1. පූර්විකාව

star_outline

මහ පොළොව සේ තුන් ලොවට පිහිට ගුණ ඇති, මහ මුහුද සේ ගැඹුරු ගුණ ඇති, ආකාශය සේ අනන්ත ගුණ ඇති, මහ මෙර සේ සාර ගුණ ඇති, ඉරු මඬල සේ තේජස් ගුණ ඇති, සඳ මඬල සේ සෞම්‍ය ගුණ ඇති, කරුණාවෙන් සිහිල් වූ සිත් ඇති, අප තිලෝගුරු බුදු රජාණන් වහන්සේ, මෙ තැනට සාරාසංඛ්‍ය කප් ලක්ෂයෙකින් යට දීපඞ්කර නම් බුදුන් සමයෙහි සිවු පදෙන් යුත් ගාථා මාත්‍රයක් අසා, සව් කෙලෙස් නසා ගෙවා රහත් වන්නට නිසි පින් කම් ඇතත් සියල්ලවුන් කෙරෙහි කළ කරුණාවෙන්, “සායෙහි ලද බතක් බොහෝ දෙනා බලබලා සිටිය දී තනි ව වැද හිඳ කන්නා සේ” නුවණ නැමැති පදුරු[1] නැති ව, කුසල් නැමැති නැව් නට කල්හි සසර නැමැති මුහුදු ගැලී දුක් ගන්නා මඳ දෙනකු නො ව, සූවිසි අසඞ්ඛ්‍යයක් සත්ත්‍වයන් ඇර ලා තනි ව නිවන් දැක්ම අප වැන්නවුන්ට තරම් නො වත්, මම ද මේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ මෙන් බුදු ව, සසර නැමැති සයුරින් ඔවුන් ගොඩ ලන පිණිස සාරාසඞ්ඛ්‍ය කප්ලක්ෂයක් මුළුල්ලෙහි මා විසින් කම සේ ව ඉදි කරන ලද නුවණ නැමැති රුවල් පදුරු[2] ඇති, සමාධි නැමැති කුඹක් ඇති, සත් තිස් බෝධි පාක්ෂික ධර්‍ම නමැති මහ නැවට නංවා, දේශනා නමැති හස්තයෙන් පැද ගෙන නිවන්පුර[3] නමැති පර තෙරට පමුණුවමි’ යන අදහසින් බුදු බව පතා, යටැත් බ්‍රහ්මදේව නම් බුදුන් සමයෙහි මනෝප්‍රණිධිය හා (පුරාණ) ගෞතම නම් බුදුන් සමයෙහි වාක්ප්‍රණිධිය ඇති හෙයින් පූර්ව හේතුවත් ඇති ව, මිනිසත් බව පිහිටා ස්ත්‍රීත්‍වයත් නැති ව, තවුස් වෙස් ගෙන මහණ ව අභිඥාලාභීව කෘතාධිකාර මහ පිනැති ව, බුදුවීමෙහි බලවත් අදහස් ඇති ව, දිවමනු[4] බුදුන්ට දිවි පුදා, ඔබගෙන් විවරණ පතුල් ලදින් සම තිස් පැරුම් පිරීමට නියත වීමෙන් අධිගතයන් පුරවන්නා සේ සියලු අකුසලින් දුරු වැ එමැ අධිගතයන් ආර්‍ය්‍ය භූමියෙහි පිහිටියා සේ කුසල්හි පිහිටා, එ ම අධිගතයන් මාර්‍ග ඥාන නැමැති ජලයෙන් රාගාදි කෙලෙස් කිලුටු සෝධා, සිත් සතන් නිර්‍මල කළා සේ පවිත්‍ර වූ සිත් ඇති ව අනුන්ට අනුශාසනා කරන කලැත් යහපත් තරම් ඇති දෙ මවු පියන් තමන් දරුවන් තමන් තරමේ හික්මවන්නා සේ, සියලු අකුසලින් දුරු ව, සියලු කුසල්හි පිහිටා, සිත් සතන් පවිත්‍ර කොට ගෙන පවිත්‍ර වූ සිත් ඇති අදහසින් පින් කමැ හැසිරැ ලොවි ලොව්තුරා සැපත් සිද්ධ කරනු නිසා ය.[5]

එසේ හෙයින් ඔබගේ අනුශාසනයෙහි පිහිටා නිවන් දහම් පසක් කරන්නවුන් විසින් යම් සේ වැසි ඇති කල සුභික්ෂ ද, වැසි නැති කල දුර්භික්ෂ ද, හෙයින් සුභික්ෂ - දුර්භික්ෂ දෙකට වැසි ම මුල් ද, එ සේ ම අකුසලින් දුරු ව කුසල්හි පිහිටා සිත් සතන් පවිත්‍ර කරන්නවුන්ට ධර්මාභියෝග ය මුල.

ධර්මාභියෝග ය නම් නිශ්ශරණද්ධ්‍යාශයෙන් බණ ඉගැන්ම ය. හෙ ද වැළිත් කෘතාධිකාර මහ පිනැති කෙනකුන්ට මුත් විදුරු පර්‍වත විදින්ට කුහුඹුවන්ට බැරියා සේ, සෝවාන් පුඟුලන් අපාය ගාමිනී අකුසල්හි හැසිරෙන්ට බැරියා සේ, සියලු ලෙසින් ම කෘත පුණ්‍යතා නැති ව ජාත්‍යන්ධයන්ට අන්ධ යෂ්ටිය නැති ව ගමන් බැරියා සේ, ලක්ෂණය දැන ලක්ෂණානුසාරයෙන් ඉගෙන දැන ගැන්ම නුවණ මඳවුන්ට බැරි ය.

එසේ හෙයින් යම් කෙනෙක් නුවණ මඳ වත් කුසලච්ඡන්‍දය ඇති ව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින් කමැ හැ- සිර නිවන් සාදා ගනිත් නම් එ සේ වූ සත් පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්‍මරත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ.

පාලි ක්‍රම ම හැර අත්‍ථි පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලඞ්ඝනාදී වූ අඩු වැඩි ඇතත් ඒ නොසලකා, පැන් හා කිරි මුසු වුවත් කිරි පමණක් තෝරා හැරගන්නා හංසයන් මෙන් ද, ශාස්ත්‍ර දන්නවුන් ගේ ජාති අඩු වුවත් උන් ගේ තරම් නො සලකා ශාස්ත්‍ර පමණක් සලකා ශාස්ත්‍ර උගන්නවුන් මෙන් ද, ප්‍රයෝජන පමණක් සිතා නුවණ නැමැති ඇස්හි මෝහ නැමති පටලය වැසී අකුසල් මහවලට වැද නිවන් පුරයට ගොසින් තුබූ කුසල් මහ වත නොදක්නවුන් සද්ධර්මරත්නාවලි නැමති බෙහෙදින් මෝහ නැමති පටලය නැති කොට නුවණැ’ස අඳුරු හැර, කුසල් මහ වතට නිවන් පුරයට සුවයෙන් යා යුතු.

අකුසලින් දුරු ව වසන්නවුන් කවරත් අකුසලට පෙරදැරි ව සිටිනා සිත තණ බිම් තිබිය දී විෂම ස්ථානයට ගොසින් නස්නා ගෙරි සරක් තණ බිමට නමා රක්නා සේ, තමා ගේ සිතට අනික් ඉසුරු කෙනකුන් නැති හෙයින් අකුසලින් වෙන් කොට කුසල්හි පිහිටුවන්නා ම ප්‍රාණවධාදි වූ ඒ ඒ අකුසලින් වෙන් ව දුරු වන්නට කරන ව්‍යායාම නැති හෙයින් තමා තමා සිත් සතන් ම හික්මැවීම යහපතැ.

‘වදන දරුවන් ගේ මූණ දකුම්හ’ යන මෙ විතර ආස්වාදයෙකින් කවර තරම් වූත් ප්‍රසව වේදනා ඉවසන ස්ත්‍රීන් පරිද්දෙන් ලබන නිවන් රස සලකා ඇස පහරනා රුජාවෙන් වන් දුක් නොසැලකූ චක්ඛුපාල මහ තෙරුන් වහන්සේ ගේ වස්තුවෙහි පටන් නිවන් මහ වත් ව සිටිනා තුන් සියයක් වත් නැමැති මඟුල් සැරහීමෙන් නිවන් පුර වදනවුන් අතුර සැතපෙන්නට සද්ධර්‍මරත්නාවලිය නැමැති ශාලාව සරහමු.

  1. පැදුරු

  2. පැඳුරු

  3. නිවන් පරතෙරට-නිවන්පුර තෙරට

  4. දිමනු-

  5. 4 ලොව්-ලොව්තුරා ලොවි-ලොවුතුරා