තව ද කර්‍ම බලයකින් අනුන් දස් වුව ත් තෘෂ්ණා දාසත්‍වයෙන් මිදුණාහු වී නම් එම යහපත් නියාව හඟවන්ට එක්තරා බ්‍රාහ්මණ කෙනකුන් ගේ වස්තුව කියමු.
කෙ සේද යත් -
ඒ බමුණානන්ගේ කොල්ලණු කෙනෙක් අනුන් දාසුන් මහණ කොට හැක්කැයි සිඛ පද නොපැනූ හෙයින් දුර පලා ගොසින් මහණ ව ගෙන අසුමස්සේ රහත් වන්ට නිසි පින් කළ හෙයින් රහත් වූහ. බමුණානෝ ද සොය සොයා හිඳිනෝ එක් දවසක් බුදුන් හා කැටි ව සිඟා යන්නා දැක වාසල ඇතුළේ දී ගසා අල්වා ගත්හ. බුදුහු දැක ‘තෙල කිම් දැ’යි විචාරා ‘කොලු හෙයිනැ’යි කී කල්හි’ බමුණ, තෙලේ බර උසුළා ඇවිද්ද නො හී බර බා තබා පිය’යි වදාළ සේක.
බමුණානෝ තමන් නුවණැති හෙයින් වදාළ බසින් ම රහත් නියාව දත්හ. ඒ නියාව දැන ‘එ සේ ම දැ’යි විචාළහ. බුදුහු ත් ‘ඵ සේ ම ය’යි වදාරා ලා උන්ට බණ වදාරන සේක් ‘බමුණ, යම් කෙනෙක් උදාවියෙන් පෙළන හෙයින් ස්කන්ධ භාර ය දුක් නියාව දනිත් ද, එ ලෙසින් දැන කඳබර බා තබා පු නම් කඳ බර බා තිබී මෙන් සව් කෙලෙසුන් කෙරෙන් දුරුව සිටියා වූ ඔහු උත්තම ය’යි කියමී’ වදාළ සේක. දේශනා කෙළවර බමුණානෝ සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් තෘෂ්ණා දාසත්‍වයෙන් මිදෙනු කැමැත්තො ත් පින්කම හැසිරෙන්ට උත්සාහ කටයුතු.