තවද සත්‍වයන් අනුන් සන්තක දෙයෙහි ඇලුම් හරවනු නිසා නම් ගොත් හෙයින් අප්‍රසිද්ධ වූ එක් තෙර කෙනකුන් වහන්සේ ගේ වත කියමු.
කෙ සේ ද යත් -
සැවැත් නුවර මිථ්‍යා දෘෂ්ටික වූ එක් බමුණෙක් ඩා ගඳ වැද ගනී දෝ හෝ යන අදහසින් පෙරව ගත් උතුරු සළුව ගළවා එක් තැනෙක තබා ලා ගෙට මූණ ලා ලා හුන. ඉක්බිත්තෙන් එක් රහත් කෙනකුන් වහන්සේ වළඳා ලා වෙහෙරට වඬනා සේක් ඒ උතුරු සළුව දැක ඈත මෑත බලා පියා කිසි කෙනකුන් නො දැක ‘හිමියන් නැති දෙයක් වනැ’යි සිතා පසුල් සංඥාවෙන් හැරගත් සේක. උතුරු සළුව ඇති බමුණුත් දැක දොඩ දොඩා බැණ බැණ ගොසින් ‘ මුඬු මහණ, මාගේ උතුරු සළුව හැර ගතිනැ’යි කිවු ය. ‘බමුණානෙනි, තොපගේ දැ’යි විචාරා ‘එසේය’යි කී කල්හි යමකු නිරාලය ව හැර පියා ගිය දෙයක් දෝ හෝ’ යි සිතා පසුල් සංඥාව එළවා හැර ගතිමි. ඉඳා ය’යි කියා ලා බමුණාට ම දී පියා වෙහෙරට ගොසින් එ පවත් වහන්දෑට කී සේක. ඒ වහන්දෑත් ඒ අසා වෙහෙසන සේක් ‘ඇවැත්නි, ඒ හිණකඩ දික් ද? ලුහුඬු ද? දළද? සිහින් දැ’යි කී සේක. දික් වත් කිම? ලුහුඬු වත් කිම? දළ වත් කිම? සිහින් වත් කිම? ඉන් හැම ප්‍රයෝජන ය ඊ ආලය කරන කෙනකුන්ට වේ ද, මා ඊ ආලයෙක් නැත. පසුල් සංඥාව එළවා හැර ගතිමි’ කී සේක.
වහන්දෑ ද ‘ආල ය නැත්තෝ දැක දැක පලා අවමනා වේද, හැර නො ගතමනා වේද, හිණකඩ හැර ගෙන මෙ ලෙස කියන්ට කාරණා කිම් දැ’යි බුදුන්ට දැන්වූ සේක. බුදුහුත් ඔබ නැත්තක් නො වදාරන නියා ව වදාරන සේක් මේ ලෙව්හි ලුහුඬු ව තිබෙන්නා වූ ත් දික් ව තිබෙන්නා වූ ත් පිළී ආදියෙහි ද මහත්ව තිබෙන්නා වූත් කුඩා ව තිබෙන්නා වූ ත් මුතු මැණික් ආදියෙහිත් මඳ ව තිබෙන්නා වූ ත් බොහෝ ව තිබෙන්නා වූ ත් වී සාල් ආදියෙහි ත් යහපත් වූ තිබෙන්නාවූ ත් නපුරු ව තිබෙන්නාවූ ත් රත් රන් රිදී ආදියෙහි ත් ලෝභය උපදවා ගෙන සොර සිතින් හැර නො ගනිත් නම් උන් උත්තම ය යි කියමි. එ තැන කිසි කෙනකුන් නුදුටු හෙයින් හිමියන් නැති දෙයකැයි සිතා හැර ගත් බව මුත් මුන් තමන් රහත් හෙයින් වඤ්චා සිත් නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් සත් පුරුෂයන් විසින් අනුන් සතු දාහු වැළක් වුව ත් විෂ ඝෝර සපුන් කොට සිතා අයිනාදනින් දුරු විය යුතු.