තව ද ශීල විශුද්ධියෙහි පිහිටියවුන්ට රහත් වීම නිරායාස නියාව හඟවන්ට පබ්භාරවාසී තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
උන් වහන්සේ බුදුන් ගෙන් කමටහන් ඉගෙන වලට පලා ගොසින් සැප සෙනසුන් බලන සේක් කටාර නැති ගල්තල්ලකට පැමිණි සේක. පැමිණි ඇසිල්ලෙහි ම සිතත් එකඟ වි ය. තැන රඳා හුනිම් නම් රහත් ව ගනිමී’ සිතූ සේක. ගල් තල්ලේ විමන් ඇති ව වසන දෙව් දූ ද, ‘සිල්වතුන් වහන්සේ මෙ තැනට පැමිණි සේක. මුන්වහන්සේ හා එක් ව වසන්ට ත් නො පිළිවන. මුන් වහන්සේ ත් මී ම රඳා හිඳිනට ආ සේක්ද? අද රෑ සැතපීලා වැඩ පියන සේකැ’යි සිතා ලා දරුවන් හැර ගෙන ගල් තල්ලෙන් ඉවත් ව ගත. තෙරුන් වහන්සේ ද දෙවන දවස් උදාසන ම ගොදුරු ගමට සිඟා වැඩි සේක් එක් වැඩි මාලු උපාසිකා කෙනෙක් දැක දරු පෙම් උපදවා ගෙන ගෙයි වඩා හිඳුවා ලා වළඳවා ලා වස් තුන්මස එහි වසන්ට ආරාධනා කළහ. උන් වහන්සේ මුන් මුල්ව භවයෙන් මිදී ගත හැක්කැ’යි වස් විසීමට කළ ආරාධනාව ඉවසාලා ගල් තල්ලට ම වැඩි සේක.
දේවතා දූ ත් ගල්තල්ලට ම වඩනා දැක ‘යම් කෙනකුන් ආරාධනා කළ නියා ය. ආරාධනාවට අද හෙට රඳා ලා වැඩ පියන සේකැ’ යි සිතූ ය. මෙ සේ සිතූ උන්ට දෙ පෝයක් විචර පලා ගියේ ය. ඉක්බිත්තෙන් දවසින් දවසට කල් යන නියාව දැක ‘වසු ත් මි ම වසන සේක් වන, දරු කම්කටුලත් ඇති බැවින් මුන් වහන්සේ හා එක් ව වසන්ට ත් බැරි ය. මුන් වහන්සේට ‘පලා ගිය මැනැවැ’යි කියන්ට ත් බැරි ය. මුන් වහන්සේගේ සිල්වත්කම කවර දෝ හෝ යි දිවසින් බලන තැනැත්තෝ මහණ වූ තැන් පටන් උපසම්පදා මාලක ය දක්වා ත් එවක් පටන් මෙ වකට ත් ධොත සඞ්ඛයක් සේ ශීලය නිර්‍මල නියාව දැන මුන් වහන්සේ සිල්වත් සේක. කිසි ලෙසකින් අයසක් උපදවා පියමි’යි උන් වහන්සේට උපස්ථාන කරන උපාසිකාවන්ගේ වැඩිමාලු පුතණුවන් ඇඟ ආවිෂ්ටව ලා කර අඹරා ලූ ය. ඇස් දෙක කකුළුවන්ගේ ඇස් සේ පිටතට නික්මිණ. කටින් කෙළ ධාරා ත් වැගිරෙයි.
උපාසිකාවෝ ත් එ දැක නුදුටු විරූ දෙයක් හෙයින් හඬන්ට වන්හ. දෙව් දූ ද නො පැනී සිට ‘මේ කෙළේ මම ය. බිලියමිනුත් මට කම් නැත. තොපගේ කුලුපග තෙරුන් වහන්සේගෙන් වැල්මී සුඟක් ඉල්වා ගෙන තෙලක් පිසගෙන ඒ තෙලින් තුලුන්ට නස්‍ය කරව. එ සේ කළා නම් හැර පියමි’ කිවු ය. උපාසිකාවෝ ඒ අසා ‘රැකෙත් ව යි, මියෙත් ව යි. මා ඔබ අතින් වැල්මී ඉල්වන්ට බැරි ය’යි කිවු ය. ‘ඉදින් වැල්මී ගරුතර ව තිබෙන හෙයින් ඉල්වන්ට බැරි වුවත් මුන්ගේ නාසයෙහි සුං සුඟක් ලා ලන්ට කියව’යි කිවු ය. ‘එයි ත් කියන්ට බැරි ය’යි කිවු ය. ‘එ සේ වී නම් උන් වහන්සේ පය සෝධවා පූ පැන් ඉසලව’යි කිවු ය. උපාසිකාවෝ ඒ පිළිවන් වේදැ යි වළඳන වේලාට වැඩි තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා කැඳ අවුළු පත් වළඳවා ලා බත් වලඳන තෙක් වැඩ හුන් තෙරුන් වහන්සේගේ පය සෝධා පැන් හැර ගෙන ‘ස්වාමීනි, මේ පා දෙව් පැන් මේ දරුවන්ගේ ඇඟ හිසිම්දැ’යි විචාරා ‘ඉසුව’යි වදාළ කල්හි එ විතරකු ත් විචාරා කළහ. දෙව් දූ එ වේලේ ම පහව පලා ගොසින් ලෙණ දොර කඩ සිටියා ය.
තෙරුන් වහන්සේ ත් වළඳා අන්තයෙහි හුනස්නෙන් නැඟී ශරීරාවයවයක් සේ කමටහන් අත් නො හරන හෙයින් කා ගියා සී කමටහන් මෙනෙහි කෙරෙමින් නික්මුණු සේක. ලෙන දොර කඩ කරා වැඩි කලට ඒ දේවතා දුව ‘වෙදාණෙනි, මුබ නො එව’ යි කිව. උන් වහන්සේත් එ තැනම රඳා සිට ‘තොපි කවුරු දැ’ යි විචාළ සේක. ‘මම මේ ගල් තල්ලේ වසන දෙව් දූ’යි කිවු ය. තෙරුන් වහන්සේ ත් ‘මා වෙද කමක් කළ තැනෙක් ඇත් දෝ’යි උපසම්පදා මාලකයෙහි පටන් බලන සේක් එබන්දක් නැති නියාව දැක ‘මා වෙද කමක් කළ නියාවක් මා නො දනු ත් තෙල ලෙස කුමක් නිසා කී දැ’යි විචාරා ‘නො දක්නා සේ ක් දැ’යි කී කල්හි ‘නොදක්මී කී සේක. ‘කියන්ට මැළි ය’යි කිව. ‘කියව’යි වදාළ සේක.
‘දුර කටයුතු තිබේව යි, ඒ මුඹ වහන්සේ සලකුණු ඇතැ’යි ත් නැත. උපස්ථාන කරන උපාසිකාවන්ගේ පුතණුවන්ට අබුද්ධි විකාර ඇති වූ තැන මුඹ වහන්සේ පය සේදූ පැන් උන් ඇඟට ඉස්සේ ඇත් ද නැත් දැ’යි කිව. ‘එ සේ ය, එ පමණක් කෙළේ ඇතැ’යි කී සේක. ‘එ සේ කල ඒ නුදුටු නියා දැ’යි කිව. ඒ නිසා කී නියා දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි තෙරුන් වහන්සේ මා සැරි නියා ව ඉතා ම යහපත. දේවතා දූ ත් මෙ තැනින් නෙරා ගන්ට මා ගෙන් වරදක් ම සොයන්නී මෙ විචරක්ම දුට. ඒ මේ වරදකු ත් නො වෙයි. මේ විතරක් දන්නී වරදක් වුව ත් දක්කි. මා රක්නා ගුණ දහම් ඉතා යහපත් නියා’යි බලවත් වූ ප්‍රීති ය ඔබට උපන. ප්‍රීති ය බලවත් ව යා නොදී ප්‍රීතිය විකඹා ලා භාවනා කෙරෙමින් සිටි පියෙහි ම සිට රහත් වූහ. ‘අප වැන්නවුන්ට මෙ බන්දක් උපදවා ලා මේ වන ලැහැබ තී රඳන්ට බැරිය. නික්මෙතත් තෝ ම නික්මෙ’යි කියන සේක්-
“විසුද්ධො වත මෙ වාසො - නිම්මලං මං තපස්සිතං,
මා ත්‍වං විසුද්ධං දූසෙසි - නික්ඛම පවනා ත්‍වං”
යි වදාළ සේක. එ සේ වදාරා වස් වැස නිමවා ලා බුදුන් ළඟට ගොසින් ‘කුමක්ද ඇවැත්නි, රහත් වූයේ ඇත් දැ’යි විචාළ කල්හි ඒ ගල් තල්ලේ වස් විසූවක් පටන් සියලු පවත් ම කියා ලා ‘ඇවැත්නි, තෙපි දේවතා දුව තෙල ලෙස කළ කල කිපුණෝ ඇත් ද’යි විචාළ කල්හි ‘නො කිපිණිමි’ කී සේක. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මූ තුමූ දේවතා දුවක කී කළ දෙයකට නො කිපුණුම්හ යි කියා තමන් රහත් නියාවක් හඟවතී’ කී සේක. බුදුහු අසා ඔබ රහත් නියාව හඟවන ‘සේක් ‘මහණෙනි, යම් කෙනකුන්ට මෙ බඳු කෙනකුන් දැක්ම නිසා ත් උන්ගේ පවත් ඇසීම නිසාත් උන් හා කථා නිසා ත් යම් කෙනකුන් සන්තක දෙයක් අනුභව කිරීම නිසා ත් කයින් කය පැහැරීම් නිසා ත් ආස්වාදයෙක් නැත් ද, ගිහීන් හා වුව ත් පැවිදිවරුන් හා වුවත් අල පත නෙළුම් පත ඔත් දිය සේ එක් වීමෙකු ත් නැත් ද, කිසිවෙකත් ඇලුම් නැති ව වෙසෙත් ද, එ බඳු තරම් ඇති ව පුතුන් පබ්භාරවාසී තිස්සයන්ට කවුරුන් කී කළ දෙයකට ත් උරණ කොයින් ද? එ හෙයින් ම උත්තමයහ යි කියමී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පබ්භාරවාසී තිස්ස තෙරුන් වහන්සේගේ තරම එවා ගෙන ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කටයුතු.