විචාළහ. ‘තල් වැටක් හැරගෙන ගොසින් රජ්ජුරුවන් වහන්සේට ගිම් වේලා හෙයින් පත් සලව’යි කී ය. උයි ත් තල් වැටක් හැර ගෙන ගොසින් රජ්ජුරුවන්ට පත් සලන කලට රජ්ජුරුවන් නළල බැඳි රුවන් සෝළුවෙහි මැණික් ගල් ගිනිවර කළ හෙයින් ඊ තේජස සිටු දුවණියන් ඇසට පහළ. උන්ගේ ඇස් දෙකින් නො කළ විරූ මෙහෙයක් හෙයින් මුසුප්පුව හඬන්නා සේ කඳුළු ධාරා වැගිරෙන්ට වන. රජ්ජුරුවෝ ඒ දැක සිටාණන්ට ‘සිටාණෙනි, ගෑනු නම් මායම් දන්නා හෙයින් නුවණ මඳ ය. අප තමන් ගේ සම්පත් දැක හැර ගනිති’යි මුසුප්පු වෙන් හඬති යි සිතම්හ. අප සම්පත් බලන්ට ආ පමණක් මුත් හැර ගන්ට නො ආ නියාව කියා ලා අස්වසා ලවයි’ කීහ.
ඒ අසා සිටාණෝ ‘ස්වාමීනි, හඬන නියා නොවෙ’යි කීහ. ‘නොහඬන කල කඳුළු ධාරා වැගිරෙන්නේ හැයි දැ’යි කිවු ය. ‘තෙලෙ මුඹ වහන්සේ ගේ රුවන් සෝළුවෙහි මැණික් ගල්වල තේජස ඇස පැහැර ලා ඇසින් පැන් වැගිරෙයි. මූ තුමූ ගින්නක් වේවයි පහනක් වේව යි නොදැක මැණික් ආලෝකයෙන් ම දවස් යවති. මුඹ වහන්සේ රජ ව සිටත් පහන් ආලෝකයෙහි හිඳිනු නියා වේ දැ’යි කිවු ය. ‘එසේය, සිටාණෙනි’ කී කල්හි මෙ වක් පටන් පාන් ආලෝක ය හැර ලා මැණික් ආලෝකයෙහි හුන මැනවැ’යි කියා ලා එ වක බමුණා හැර ගත් මැණික හැර ගෙන තබා ගත්තා සේ තියඹරාවක් සා මහත ඇති මහඇඟි මැණිකක් දුන්හ. රජ්ජුරුවෝ ද සම්පත් බලා පියා ජෝතියයන්ගේ සම්පත් මහතැ යි විස්තර කොට ගෙන ගියහ.
මේ ජොතිය සිටාණන් ගේ උත්පත්ති කථාව ය.