303. සීවලී මහ තෙරුන් වහන්සේ ගේ වත

star_outline

තව ද තුනුරුවන් හි ගුණ මෙනෙහි කිරීමෙන් වන යහපත දක්වන්ට සීවලී මහ තෙරුන් වහන්සේ ගේ වත දක්වමු. කෙසේද යත් -

බුදුන්ගේ ම බන්ධු පක්ෂයෙහි වූ කෝලිය වංශයෙහි උපන් සුප්පවාසා නම් බිසවු සත් හවුරුදු සත් මස් සත් දවසක් දරු ගබ කුසින් උසුලා සත් දවසක් මුළුල්ලෙහි විළි ලන්නාහු ප්‍රශව වෙදනාව බලවත් හෙයින් “යම් බුදු කෙනකුන් වහන්සේ මෙබඳු දුක් නසන්ට බණ වදාරන සේක් වී නම් ඒ බුදුහු ත් සවුනේ ගෙවා දන්නා සේක. ඒ ධර්‍ම ය ත් ස්වාඛ්‍යාතාදී ගුණෙන් යුක්තය. මෙබඳු දුක් ම ගෙවන්ට පිළිපදනා වූ සඞ්ඝයා වහන්සේත් භව සම්පත් පතා පිළිපදනා පිළිපැදීමක් නොවන හෙයින් මනා ව පිළිපන් සේක.

‘යමක් නිසා මේ දුක් නසී නම් ඒ නිවනු ත් ඉතා සැප ය’යි මේ තුන සිතමින් දුක් ඉවසන්නාහු සමණන් බුදුන් ළඟට යව. උනුත් සුප්පවාසා නම් බිසොවුන්ගේ වැඳීමෙන් බුදුන් වැඳි කල්හි බුදුහු ත් ‘සුප්පවාසාවෝ නීරෝගී ව නීරෝගී පුතණු කෙනකුන් වදා පියත් ව’ යි වදාළ ඇසිල්ලෙහි තුමු ත් නීරෝගී ව තමන් සේ ම නීරෝගී පුතණු කෙනකුන් වදා පීහ. වදා පියා බුදු පාමොක් සඞ්ඝයා වහන්සේට ආරාධනා කොට ලා දුක් විඳපු සතියට සතියක් මුළුල්ලෙහි මහ දන් දුන්හ.

කුමාරයෝද උපන් දවස් පටන් ඩබරාව හැර ගෙන ගොසින් පැන් පරහා දෙති. පසු ව නොබෝ කලකින් මහණ ව රහත් වූ සේක. වහන්දෑ ද ධම් සෙබෙයි රැස් ව හුන් සේක් බුදුන් ධර්‍ම සබයට වඩනා තෙක් නිකම් හිඳිනා ගමනේ ‘ඇවැත්නි, මෙසේ රහත් වන්ට නිසි මහ පිනැත්තාණන් මවු කුස් මහ නරකයට පැමිණ සත් හවුරුදු සත් මස් සත් දවසක් විඳපු දුකක් බලාපුව මැනව. ඒ දුක් විඳත් සසර දුක් ගෙවා ගත්හ’යි කථාවක් ඉපැද වූ සේක.

බුදුහුත් ඒ අසා ඒ මුල් කොට බණ වදාරන සේක් ‘යම් කෙනෙක් කෙලෙස් නැමැති මහ මඬ ත්, සසර නමැති මහ මුහුදත් චතුරාර්‍ය්‍යසත්‍ය ය දැන ගත නො හෙන මෝහය ත් ඉක්ම වූ ද කෙලෙස් මහ වතුරට නො පැමිණ නිවන් පරතෙරට පැමිණියෝ ද ශමථ - විදර්ශනා දෙක යෙදී වෙසෙත් ද, කිසිවෙක ඇලුම් නැත්තෝ ද, බුද්ධාදි අට තැන්හි හෝ නොහොත් අතීතාදී වූ සොළොස් තැන්හි පවත්නා සංශ ය නැත්තෝ ද, එසේ වූ වන් මම උතුමැයි කියමි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් කටුවෙන් ම කටුව හරනා සේ සසර විඳ ආ දුක් ම එක්වන් සලකා දුකින් මිදෙන්ට උත්සාහ කටයුතු.

තව ද යහපත් අදහස් ඇත්තවුන්ට වන හානි නැති නියාව හඟවන්ට සුන්දර සමුද්ද තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත්-

සැවැත් නුවර සුන්දර සමුද්ද නම් කුල දරුවාණ කෙනෙක් ඇත. ඌ තුමූ සතළිස් කෙළක් පමණ වස්තු ඇති පොහොසත් කෙනකුන්ගේ පුතණුවෝ ය, ඌ තුමූ එක් දවසක් පස්වරු වේලේ බණ අසනු නිසා දෙව්රමට යන්නා වූ බොහෝ දෙනා දැක ‘කොයි යවු දැ’යි විචාරා ‘බණ අසන්ට යම්හ’ කී කල්හි ‘මම ත් එමී’ කියා ලා උන් හා කැටි ව ගොසින් බණ අසන්ට පිරිස් කෙළවර හුන්හ. බුදුහුත් උන්ගේ අදහස දැන ලා ඇවිටි ගන්වනු නිසා පිළිවෙළ කථාව වදාළ සේක.

සුන්දර සමුද්දයෝ ද ‘උන් වහන්සේ වදාළ බණ රජ කුලෙහි නො ඉපැද සක්විති වන්ට බැරියා සේ ගිහි ගෙයි රඳා හිඳ පුරාලිය නො හැක්ක. ඒ බණ ලෙස පවත්නා නිසා මහණ වෙමි’ මහණ වීමෙහි තර අදහස් ඇති ව බණ අසා පිරිස ගිය කල්හි මහණ කරන්ට ආරාධනා කොට දෙමවුපියන්ගෙන් මහණ වීමට විධාන නො ලද්දවුන් බුදුවරහු මහණ නො කෙරෙතී’ යනු අසා ගෙට ගොසින් සුදින්න-රට්ඨපාලාදී කුල දරුවන් මෙන් බොහෝ යත්නයෙන් දෙමවුපියන් අනු දන්වා ගෙන බුදුන් කෙරෙහි මහණ-මහලු පැවිදි ව ‘නෑසියන් ඇති තැන රඳා හුන් කල මහණ ධම් සිත සේ කට නො හැක්ක. දුරු බා යෙමී’ සිතා එ යින් නික්ම එක් සිය අසූ ගවුවක් විචර ව තිබෙන රජගහා නුවරට ගොසින් සිඟා වළඳා හිඳිනා සේක.

සැවැත් නුවර වසන ඔබගේ දෙමවුපිය දෙදෙන එක් උත්සව දවසෙක සැරහී පියා උන් වහන්සේගේ යාළු මිත්‍රයන් කෙළනවුන් දැක ‘අනේ අපගේ පුතණුවන්ට මේ හැම නැත්තේ වේ දැ’යි මුසුප්පු ව හඬති. ඒ වේලාට එක් වෙශ්‍යා දුවක් එ ගෙට ගොසින් සුන්දර සමුද්ද තෙරුන් වහන්සේගේ ලමන්දුන් හඬන්නවුන් දැක ‘හඬන්නේ හැයි දැ’යි විචාළී ය. පුතණුවන් වහන්සේ සලකුණු කොට පියා හඬන නියාව කී කල්හි ‘දැන් උන්දෑ කොයි දැ’යි විචාරා ‘මහණ වූ සේකැ’යි කී කල්හි මෙසේ නොදැක හඬන ගමනේ දැක දැක හිඳිනට සිවුරු හරවා පී කල නපුරු දැ’යි කිව. ‘එසේ යහපත. උන් වහන්සේ සිවුරු හරිනට මැළි ව. එ ලෙසට අප පැරැත්ත ගනිතී දෝ හෝ දුරු බා එක්සිය අසූ ගවුවක් විචර වූ රජගහා නුවරට ගිය සේකැ’යි කිවු ය.

‘ඉදින් යම් උපදෙසකින් සිවුරු හරවා පී නම් මට කරන සංග්‍රහ කිම්දැ’යි වෙශ්‍යා දුව කිවු ය. ‘එ සේ කළා නම් තොප ම උන්දෑට පාවා දී ලා මේ අපගේ සම්පතට හිමි කොට ලම්හ’යි කිවු ය. ‘එ සේ වී නම් මාර්ගෝපකරණත් දානෝපකරණත් දුන මැනැවැ’යි කියා ලා ඒ හැම ඉල්වා හැර ගෙන මහ පිරිවරින් රජගහා නුවරට ගොසින් උන් වහන්සේ සිඟා වඩනා වීථිය දෙතුන් දවසක් විචරින් නියම දැනගෙන ඒ විථියේ ම නවාතැන් ගෙන උදාසන ම මධුරාහාරයක් සපයා ලා තෙරුන් වහන්සේ සිඟා වැඩි වේලෙහි පිළිගන්වා ලා මෙම ලෙසින් කීප දවසක් විවර ගිය කලට ‘ස්වාමීනි, පාත්‍රයට එක විට කටයුතු කළ කළට වළඳන්ට අඵාසු ය. මේ ගෙයි දී ම වළඳන්නේ යහපතැ’යි කියා ලා පාත්‍ර ය ඉල්වූ ය. ඔබ ත් උන්ගේ අදහස දත නො හී පාත්‍ර ය දුන් සේක.

එ දවස් පිළ වඩා හිඳුවා ලා වළඳවා ලා ‛ස්වාමීනි, නුඹ සිඟා වඩිනට ආයාස ඇත්තේ වේ දැ’යි කියා ලා කීප දවසක් පිළදී ම වළඳවා ලා කෙළ ඇවිදිනා බාල දරුවන්ට කැවුම් පෙවුම් දී ලා නළවාලා ‘තෙපි, දරුවෙනි, තෙරුන් වහන්සේ අවුත් වළඳන්ට මේ පිළ හුන් වේලාට මා වැළකුව ත් ධූලි නංවව’යි උගන්වා ලුව. උයි ත් දෙ වන දවස් තෙරුන් වහන්සේගෙන් පිටත පිළ හිඳ වළඳවමින් හින්ද දී වෙශ්‍යා දුව බසින් කියා නැවතුව ත් ඇගේ අදහස් ලෙසට වළඳන තෙරුන් වහන්සේට අඵාසු කොට ධූලි නැංවූය. දෙවන දවසේ වෙශ්‍යා දුව ‘ ස්වාමීනි, මෙ තැන දී වළඳන කලට මා කෙසේ නැවතුව ත් තෙලෙ කනවැන්දුමු විටියළ කොල්ලෝ නො නැවත ධූලි නංවති. ඇතුළු ගෙයිදී ම වැඩ හිඳ වළඳන බව ය’යි කීප දවසක් ම ඇතුළු ගෙයි දී වැළඳ වූ ය. නැවතත් කුඩා කොල්ලන්ට කැවුම් පෙවුම් දී ලා නළවා ලා ‘ තෙපි මා වැළකුවත් තෙරුන් වහන්සේ වළඳන කලට අරගල කරව’ යි. උගන්වා ලූය.

උයි ත් එ ලෙස ම කළහ. වෙශ්‍යා දූ දෙ වන දවස ‘ස්වාමීනි, මෙ තැන කෝලාහල මහත. තෙලෙ නොවිටියළ කොල්ලෝ මා කෙසේ කීවත් නො නවතිති. අනුන්ගේ දරුවන් හෙයින් මරා නවතන්ට ත් බැරි ය. උඩු මාලට නැඟී ලා අරගල නොකරන්නෝ වේ ද, උඩු මාලේ දී වැළඳුව යහපතැ’යි කියා ලා තෙරුන් වහන්සේත් ගිවිසි කල්හි තෙරුන් වහන්සේ පෙරාතු කොට ලා තොමෝ පසුව ගෙන යට මාලේ අගුළු ලා ලා උඩු මාලට නැඟීය. තෙරුන් වහන්සේ සපදානචාරික ධූතාඞ්ගයෙහි උත්කෘෂ්ට ය පුරණ සේකුත් රස තෘෂ්ණායෙහි බැඳී ගොසින් ඇගේ බසින් වළඳන්ට උඩුමාලට නැඟි සේක. නැඟෙන සේකු ත් සත්මාල් පායේ උඩු මාලට නැඟි සේක. ඉකුත් ගෙන් ගෙනා දෙයක් හා නො සැප ත් ගෙන් ගෙනා දෙයක් නොපිළිගත් හෙයිනු ත් පත් දොර පා දුන් පමණක් විනා ගෙපිළිවෙළ ඉක්මවා නො පී හෙයිනු ත් දුවඟට කුමක් ද ? එ තෙකුදු වුවත් මාගමක කියන කටයුතු හෙයින් ආද්‍යන්ත පරීක්‍ෂා කොට නො පියා රජස් නැගෙන හෙයින් එක්වන් පිළිගැන්ම ආයාස හෙයින් ඇතුළු ගෙයි හිඳ වළඳත ත් අරගලයෙන් දුරුවන්ට උඩු මාලට වැඩියේ තමන් නො රහත් හෙයින් ඇගේ අදහස දත නො හී ය.

වෙශ්‍යා දූත් රස තෘෂ්ණාවේ බැඳී ගිය තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා තමා මෙතෙක් දෑ කළා ඔලොඹා ගන්නා නිසා මුත් සැදෑයෙකින් නොවන හෙයින් මෙ තෙක් දවස් ඒ හැමයට අවසර’ව හුන් වහන්සේ ම පමණක් වෙන් වන්ට නු වූ හෙයින් ඔබ ඔලොඹනු නිසා නුවණැත්තවුන්ට පෙරමාටු සේ තිබෙන ස්ත්‍රී විලාස ය දක්වන්නී ඔබගේ බසට උස් කොට තොමෝ බස් කියන්ට පටන් ගත.

කෙලෙස් රුජා පැහැර ලා හැඹරෙන්නාක් මෙන් හැඹරෙන්ට පටන් ගත. නැමෙන්ට පටන් ගත. නිය හස්සේ තුබූ කුණු හරනාක් මෙන් නියයෙන් නිය ය කණ යි තමාගේ පය මත්තේ අනික් පය තබ යි. කොටුවෙන් කොටුව ගායි. තව ද දරුවන් වඩ යි. දරුවන් බාව යි. සිටුව යි උන් හා තොමෝ කෙළි යි. අනුන් කෙළනට විධාන කෙරෙ යි. දරුවන් තොමෝ සනා යි. උන් ලවා තමා සනව යි බලා හින්ද දී තොමෝ ත් කයි. අනුන්ටත් බත් ලා ලා කව යි. තමා සන්තක දෙයක් දෙයි. අනුන්ගෙන් ඉල්ව යි. කළ ලෙස කෙරෙ යි. බස් උස් කොට කිය යි. ලෙඩින් ගොඩ නැංගා සේ කුඩා කොට කිය යි. කාරණ වත් කොට කිය යි. සිහි ඇති ව කිය යි. නට යි. ගී කිය යි. බෙර ගස යි. මිරිස් සුන්නක් ඇසට පෑවා සේ හඬ යි. බලා සිටිය දී සැරහෙයි. මහත් කොට සිනාසෙ යි. මූණ බලයි. උකුළ ව යි. ගුය්හ ස්ථාන ය සොලව යි. කළවේ පා යි. ඇඹර වස යි. උතුරු සළුව ඉවත් කොට තන බඩතුරු පා යි අත ඔසවා කිසිලි පායි. ඇස් මරයි. බැමේ උපුල්ව යි. පිටි තොල ලෝනි ය දිව දික් කෙරෙ යි. පිළි ලීල් කෙරෙ යි. පෙරළා තර කොට හඳි යි. හිසකේ උන යි. පෙරළා බඳි යි. මෙසේ තව ත් ස්ත්‍රී විලාසයෙන් එ තැනට ලැබෙන දෙයකු ත් සම්පත් නිසා පානා විද්දත් කෙළියක් මෙන් උන් වහන්සේ ඉදිරියේ සිට-

‘අලත්තක කතා පාදා – පාදුකාරුය්හ වෙසියා,

තුවම්පි දහරො මම - අහම්පි දහරා තව,

උභොපි පබ්බජිස්සාම – පච්ඡාජිණ්ණා දණ්ඩපරායණා’

යනු හෙයින් ‘මුඹ වහන්සේ හා මා හා ඔවුනොවුන්ට සග බාල ය. මා හා දැන් ගිහී ව සැප ත් විඳ පියා පසුව මාලු වූ කල දෙන්න ම මහණ වම්හ’යි කිව. තෙරුන් වහන්සේ ත් ‘අනේ මා නො සලකා කළ දෙයකැ’යි බලවත් මුසුප්පු වූ සේක. ඒ වේලාට බුදුහු එක්සිය අසූ ගවුවක් විචරට තිබෙන දෙව්රම් වෙහෙර වැඩ හිඳ ම සසරට විෂ ය නොවත ත් නුවණැසින් ඒ වෙශ්‍යා දුව කළ විකට රාසිය ත් තෙරුන් වහන්සේගෙන් වූ අමුත්තක් නැති නියාව ත් දැක කළ විකට ය සිනාවට ම නිසි හෙයින් පහළ කරන සිනාවක් මෙන් සිනා පහළ කළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ සිනා පහළ කිරීමට කාරණ විචාළ සේක. ‘ආනන්‍දයෙනි, රජගහා නුවර දී සත් මාල් පායේ උඩුමාලේ දී සුන්‍දර සමුද්ද නම් භික්ෂුවගේ හා වෙශ්‍යා දුවකගේ විවාදයෙක් පැවැත්තැ’යි වදාළ සේක.

‘ජය කාට ද? පරාජය කාට දැ’යි, අනඳ මහ තෙරුන් වහන්සේ විචාළ කල්හි සුන්‍දර සමුද්ද තෙරුන් වහන්සේ දිනා ගිය නියාව ත් වෙශ්‍යා දුව මෙලොව පරලොව දෙකින් ම පැරදි නියාව ත් වදාරා එ තැන වැඩ හිඳ ම රස් කඳක් විහිදුවා තමන් වහන්සේ ළං ව වැඩ හුන් ලෙසට හඟවා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් රූප ශබ්දාදී වූ පස් කම් ගුණෙහි ත් තද්විෂය වූ කෙලෙස් කමත් ආදීනව සලකා ඒ දෙක ම හැර සසුන් වැද මහණ ව ශාසනානුකූල පිළිවෙත් ඇති ව වෙසෙත් ද, එ සේ වැස ත් අර්හත්ව ය සාදා ගත්තු නම් භවක්‍ෂය කළා වූ ඔවුන් උත්ත ම ය යි කියමි’යි වදාළ සේක. දේශනා කෙළවර තෙරුන් වහන්සේ රහත් ව මාර්ග ය හා සමඟ අභිඥා ත් ආ හෙයින් ඍද්ධි බලයෙන් අහසට නැඟී ලා කොට වදාළ සංග්‍රහයට බුදුන්ට ස්තුති කෙරෙමින් අවුත් බුදුන්ට වැඳි සේක.

ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ද ‘ඇවැත්නි, රසතෘෂ්ණා නිසා සුන්‍දර සමුද්ද තෙරහු ඇසිල්ලෙකින් නටුවෝ ය. බුදුන්ට පෙනුණු හෙයින් මුත්” ය යි කථාව ඉපැද වූ සේක. බුදුහුත් ඒ අසා ‘මහණෙනි, රස තෘෂ්ණාව නිසා නස්නා මෝ හට පිහිට වූයේ දැන් මතු නො වන්නේ වේද, පෙරත් මෙ ලෙසින් නස්නට සිටියා වූ මෝ හට පිහිට වීමි’යි වදාරා ඒ විතරකින් නො හැඟෙන හෙයින්-

‘න කිරත්‍ථි රසෙහි පාපියො – ආවාසෙහි ච සන්ථවෙහි වා,

වාතමිගං ගෙහ නිස්සිතං - වසමානෙසි රසෙහි සඤ්ජයො.’

යනාදී මේ එකක නිපාතයෙහි වාතමිග ජාතකය විස්තර කොට වදාරා එකල රස තෘෂ්ණාව නිසා රජ ගෙය දක්වා ආ මුවා නම් මෙ සුන්දර සමුද්දයෝ ය. පැමිණි මරණ භයින් ගළවා ලූ ඇමැත්තාණෝ නම් මම් ම ය’යි ජාතක ය නිම වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් රස තෘෂ්ණාව නිසා කරන ප්‍රාණවධාදි වූ පාපයෙක් ඇත් නම් ඉන් වැළක පින් කම හැසිර ඒ තෘෂ්ණාව සියලු ලෙසින්ම නසන්ට උත්සාහ කටයුතු.