300. මුගලන් මහතෙරුන් වහන්සේගේ වත

star_outline

තව ද රහතන්ට වුවත් පරූපවාද ඇති නියාව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වතත්, මුගලන් මහ තෙරුන් වහන්සේ ගේ වත ත් දෙක ම දක්වමු.

කෙ සේ ද යත් -

සැරියුත් මහ තෙරුන් වහන්සේත් සඟ පන්සියයක් හැර ගෙන දනවුවෙහි එක් වෙහෙරකට ගොසින් වස් විසූ සේක. මුගලන් මහ තෙරුන් වහන්සේත් සඟ පන්සියයක් හැරගෙන දනවු වෙහෙරක වස් විසූ සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ වස් විසූ ගම මිනිස්සුත් මුගලන් මහ තෙරුන් වහන්සේ විසූ ගම මිනිස්සු ත් ‘වස් අන්ත වූ කල බොහෝ වස්සාවාසික ලාභ ය පවත් කරම්හ’යි දෙ දෙනා වහන්සේට ම කීහ. දෙ දෙනා වහන්සේ ම වස් පවරා ලා ඒ විහාරවල වස් විසූ තැන් ලබන ලාභය තව සම්භ නො වන තුරු ම බුදුන් දක්නට වඩනා සේක් ඒ විහාරවල රඳා හිඳිනා තැනට ‘උපාසකවරුන් වස්සාවාසික ලාභය ගෙනා කල කොටස් කොට බෙදා පියා අප හා කැටි ව ගිය තැනට පැමිණියා එවා ලන්ට හෝ වුව මැනව. එවා ලන්ට බැරි වී නම් තැන් පත් කොට තබා ලා කියා එවන්ට වුව මැනැවැ’යි දෙ දෙනා වහන්සේ වෙන වෙනම සම්මත කොට ලා බුදුන් ළඟට වැඩි සේක.

වහන්දෑ ත් ‘අනේ මේ දෙ දෙනා වහන්සේගේ ලෝභ අදහස් බලවත් නියා ය. තව වස්සාවාසික ලාභ ඇති බව ත් නැති බව ත් නො දැන ම තම තමන් වහන්සේගේ වහන්දෑ ට පිරිකර කොටස් එවන්ට හෝ තබන්ට හෝ කී සේකැ’යි නො සතුටු ලෙස කථා කළ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, උන් දෙන්නාට ලාභ ය ලෝභ නැත. මිනිසුන්ට සිද්ධ වන පින හා ලාභීන්ට වන ලාභ නැති නුවමනා වේ දැයි සිතා කිවු ය’යි වදාරා ‘යම් කෙනකුන්ට කුමකු ත් ආසය නැත් නම්, එ සේ කිසිවකත් ආසය නැති සව් කෙලෙසුන් කෙරෙන් වෙන්ව වසන්නවුන්ටත් සංශයට කාරණ ව සිටිනා වස්තූන් අට දෙනා කෙරෙහි සංශ ය සෝවාන් මගින් ම නට හෙයින් යම් කෙනකුන්ට ඒ සංශය ත් නැත් නම් අමාමහ නිවනට පැමිණ සිටියා වූ උන් උත්තම ය’යි කියමි’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ලාභයෙහි කරන ලෝභ තරමට ත් පින් කම ම ලෝභ ඇතිව නිවන් දහම් පසක් කටයුතු.