තව ද වාසනා දෝෂ බුදුන්ට විනා සෙසු කොතැනට ත් ඇති නියාව හඟවන්ට පිලින්‍දිවච්ඡ මහ තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
උන් වහන්සේ ගිහි වුවත් පැවිදි වුව ත් ගෑනි වුව ත් පිරිමි වුවත් දෙවි වුවත් මිනිස් වුවත් දුටු යම් කෙනකුන්ට සැඩොල් වැවහාර කරන සේක. එක් දවසක් බොහෝ දෙනා වහන්සේ එපවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් ඔබ ගෙන්වා ලා සැබෑ දැ’යි විචාරා ‘සැබැවැ’යි කී කල්හි එ විට ඔබගේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණින් බලා වදාරා ‘මහණෙනි, තොපි පිලින්‍දිවච්ඡයන්ගේ බසට මුසුප්පු නොවව. ඌ තුමූ ද්වේෂ සිත් ඇත්තෝ නො වෙති. තෙල ලෙස හෙළා පිරිහෙළා කියන්ට කාරණ කිම්ද යත්-
‘පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි තුලූ බ්‍රාහ්මණ ව උපන්හ. පන්සියක් ජාතියේ ම තුලුන් කියා පුරුදු බස ය. එ හෙයින් තෙල ලෙස කියති’ වදාරා ‘යම් කෙනෙක් අනුන්ට රළු පරළු කොට නො කියත් නම්, කියතත් අර්ථවත් වූ මියුරු බසක් ම කියත් නම් කිසි ලෙසකිනු ත් අනුන් ගැටී යන ලෙසට නො කෙරෙත් නම් උන් උත්තම ය යි කියමි. වාසනා දෝෂය නිසා බස කියවී යන පමණක් මුත් අනගැමි මගින් ම ප්‍රතිඝය නට හෙයින් රුෂ්ට අදහසින් කියන දෙයෙක් නො වෙයි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් වාසනා දෝෂයෙන් වැරද යන දෙයක් විනා රුෂ්ට අදහසින් අනුන් ගැටෙන තරම් බස් නො කියන්ට උත්සාහ කටයුතු.