සියලුම කුශලය අප්‍රමාද පදයෙහිම ඇතුළත් නියාව සාධන්ට තැන්හි දික් සඟි අටුවායෙහි කථාවක් දක්වමු.
කෙ සේ ද යත්:
යට ගිය දවස බරණැස බඹ දත් නම් රජ්ජුරු කෙනෙක් රජ කෙරෙති. සමහර අවධියේ දඹ දිව සුවාසූදහසක් විතර නුවර පහළ වෙයි. සමහර කලෙක සැට දහසක් විතර වෙයි. සමහර කලෙක සතළිස් දහසක් විතර පහළ වෙයි. සමහර කලෙක විසි දහසක් විතර පහළ වෙයි. ඒ රජ්ජුරුවන් සමයට ත් විසි දහසක් නුවර ය. විසි දහසක් පමණ මාළිගා ත් ඇත. විසි දහසක් පමණ ඇත්තු ත් ඇත. විසි දහසක් පමණ වූ ම අස්සුත් ඇත. රථත් විසි දහසක් පමණ ඇත. විසි දහසක් පමණ යෝධ සේනාව ත් ඇත. විසි දහසක් පුරඞ්ගනා ත් ඇත. විසි දහසක් පමණ නළු ගෑනු ත් ඇත. විසි දහසක් පමණ ඇමැත්තෝත් ඇත. ඒ තරම් සම්පත් ඇති රාජ්ජය කරණ ඒ රජ්ජුරුවෝ තමන් පින් කම[1] නො පමා බැවින්–
“ඉද්ධිවිධං දිබ්බසොතං - පරචිත්තවිජානනං,
පුබ්බෙනිවාසානුස්සති – දිබ්බචක්ඛුති පඤ්චධා”
යනු හෙයින් ඍද්ධිවිධාදි වූ අභිඥාවන් පස් දෙනා ත් රූපාවචර සමාපත්ති සතර හා අරූපාවචර සමාපත්ති සතරත් උපදවා ගත්හ. රාජ්‍ය ය කිරීම නම් ප්‍රමාද ස්ථාන වුව ත් තමන් නො පමා හෙයින් වොටුනු පළන් රජවරුන් අධිකරණයෙහි හුන මනා බැවින් එක් දවසක් උදෑසන ම බත මේ නිමවා ලා අධිකරණයෙහි හුන්හ. එ තැන ත් බොහෝ දෙනා ගැණිසැඟිනිය කියන තැනක් බැවින් මහ අරගල ඇති වි ය. රජ්ජුරුවෝ ද ‘මේ ශබ්ද ය නම් ඇසට කටුවක් සේ ධ්‍යානයට විරුද්ධ ය. මාළිගාවට නැගී ලා ධ්‍යානයට සමවදිමී’ සිතා ගෙන හිඳ ත් වික්‍ෂෙප ය බලවත් ව ගොසින් ධ්‍යානයෙන් පිරිහී ධ්‍යානයට සම වැද ගත නුහුණු වූය. ධ්‍යානයෙන් පිරිහී පියා ‘රාජ්‍ය සම්පත් යහපත් දෝ හෝ මහණ ධම් යහපත් දෝ හෝ’යි සිතා ‘මේ රාජ්‍ය සම්පත් නම් ප්‍රයෝජන සැලකූ කලට ස්වල්පයෙක. ඒ නිසා වන ආදීනව බලා ලූ කලට සම්පත් නො පමණ ය. ඒ බෙහෙව, මහණ ධර්‍ම තෙමේ මඳක් වී නමුත් අනුසස් බොහෝව, කළ මනා එ ම ය’යි සිතා තුමූ අවසර ගන්නා නිසා ‘රාජ්‍යය යහපත් කොට දැහැමින් සෙමින් විචාරව’ යි එක් ඇමැත්තාණ කෙනකුන්ට සම්මත කොට ලා තුමූ මාළිගාවට නැඟී ලා අපවත් දෙයක් සොයා ගත්තා සේ නටුවා වූ ධ්‍යාන ය උපදවාගෙන සමවත් සුවෙන් දවස් යවති. බත් ගෙන යන පැන් ගෙන යන කෙනකුන් මුත් අනික් කෙනෙක් ළඟට නො යෙති.
මෙ සෙයින් දෙ පෝයක් විතර ගිය කලට රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවු ‘රජ්ජුරුවන් වහන්සේ කොයි ගිය නියා ද? දවස් ගණනෙක පටන් නුදුටුම්හ’යි කිවුය. රජ්ජුරුවන් මහණ ධම් කරණ නියාව බිසොවුන්ට කිවු ය. බිසවු ඒ අසා රාජ්‍යය විචාරන්ට විධාන ලත් ඇමැත්තාණන්ට ‘රාජ්‍ය ය තමන්ට භාර වූ පසු මා හැර රාජ්‍යය නො වන හෙයින් මා ත් භාර වූ නියා ය. අප හා සහ වාසයට අව මැනවැ’යි යහපත් අදහස් ඇත්ත වුන් කෙරේ වැසත් තමන්ගේ අදහස් නපුරු බැවින් කියා යවී ය. ඌ ඒ අසා ඇසිය යුත්තක් ම නොවන හෙයින් දෑතින් කන වසා ගත්හ. බිසවු දෙ තුන් වාරයක් කොට කියා යවා පියා නො ගිවිස් නා හෙයින් භය ගන්වා ‘තනතුරු හෝ උදුරා ගනිමි. මරවා හෝ පියමි’යි කියා යවූහ. ඇමැත්තණුවෝ ත් බා ගොසින් ‘ගෑනු නම් සිතා ගත් දෙයක තරයෝ ය. එක්සිය විසි හැවිරිදි වයස් ඇති ව පුරුෂයන් පතා වැදූ පුතණුවන් මරන්ට සිතා කඩ වසා ලා තුබූ දිඹුල් දණ්ඩෙහි පොරෝ බෑ කෙණෙක. මා නස්වාපුවත් නපුරැ’යි සිතා එක් දවසක් සොරා ගොසින් උන් හා සහවාසය කොළෝය. ඒ බිසොවුන් මහ පිනැති හෙයින් සුව පහස් ඇත්තාහ.
ඇමැති ත් උන් හා බැඳුණු තැනැත්තේ සැක ඇති ව ඇති ව ත් එක්වන් උන් කරා යෙයි. පසු වකල් යාමක දී ගෙ හිමියක්හු මෙන් පිට බඩ සැකයක් නැති ව බිසෝ ගෙට යෙයි. රජ ගෙයි නියුක්තයෝ ත් එ පවත් රජ්ජුරුවන්ට කිවු යැ. රජ්ජුරුවෝ ත් තමන්ගේ අදහස පවිත්‍ර හෙයින් අදහා නොගණිති. දෙවැනි වත් තුන් වැනි ව ත් කීහ. රජ්ජුරුවෝ සැඟවී සිට තුමූ ම දැක ඇමැති විසි දාස ගෙන්වා ලා ඵ පවත කිවු ය. ඒ ඇමැත්තෝ ද ‘මේ රාජ ද්‍රෝහියා වේ ද, අත් පා හෝ කැපුව මැනව. හුළ හෝ නැඟුව මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ‘මූට අඞ්ග හානි ය වුවත් මට පව්ය. ජීවිත හානි ය වුව ත් මාගේ ප්‍රයෝගයෙන් වූ හෙයින් මට ප්‍රාණවධ සිද්ධ වෙයි. සම්පත් හැර ගතො ත් මට අයිනාදන් සිද්ධ වෙයි. ඒ හැම නොකමැත්තෙමි, මූත් සාපරාධ තැනැත්තහු රටින් නෙරිය යි වරද නැත. රටින් නඟව’ යි කිවු ය. ඇමැත්තෝත් ඔහු රටින් නැඟූහ. ඒ තෙම තමාගේ සම්පත් හා අඹු දරුවන් හැර ගෙන අනිත් රටෙක අනික් රජ්ජුරු කෙනකුන් කරා පලා ගියේ ය.
ඒ රජ්ජුරුවෝ ද ඔහු දැක කුමක් නිසා අවු දැ යි විචාළෝ ය. මුඹ වහන්සේට සේවා කම් කරන්නට ය’යි කී කල්හි ගිවිස්සෝ ය. එයි ත් දවස් ගණනකින් ම රාජ වල්ලභ ව ගෙන ඒ රජ්ජුරුවන්ට ‘ස්වාමීනි, නිමැසි මීයක් දිටිමි. ඒ කන කෙනෙක් නැතැ’යි කිවු ය. රජ්ජුරුවෝ වෙහෙසන්ට කියතී සිතා දෝ ඒ මීයෙක් වී නම් නපුරෙක් ම ඇතැ යි සිතා හෝ උගේ බස් නොඅදහති. තවත් අවසරයක් ලදින් අදහා ගන්නා ලෙසට තරව කී ය. රජ්ජුරුවෝ නිමැසි මී නම් කවරේ දැ යි විචාරා බරණැස් නුවර යැ යි කී කල්හි ‘මා ඔබ කොට ගෙන මරණු කැමැත්තෙහි දැ’යි කිවු ය. ‘එ සේ සිතා නො වෙයි මාගේ බස් නො අදහතොත් මිනිසුන් යවා උන්ගේ බසින් අදහාගත මැනවැ’යි කිවු ය. රජ්ජුරුවෝ රාජ්‍ය ලොභ ය බලවත් හෙයින් මිනිසුන් යවු ය. ගිය මිනිස්සු ත් වාසල කෙරේ පටන් උමං බිඳ ගෙන ගොසින් රජ්ජුරුවන්ගේ ශ්‍රී යහන් ගබඩාවට වන්හ. රජ්ජුරුවෝ උන් දැක ‘කුමට අවු දැ’යි විචාළෝ ය.
‘අපි සොරුම්හ’යි කී කල්හි උන්ට වස්තුව දෙවා ලා ‘මෙයින් මතු මෙ ලෙසක් නො කරව’යි කියා ලා යවා පීහ. උයිත් ගොසින් රජ්ජුරුවන්ට එ පවත් කීහ. එක වරින් අදහා ගත නොහී දෙ තුන් වරකට මිනිසුන් යවා ආදි ලෙසින් ම විමසා පියා ‘බරණැස් රජ්ජුරුවෝ නම් තද කෙනෙක් නො වෙති. මොළොක් කෙනෙක් ය. ඒ නුවර හැර ගත හැක්කැ’යි සිවුරඟ සෙනඟ සරහා ගෙන බරණැස් නුවර සන්තක වූ එක් නුවරකට ගොසින් ඒ නුවර ඇමැත්තාණන්ට ‛නුවර හෝ දෙව. සටන් හෝ කරව’යි කියා යවූහ. ඌ එ පවත් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට කියා යවා ලා ‘වදාරා එවන බවය. සටන් කරමෝ ද නුවරදී පියමෝද? කළ මනා කිම් දැ’යි විචාරා යවු ය. ‘සටන් කිරීම නම් පව් පිරෙන දෙයක් බැවින් සටනෙන් ප්‍රයෝජන නැත. උන් කැමති නුවර උන්ට ම හැර පියා තමන් මුඹ නැඟී අව මැනවැ’යි කියා යවු ය. උයි ත් එ ලෙසම කළහ. සතුරු රජ්ජුරුවෝ ද හැරපී එ නුවර හැර ගෙන තව තව ත් බරණැස් නුවර සන්තක නුවරවල සිටියවුන්ට එ ලෙස කියා යවූ ය. ඒ ඒ ඇමැතිවරුන් බරණැස් රජ්ජුරුවන්ට කළ මනා කිම් දැ යි විචාරා යවා ‘සටන් නො කැමැත්තේ ය. නුවරවල් උන්ට ම හැර පියා අව මැනවැ’යි කී කල්හි ඌ හැම ත් බරණැසට ම ගියහ.
එ සේ ගිය ඇමැතිවරු ‘රජ්ජුරුවන් වහන්ස, සෙසුනුවරවල්, හළත් මේ නුවර උන්ට නො හරුම්හ. උන් හා සටන් කරම් හ’යි කිවු ය. රජ්ජුරුවෝ සටන් කරන්ට කීවොත් ප්‍රාණ වධ ය සිද්ධ වෙයි සිතා ලා නවතා පුව. ඇමැත්තෝ රජ්ජුරුවන් වහන්ස අපි ඒ රජ්ජුරුවන් නො මරා ම අල්වා ගෙනවුත් දී ලම්හ’යි නො එක් ලෙසින් කියා ගිවිස්වා ගෙන රජ්ජුරුවනුත් කැඳවා ගෙන යන්ට වන්හ. රජ්ජුරුවෝ ‘මිනිසුන් නො මරවු නම් කොල්ල නොකවු නම් එමී’ කිවු ය. ‘අපි මුඹ වහන්සේ තෙල සේ වදාළ කල සටනු ත් නො කරම්හ. කොල්ලත් නො කම්හ. භය ගන්වා පලවා පියම්හ’යි කියා ලා සිවුරඟ සෙනඟ සරසා ගෙන රෑ කොට ලා කළ වල පහන් තබා ගෙන ගියහ. සතුරු රජ්ජුරුවෝ එ දවස් ‘බරණැස හා නුවර ගෙන ඉතිකින් කුමක් ද? බරණැස හැරගන්ට පිළිවන් වේ දැ’යි ආලෙස්සම් ව ලා සන්නාහ ය ත් උනා පියා වැද හෙව නිදා පීහ. බරණැස් රජ්ජුරුවන්ගේ ඇමැත්තෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවනු ත් හැර ගෙන සතුරු රජ්ජුරුවන් කඳවුරු බැඳ ගෙන හුන් තෙනට ගොසින් ලක්ෂ ගණන් කළ වලින් පාන් මෑ ත් කොට ලා හිර නැඟී පාන් වූවා සේ එක් හෙළි වූ කල්හි හඬ ගසා ලූහ.
සතුරු රජ්ජුරුවන්ගේ ඇමැත්තෝ තමන් නොපහන් බව මුත් පහන් රජ්ජුරුවන්ගේ පහන් ආලෝකයෙන් මහ බල ඇණි දැක තමන්ගේ රජ්ජුරුවන් ලඟට ගොසින් ‘වැද හෙව නිඳන්නේ හැයි ද? නැඟී සිට නිමැසි මී කව මැනවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් නැඟී සිට සේනාව බලා පියා බා ගියහ. තරයේ ම බවන්ට කොල් වර හඬක් ගසා ලූහ. එ වේලෙහි ද ඌ තුමූ එක සාවාගේ බසින් බොහෝ සිවුපාවුන් මූදු බත් වන්ට ආසන්න වූවා සේ ය යි උන් නො සිතුවත් සැටිය. එසේ හෙයින් ‘අනුන්ගේ බසින් සතුරන්ට සම්භවූම්හ’යි රෑ නිදි නැති ව හුන් වන ම හිඳ පාන් කොට පියා දෙ වන දවස් ‘මේ රජ්ජුරුවෝ මැදහත් කෙණෙකි. ළඟට ගිය යි කියා මරවා නො පියති. ක්‍ෂමා කරවා ගනිමි’යි සිතා රජ්ජුරුවන් කරා ගොසින් බැස හෙව වැඳ ලා ‘රජ්ජුරුවන් වහන්ස, නො දැන කළ වරද ක්‍ෂමා කළ මැනව’යි කිවු ය. රජ්ජුරුවෝ ත් අවවාද කියාලා ‘නැඟී සිටිය මැනව, ක්‍ෂමා කෙරෙමී” කිවු ය. රජ්ජුරුවන් එ සේ කියන්නා ම භය ත් හැරී ගොසින් බරණැසට නුදුරු තෙනකින් ම රටකු ත් ලදින් මිත්‍ර ව එහි විසූ ය.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ද සතුරු සෙනඟ ත් තමන්ගේ සෙන ඟ ත් සමඟ ව සිටි නියාව දැක ‘මා එක තැනැත්තවුන්ගේ මෙත් බලයෙන් මේ සා මහත් රැසක් පිරිසක් සටනට අවුදිනු ත් මැස්සකු බී පියන ලේ විතරකු ත් ඇති නුවූයේ ය. ඉතා යහපතැ, සියලු සත්හු නිදුක් වෙත්ව’යි යනාදීන් මෙත් උපදවාගෙන ධ්‍යාන පාදක කොට විවසුන් වඩා නො පමා ව විසීම නිසා ඇත් කඳ මත්තේ හිඳ ම පසේ බුදු වූ සේක. විසි දහසක් පමණ ඇමැත්තෝ ද පසේ බුදු වූ නියාව නො දැන වැඳලා ‘රජ්ජුරුවන් වහන්ස, වඩන බව ය. සතුරන් කවර ලෙසින් වුව ත් සාධාලූ සෙනගට ප්‍රසාද දෙවන්ට වුව මැනව. පිට පුරා සිටියවුන්ට වැටුප් වියදම් දෙන්ට වුව මැනැවැ’යි කිවු ය. ‘ඒ හැම තොප කිව මනා රජ්ජුරු කෙනකුන්ට වේ ද? ක්‍ෂත්‍රිය ජාති ය නො හැරුණත් රාජ කෘත්‍ය ය නැති ව පසේ බුදු වූ තැනට ඉන් ප්‍රයෝජන නැත්තේ වේ දැ’යි පසේ බුදුහු වදාළ සේක. ඇමැත්තෝ ද ඒ අසා ‘කුමක් වදාරණ නියා ද ? වොටුනු පැළඳ සූ සැට රාජාභරණ ලා ඇතුන් පිට හිඳිනා පසේ බුදුන් ඇති නියා දැ’යි කිවු ය.
‘එසේ කල පසේ බුදුවරු කෙ සැටියෝ දැ’යි විචාළ සේක. හිස කේ දෑඟුල් පමණ ව තුන් සිවුරු පාත්‍ර ධර ව සිටිනා සේකැ’යි කිවු ය. එ වේලෙහි දකුණතින් ඉස පිරිමැඳ ලූ සේක. එ වේලෙහි ම ඍධ්‍යනුභාවයෙන් මවා ගත් රුවක් මෙන් ගිහි වෙස් අතුරුදන් ව පැවිදි වෙස් පහළ විය. දෙ අඟුල් පමණ හිස කෙස් ඇති ව තුන් සිවුරු පාත්‍ර ඇති ව අංගමවිත ව සියවස්[2] ගිය මහ තෙර නමක් වැනි වූ සේක. එ වේලෙහි දී අභිඥාවට පිහිට වූ චතුර්ථ ධ්‍යානයට සම වැද ලා අභිඥා චිත්තයෙන් අහසට නැඟී ලා පියුමක් මවා ගෙන පියුම මත්තේ වැඩ හුන් සේක. එ වේලෙහි ඇමැත්තෝ වැඳ ලා ‘ස්වාමීනි, පසේ බුදු වූයේ කෙසේ දැ’යි විචාළෝ ය. ඔබ ද යමක් මුල් කොට පසේ බුදු වූ සේක් නම් විභාග කොට වදාරන සේක්:
“පබ්බතූපත්‍ථරෙ රම්මෙ – ජාතා පොක්ඛරණී සීයා,
තං සිගාලො අපාපාසි – ජානං සීහෙන රක්ඛිතං”
යනු හෙයින් පර්‍වත මුදුනෙක සිංහයෙකු ගෙන් රකවල් ඇති පොකුණකට සිංහයා පිළිබඳ නියා දැන කැණහිලකු ගොසින් පැන් බොන්නා සේ මට නො එක් තරමින් අඩු ව සිටි ඇමැත්තකු පුර ද්‍රොහි නියාව මා ම දැකත් ඝැටුණු මනා තෙන ඔහු කෙරෙහි මෙත් සිත් පැතිරවීමි. ඔහුගේ බසින් මා මරන්ට ආ සතුරු රජ්ජුරුවන් කෙරෙහි ත් මෙත් සිත් පතුරුවා ඉන් ම ජය ගෙන විවසුවන් අතින් මාර්‍ග ඥාන නමැති කඩුව ගෙන කෙලෙස් සතුරන් නසා පසේ බුදු වන්නා ම මම මෙත් සිත් මුල් කෙළෙමි. ඒ සියල්ල ම මා නො පමා ව පිළිපන් හෙයිනැ’යි කී සේක.
“සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං,
අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං,
න පුත්තමිච්ඡෙය්‍ය කුතො සහායං,
එකො චරෙ ඛග්ගවිසාණකපො.”
යනු හෙයින් ම වදාරණ ලදී.