297. මහා පන්ථක තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද බුද්ධ වෛනෙය ව සිටියවුන් ශ්‍රාවක වෛනෙය නො වන නියා ව හඟවන්ට මහා පන්ථක තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙසේ ද යත් -

මහා පන්ථක තෙරුන් වහන්සේ එක ගාථාව සාරමසක් විතරිනු ත්, චුල්ලපන්ථක තෙරුන් වහන්සේට උගන්වා ගත නොහී එ දවස් ම සසරින් පිටත් වන්ට නිසි ව සිටි තැන් සිවුරු හරනා නිසා ශාසනයෙන් පිටත් කළ සේක. ගාථාව උගැන් වූ නියාව ත් උගන්වා ගත නො හී නෙරි නියාව ත් පසු ව බුදුන්ගේ බලයෙන් රහත් වූ නියාව ත් චුල්ල පන්ථක වතින් දත යුතු. වහන්දෑද කොට ලූ සැටිය තද ලෙසක් සෙයින් ‘රහතන්ට ත් ක්‍රෝධ ය ඇති නියා වේ දැ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ඒ අසා කළ තද ලෙසක් බව මුත් ඔබට කිපී සිත් නැති නියා ව හඟවන්ට ‘යම් කෙනකුන්ට රාග, ද්වේෂ, මෝහ තුනත් උන්නති ලක්‍ෂණ වූ මනුත්, ගුණ නසන සුලු වූ මකු කමුත් ඉඳිකටු අග නො රඳා හබ හෙන්නා සේ හිණි නම් උන් උතුමැයි කියමි. මහා පන්ථකයනු ත් වැඩක් කැමැති ව ලෙසක් කළ බව මිස උරණ සිත් නැති බැවින් කිපී කළ දෙයක් නො වෙ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්‍රියාවෙන් හික්මවීම් මුඛයෙන් තද කමක් හඟවතත් සිතින් තද නොවන්ට උත්සාහ කටයුතු.