296. හෙරණ වහන්දෑ සතර නමකගේ වස්තුව

star_outline

තව ද ගුණ ඇත්තවුන්ගේ ගුණානුභාව දක්වන්ට හෙරණ වහන්දෑ සතර නමක ගේ වස්තුව කියමු.

කෙසේ ද යත් -

එක් බැමිණි කෙනෙක් වහන්දෑ සතර නමකට දනක් සපයාලා බමුණානන්ට ‘වෙහෙරට ගොසින් වැඩි මාලු වහන්දෑ සතර නමක් වහන්දෑගෙන් ඉල්වා ගෙන එව’යි කිවුය. උයිත් වෙහෙරට ගොසින් ‘වැඩිමහලු වහන්දෑ සතර නමක් මට පාවා දුන මැනැවැ’යි කිවුය. උන්ට සංකිච්ච සාමණේර ය, පණ්ඩිත සාමණේර ය, සෝපාක සාමණේර ය, රෙවත සාමණේර ය’යි සාමණේර සතර නමක් සත් හැවිරිදි වයස් හෙයින් වයසින් බාල වුව ත් පිළිසිඹියා පත් රහත් හෙයින් ගුණෙන් වෘද්ධ ව පැමිණි සේක.

බැමිණිනියෝ මහ ඇඟි කොට ආසන පනවා ලා සිටි තැනැත්තෝ සාමණේර වහන්දෑ දැක ඔබගේ තරම් නොදත් බැවින් කිපී පියා උදුනේ ලා ලූ ලුණු පරිද්දෙන් තතනමින් ‘තෙපි විහාරයට ගිය තැනැත්ත, වහන්දෑ අරුමයා සේ තොපට මුනුබුරු පමණකට වත් නො සෑහෙන බාල දරුවන් සතර දෙනකු දරු ආසාවේ වඩන්ට ගෙනාවා සේ හැර ගෙන අවුත් සිටියව. තෙල මා මහ ඇඟි කොට පැන වූ හසුන්වල තුලුන් හැම හිඳිනට බැරි ය. මිටි පුටුවල හිඳුව’යි කුඩා බුඩා ලෙසට මිටි හසුන් පනවාලා එහි හිඳිනට කියාලා ‘යව, බමුණානෙනි, මෙ විට ගොසින් මහලු තැන් බලා ගෙනෙව’යි කිවු ය. බමුණානෝත් වෙහෙරට ගොසින් සැරියුත් මහ තෙරුන් වහන්සේ දැක කැඳවා ගෙන ගියහ. තෙරුන් වහන්සේ ද අවුත් හෙරණ සතර නම හුන්නා දැක ‘මූ බත් ලද්දා දැ’ යි විචාරා නො ලත් නියා ව අසා සපයා ලූ දනත් සතර නමකට පමණ මුත් වඩා නැති නියාව දැන ගෙන පාත්‍ර ය කටයුතු නො කරන තෙක් ගෙන්වා ගෙන වැඩ පී සේක.

බැමිණිනියෝ ද ‘දන් නො වළඳා වැඩපීයේ හැයි දැ’ යි විචාරා හෙරණ සතර නමකට සපයා ලූ දන් හෙයින් වැඩ පී නියාව කී කල්හි ඊ ඊ පිට ලා ලා වළඳන්ට මැළි නියා ය. ගොසින් අනික් වැඩි මාලු තැනක් ගෙනෙව’යි කිවු ය. බමුණානෝ ද වහා ගොසින් මුගලන් මහ තෙරුන් වහන්සේ දැක එ ලෙසම කියාලා ගෙනවුය. උන් වහන්සේ ද හෙරණ වහන්දෑ විචරට ඉදි කළ දන් හෙයින් දෙවා ලූ පාත්‍ර ය හැර ගෙන වැඩ පී සේක. බැමිණියෝ ඔබ ත් වැඩ පී නියා ව දැන ලා ‘වළඳන්ට මැළිව ගිය නියා ය. බමුණන් හෝම කරන තැනට ගොසින් ආදියෙන්ම ගෙනා ලෙසින් බාල කෙනකුන් නො ගෙනවුත් මාලු බමුණාන කෙනකුන් ගෙනෙව’යි කිවුය.

හෙරණ වහන්දෑ උදෑසන පටන් හිඳත් ලත් කිසිවක් නැති වූ හෙයින් සාකුස් ඇති ව හුන්දෑ ය. ඒ තැන් ගුණානුභාවයෙන් සක් දෙවිඳුහුගේ හස්න හුණු වී ය. හස්න හුණු වීමට කාරණා සොයන්නෝ එ පවත දැන මා ඔබ ගිය මැනව’යි මාලු බමුණු වෙසක් මවා ගෙන හැම බමුණන්ට මුල්ව හුන්හ. බමුණෝ ද උන් දැක ‘මෙ විට අපගේ බැමිණිය සතුටු වන්නී ය’යි සිතා ගෙන උන් කැඳවා ගෙන ගෙට ගියහ. බැමිණිනියෝ ද උන් දැක සතුටු ව පියා හසුන් දෙකක අතුළ ඇතිරිලි එක හස්නෙක අතුට ලා ‘ස්වාමීනි, තිලී හුන මැනැවැ’යි කිවු ය. සක් දෙවිඳු ද ගෙට වැද ලා හෙරණ සතර නම පසඟ පිහිටුවා වැඳ ලා සතර නමට කෙළවර නිකම් බිම ම පලක් බැඳ ගෙන හුන්හ. ඒ දැක බැමිණිනියෝ බමුණානන්ට ‘අනේ තොපගේ බමුණානන්ගේ තරමක් බලව. තොපට පිය වන තරම් තැනැත්තෝ තමන් මුණුබුරු තරමුන්ටත් බාලයන් වඳිමින් සිටියෝ ය. දන් පසුවත් දී ගත හැක්ක. තෙල තමාගේ තරම් පමණක් නො දන්නා මාලු බමුණා ගෙන් පිටත් කරවයි කිවුය. කී කී දෙයක් ම කරනට සිටි කීකරු බමුණානන් හෙයින් අතත් බොටුවත් පිටි මුල ත් අල්වා නඟා සිටුවන්ට උත්සාහ කළත් නැඟී නොසිටිති.

බැමිණිනියෝ ද බමුණන් ගන්නා ආයාස බලා ‘තොපි එක් අතක් අල්වා ගනුව. මම ත් එක් අතක් අල්ලා ගනිමි. එ සේ කලට ගෙන් පිට ත් කොට හැක්කැ’යි දෙන්නා දෑත අල්වා ගෙන පිටට ගුටි බාමින් දොර කඩින් පිට ත් කළහ. සක් දෙවිඳුත් ආදි හුන් තැන ම හිඳ අත පෙරළා ලූ ය. බමුණු-බැමිණි දෙන්නා ම පෙරළා බැලුවාහු බමුණු වෙසින් ආ සක් දෙවිඳු ආදි හුන් තැනම හුන් නියා ව දැක හඬා මොරගා පියා අත හැර පූ ය. එ වේලේ සක් දෙවිඳු තමන් සක් දෙවිඳු නියා ව හැඟවූ ය. සපයා ලූ දන් සක් දෙවිඳු ඇතුළු වූ පස් තැනට ම දුන්හ. පස් තැන ම බත් හැර ගෙන එක් නමෙක් කැණි මඬල විනිවිද ගෙන ගියදෑ ය. එක් නමෙක් නැගෙන හිරි පල ය. හිරා ගෙන ගිය දෑ ය. එක් නමෙක් බස්නාහිරි පල ය හිරා ගෙන ගිය දෑ ය. එක් නමෙක් පොළොව කිමිද ගෙන ගිය දෑ ය. සක් දෙවිඳු ත් එක් අතකින් ගියහ. එවක් පටන් එ ගෙට ‘පස් සිදුරු ගෙය’යි කියති.

හෙරණුන්දෑත් වෙහෙරට ගිය කල්හි ගෙණෙහි හුන් වහන්දෑ, පවත් විචාළ සේක. හෙරණුන්දෑ ත් බැමිණියන් තමන්දෑ හැම දුටු වේලේ පටන් මුසුප්පු ව හිඳි කළ හසුන්වල හින්ද නුදුන් නියාව ත්, තමන් දෑ ලා බාල හෙයින් වැඩි මහලු වහන්දෑ සොයා එවූ නියාව ත්, වැඩි මහලු වහන්දෑට සැරියුත්-මුගලන් දෙනම ගෙන ගිය නියාව ත්, තමන්දෑ ලා හුන් නියාව බලා ඒ දෙ නම පෙරළා වැඩ පී නියාව ත්, පසු ව හෝම කරන තැනින් මාලු බමුණන් සොයා යවු තැන මාලු බමුණු වෙසින් හුන් ශක්‍රයන් ගෙන ගිය නියාව ත්, උන් දැක සතුටුව ආසන දෙකක ඇතිරිලි එක හස්නෙක අතුට ලා ඉඳිනට කී නියාව ත්, උන් ඊ නොහිඳ ම තමන්දෑ ලා වැඳ ලා, හසුන් කෙළවර බිම හුන් නියාව ත්, ඊටත් උරණව බමුණන් නො එක් ප්‍රයෝග කොට ත් ගෙන් පිටත් කරන්නා තබා නඟා සිටුවා ගත නුහුණු බවත්, පසුව දෙමාල්ලන් දෙ අත අල්වා ගෙන මරා තළා ගෙන් පිටත් කොට පියා පෙරළා බැලූ කලට සක් දෙවිඳු හුන් තැන ම හුන් නියාවත්, ඒ දැක අරුන් දෙන්නා බා ගිය නියාව ත්, සක් දෙවිඳු ශක්‍ර නියාව දැන පස් දෙනාහට ම බත් දුන් නියාව ත්, නැඟී ආ ලෙසත් කී දෑ ය.

ඒ අසා ‘උන් හැමට උරණ වූයේ ඇත් ද නැත් දැ’යි විචාරා උරණ නැතැ’යි කී කල්හි රහත් නියාවක් හඟවන්ට නැත්තක් කීව යි සිතා ගෙන බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා සතර නමගේ තරම් හඟවනු නිසා ‘මහණෙනි, යම් කෙනෙක් කිපිය වුන්ට නොකිපෙත් ද, හිංසා පීඩා කරන්නවුන්ට හිංසා පීඩා නො කෙරෙත් ද, දෘෂ්ටිග්‍රාහ වසයෙන් මම ය යි හෝ තෘෂ්ණා ග්‍රාහ වසයෙන් මාගේ ය යි හෝ ගැන්ම නැත් ද, උන් උත්තම ය යි කියමි. මුන් සතර දෙනා එ බඳු තරම් ඇති හෙයින් බැමිණිය කුමක් කළත් උරණ නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්‍ෂමාව නම් දස පැරුමෙන් එකක් හෙයිනු ත් පැරුම් පිරීම නම් උත්තමයන් නියම හෙයිනුත් තමා ත් උතුම් වන්ට සිතතොත් උතුම් ගුණෙයි පිහිටා ගත යුතු.