තව ද අනුන්ගේ කැණියලිනුත් කළ පින්කම උදාරතර වූ විපාක ඇති බව හඟවන්ට චන්ද්‍රාභ තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
යටගිය දවස බරණැස් නුවර වසන වෙළඳාණ කෙනෙක් ‘පසල් දනව්වට ගොසින් සඳුන් දඬු ගෙනෙමී’ බොහෝ පිළී සහ ආභරණ ආදිය ගෙන්වා ගෙන පන්සීයක් පමණ ගැලු ත් හැර ගෙන පසල් ගමකට ගොස් ගම් දොරකඩ කෙරේ නවාතැන් ගෙන ඒ ගම හිඳිනා එඬේර කොලු පැටවුන් අතින් ‘මේ ගම වලට ගොසින් කර්මාන්ත කරන කෙනෙක් ඇත් දැ’යි විචාරා ‘ඇතැ’යි කී කල්හි ‘ඌ කිනම් වූ ද දරුවෙනි’යි කීහ. මේ නම් වූ යයි නම් කී කල්හි ‘ඇඹේණියෝ කිනම්මු ද? දරුවෝ කිනම්මු දැ’යි උන්ගේ නමුත් විවාරා ගෙන ‘ගෙය කොයි දැ’යි විචාළ කල්හි ‘ගෙය අසවල් තැන ය’යි කිවු ය.
ඌ උන් කියා ලූ සලකුණෙන් මිනිසාවන් ලෙසට වාහනය කින් උන්ගේ ගෙදොරට ගොසින් වාහනයෙන් බැස පියා ගෙට වැද උපාසිකාවගේ නම කියා හඬ ගෑ ය. උයි ත් නම කියා හඬ ගෑලූයේ නම් නෑ කෙනකුන් නියාවේ දැ යි වහා අවුදින් හිඳිනා දෙයක් ලා ලූය. ඌ ඊ වැද හිඳ නම කියා බණවාලා ‘අපගේ යාළුවාණෝ කොයි දැ’යි විචාළෝ ය. ‘වලට ගියෝ’ය යි කී කල්හි අපගේ පුතණුවෝ මෙ නම්හ. අපගේ දුවණියෝ මෙ නම්හ. ඌ කොයි දැ යි විචාරා ‘මේ මේ පිළීත් මේ මේ ආභරණ ත් ඒ අපගේ දරුවන්ට දී ලව අපගේ මිත්‍රයාණන් වල සිට ආ කල උන්ට මේ පිළී හා ආභරණ දී ලව යි පිළියක් හා ආභරණයක් දුන්හ. උපාසිකාවන්ට ත් පිළී පළඳනා දුන්හ.
උපාසිකාවෝද උන්ට සාද යහපත් ලෙස කොටලා සමණන් ආ කල්හි ‘ආ වේලේ පටන් හැම දෙනාගේ ම නම් කියා ලා තෙලෙ දුන් දේ ය’යි කිවු ය. උයි ත් සාද සාමීචි බොහෝ කොට ම කළහ. සවස වැදහොත් වේලෙහි ‘සබඳ, තොප වල ඇවිදිනා කල බොහෝ කොට දක්නේ කුමක් දැ’යි කිවු ය. ‘අනික් අප දක්නා දෑ බොහෝ ව නැත. අතු ත් කොළත් රතු ව තිබෙන ගස් දිටිමි’යි කිවුය. ‛බොහෝ දැ’යි විචාළ කල්හි ‘බොහෝ ව’ යි කිවු ය.
‘එසේ වී නම් ඒ ගස් අපට පාන්ට වුව මැනැවැ යි කියා ලා උන් හා කැටි ව ම ගොසින් රත් හඳුන් ගස් කපා ගෙන ගැල් පන්සියයේ පුරා ගෙන යන ගමනේ ‘සබඳ, බරණැස් නුවර අසවල් තැන අපගේ ගෙය ය. අතුර ‘තුරේ අපගේ ඔබ අව මැනව. එන කල ත් අනික් දෙයක් අපට ගෙනෙන්ට නො කැමැත්තේය. රත් අතු ඇති දඬු කපාගෙන අව මැනැ’යි කීහ. උයි ත් ‛යහපතැ’යි කියා ලා අතුර’තුරේ උන් ළඟට යන කල තමන් ඊ නම් නො දන්නා පමණක් මුත් රත් හඳුන් ම ගෙන යෙති. උයි ත් සඳුන් දඬු ඇර ගෙන බොහෝ සම්පත් දෙති.
ඉක් බිත්තෙන් කල් යෑමෙකින් කසුබ් බුදුන් පිරිනිවී ධාතු වඩා රන් දා ගබක් කළ කල්හි පස දනවුවෙහි වසන තැනැත්තෝ බොහෝ සඳුන් දඬු ගෙන්වා ගෙන බරණැස් නුවරට ගියහ. මිත්‍ර ව හිඳිනා වෙළඳාණෝ ද ගෙන්වා ගෙන ආ සඳුන් දණ්ඩෙන් සඳුන් බොහෝ කොට ගාවා ගෙන සඳුන් මාලාවක් පුරා ගෙන ‘යාළු, බත් පිසන තෙක් දාගබ බඳිනා තැනට යම්හ’යි කියා ලා පසල් දනව් වැසි යාළුවාණන් කැඳවා ගෙන ඔබ ගොසින් සඳුන් කල්කයෙන් පූජා කළහ. පසල් දනවු වැසි යාළුවාණෝ ද දා ගබ කුස සඳුන් කල්කයෙන් සඳ මඬලක් ලෙස කළහ. අනුන්ගේ සමවායෙන් වුව ත් කළ පින් කම් මෙතෙක. එතෙකුදු වුව ත් එයින් සැව දෙව් ලොව ඉපැද අපගේ බුදුන් බුදුවන තෙක් දෙව් සැප ත් වළඳා අපගේ බුදුන් උපන් කල්හි රජගහා නුවර බමුණු මහ සල් කුලයෙහි උපන්හ. උන්ගේ පෙකිනියෙන් සඳ මඬලක් වැනි ව රස් පිඩෙක් කළ පින් කම ප්‍රකාශ කෙරෙමින් ඇති වි ය. එ හෙයින් නම් තබන්නාහු ත් චන්ද්‍රාභ යයි නම් තබා ලූහ. කසුප් බුදුන්ගේ දා ගබ කුස සඳුනෙන් සඳ මඬල ඇඳි පින් කමින.
බමුණානෝද ‘මුන් පෑ ලා ලෝ වැස්සන්ගෙන් ලාභ විඳිනට පිළිවනැ’ යි සිතා ගෙන ‘යම් කෙනෙක් මුන්ගේ ඇඟ`අල්වා ලූ නම් ඌ මෙ බඳු සම්පත් ලැබෙති’යි කියා ගෙන ඇවිදිති. සියයක් හෝ දහසක් හෝ දුන් කෙනෙක්ම උන්ගේ ඇඟ අල්වා පියනට ලැබෙති. උයිත් මේ ලෙස කොට ඇවිදිනාහු සැවැත් නුවරට ගොසින් නුවරට ත් විහාරයට ත් අතුරෙහි නවා තැන් ගත්හ.
සැවැත් නුවර වසන පස් කෙළක් විවර ආර්‍ය්‍ය උපාසකවරු පෙරවරු දවස් දන් දී ලා පස්වරු සුවඳ මල් ආදි ය ගෙන්වා ගෙන බණ අසන්ට යෙති. අමුතු ව ලා ආ බමුණානෝ ද උන් හැම දෙනා විහාරයට යන්නවුන් දැක කොයි යවු දැ’ යි විචාරා බුදුන් කරා බණ අසන්ට යම්හ’හි කී කල්හි ‘ඔබ ගොසින් කුමක් කරවු ද? අපගේ චන්ද්‍රාභ නම් බමුණානන් තරම් ආනුභාව සම්පන්න කෙනෙක් නැත. උන් ඇඟ අල්වා පී කෙනෙක් මේ මේ සම්පත් ලැබෙති. අවුත් උන් දකුව’යි කිවු ය. ‘තොපගේ චන්ද්‍රාභ නම් බමුණානන් ඇඟ ඇල්වූ කෙනෙක් වේ ද සම්පත් ලබන්නෝ ය. අපගේ බුදුන්ගේ නම සිහි කළ කෙනකුත් ලොවී ලොවුතුරා සැපත් ලැබෙති. එ හෙයින් අපගේ බුදුහු වඩනා සේකැ’යි කිවු ය. චන්ද්‍රාභයන්ට පක්‍ෂයෝ උන් ආනුභාවයෙන් වඩිතී කියති. දෙ පක්‍ෂයේ ඇත්තෝ ම කාරණ කියා ගිවිස්වාලිය නො හෙති. ගිවිස්වා ගත නොහී ‘ගොසින් ම දකුම් හ’යි චන්ද්‍රාභයන් කැඳවා ගෙන දෙ පක්‍ෂ ය ම බුදුන් කරා ගියහ.
බුදුහු ත් උන් තමන් වහන්සේ ළඟට යත් යත් උන්ගේ පෙකිනියෙන් නික්මෙන රස් පිඬ නැති කළ සේක. බුදුන් ළඟට යත් යත් අඟුරු පැසෙක උන් කවුඩුවකු මෙන් නිශ්ශොභා වූහ. බුදුන්ගෙන් මඳක් දුරු කොට කැඳවා ගෙන ගිය කලට ආදි ඇති ශෝභාව පෙරළා ත් ඇති වි ය. නැවත බුදුන් කරා යන කලට හිර මුදුන් වීමෙන් සඳ රැස් නැති වූවා සේම චන්ද්‍රාභයන්ගේ ශෝභා පුඤ්ජය නැති විය. මෙ සේ තුන් විටක් විතර දුරු වීමෙන් ශෝභා ව ඇති ව ළං වීමෙන් නැති වන නියා ව දක චන්ද්‍රාභයෝ ‘මුන් ශෝභා නැති කරන මන්ත්‍රයක් දන්නා නියා ය’යි බුදුන් අතින් ‘ශෝභා නැති කරන මන්ත්‍රයක් දන්නේ ඇත් දැ’යි විචාළහ. ‘ඵ සේ ය, දනිමි’යි වදාළ කල්හි ‘එ සේ වී නම් මා ත් උගන්වාලුව මැනවැ’යි කීහ. ‘ඒ මන්ත්‍රය මහණ නුවූ කෙනකුන්ට දෙන්ට බැරිය’යි වදාළ කල්හි චන්ද්‍රාභයෝ ද සෙසු බමුණන්ට ‘තුලුන් දන්නා මන්ත්‍ර ය උගනිම් නම් මුළු දඹදිවට උතුම් වෙමි. තෙපි හැම මේ තැන ම රඳව. මම මහණ ව මන්ත්‍රය උගනිමි. මහණ වීමට බාධා නැත්තා සේ ම සිවුරු හැරීමට ත් බාධා නැති බැවින් කීප දවසකින් මන්ත්‍ර ය ඉගෙන පලා එමී’ කියා ලා මහණ කරන්ට බුදුන්ට ම ආරාධනා කොට ලා මහණ ව සම්පූර්ණ විංශති වර්‍ෂ හෙයින් මහලු පැවිද්ද ත් ලත් සේක.
මහණ-මහලු පැවිදි කළ තෑන් කා ගියා සී කමටහන් ඉගැන් වූ සේක. ‘මේ කිම් දැ’යි විචාළ කල්හි ‘තෙල මන්ත්‍රයට පෙරාතු උගත මනා දෙයෙක. තෙල නොදත් කල මන්ත්‍ර ය තර කට නො හැක්ක. තෙල උගනුව’යි වදාළ සේක. බමුණානෝත් අතර’තුර ගොසින් ‘මන්ත්‍ර ය උගත්තේ ඇත්දැ’යි විචාරති. ‘තව උගත්තේ නැතැ’යි කිය කියා කීප දවසෙකින් ම රහත් ව රූප ශෝභාව පිටට ගුණ ශෝභාව එවා ගෙන බමුණන් අවුත් මන්ත්‍ර ය උගත් නියාව විචාළ කල්හි ‘තොප හැම යන ගමනින් මම නැවැත්තෙමී’ කී සේක. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් ‘ගිහීන් කෙරෙහි ප්‍රසිද්ධ වූවා සේ ම ශාසනයෙහි ත්, ප්‍රසිද්ධ වන්ට දෝ රහත් නියාවක් හඟවතී’ කී සේක. බුදුහු ත් ‘උන් කියන්නේ ඇත්ත ම ය. තොපගේ කල්පනාව විරුද්ධය’යි ප්‍රසිද්ධ වන්ට දෝ රහත් නියාවත් හඟවති, කීසේක. බුදුනුත් වදාරා ලා ‘යම් කෙනෙක් පඤ්චෝපක්ලෙශයෙන් විනිර්මුක්ත වූ සඳ පරිද්දෙන් අත්‍යන්ත පරිසුද්ධයෝ ද, සඳ තමන් සසල ගුණ ඇත් නමුත් රහත් වූවවුන් ට ලව මාත්‍ර වූත් ක්ලෙශ කාලුෂ්‍ය ය නැති බැවින් විශේෂයෙන් ප්‍රසන්න වූ සිත් ඇත්තෝ ද, තමා කරා පැමිණි කෙනකුන් සසර මහ මුහුද ලාලන තෘෂ්ණා නැමැති මහ ගඟින් එතර වූ ද උන් මම උත්තම ය යි කියමි. චන්ද්‍රාභයෝ ත් ඒ තරම් වූහ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් රූප ශෝභාව භවක්‍ෂයට කාරණ නො වන හෙයින් භවක්‍ෂයට කාරණ වූ ගුණ ශෝභාව ම ඵවා ගන්ට උත්සාහ කටයුතු.