තව ද ක්‍රෝධ නො වීමෙහි ම අනුසස් දක්වන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වත කියමු.
කෙසේද යත් -
එකල මහ තෙරුන් වහන්සේ පන්සියයක් දෙනා වහන්සේ හැර ගෙන සිඟා වඩනා සේක් නාලක නම් බමුණු ගම මෑණියන් දෑ ගේ ගෙදොරට සිඟා වැඩි සේක. මෑණියන්දෑ ද ගෙයි වඩා හිඳුවා ලා වළඳවන ගමනේ පුතණුවන් වහන්සේට ‘ ඉඳුල් කා ඇවිදිනා තැනැත්තෙනි, ඉඳුල් පමණකුත් ලබන්ට නැති ව කබලක් හැර ගෙන සිඟා ගොසින් ඉඳුල් බත්ම ලබනු නිසා අසූකෙළක් වස්තුව හැර මහණ වුව. තොප හැම නිසා අපි ත් පරිභව ලබම්භ. නො කා හිඳුන, කව’ යනාදී කියා බෙණෙති. සෙසු වහන්දෑ ත් වළඳවන තැනැත්තෝ ‘තොප හැම දෙන අපගේ දරුවන් තොපට ම හැර ගත්තාවා ද? අපට උන් ගෙන් කිසි ත් ප්‍රයෝජනයක් නැත්තේ වේ ද, ‘කව කව’ යි කියා බෙණෙති. මහ තෙරුන් වහන්සේ පාත්‍ර ය පිළිගෙන ලා වේලාව ඇති බැවින් වළඳන්ට වෙහෙරට වැඩි සේක.
රහල් තෙරුන් වහන්සේ ද බත් වළඳන්ට බුදුන්ට ආරාධනා කළ සේක. බුදුහු ත් ‘රාහුලයෙනි, සිඟා කොයි ගියා දැ’යි විචාරා ‘ස්වාමීනි, අපගේ මුතුන් ලමන්දූන්ගේ ඔබ ය’යි කී කල ‘තොපගේ උපාධ්‍යායන්ට තොපගේ මුත්තණියන් කීයේ කිම් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, අපගේ මුතුන් ලමන්දු ඔබට බිණූ ය’යි කී සේක. ‘කුමක් කියා බිණූ දැ’යි විචාළ කල්හි බිණූ සැටි ය ම කිවු සේක. ‘තොපගේ උපාද්ධ්‍යායයන් ඊට කීයේ කුමක් දැ’යි වදාළ කල්හි බැණ නැඟි කුමකු ත් නැති නියාව කී සේක.
ධම් සෙබෙහි රැස් වූ වහන්දෑ ත් ඇවැත්නි, මහ තෙරුන් වහන්සේගේ සමාව ත් යහපත් නියා ය. මෑණියන්දෑ කෙලෙස බණත ත් මුසුප්පු පමණකු ත් නො වී ය’යි වදාළ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, රහතුන්ට ක්‍රෝධ නැත්තේ වේ දැ’යි වදාරා සම්ප්‍රාප්ත තැනට බණ වදාරන සේක් ‘යම් කෙනෙක් ක්‍රෝධයෙහි බොහෝ ආදීනව සලකා ක්‍රෝධ නො වෙත් ද, තම තමාට ප්‍රතිනියත වූ ධුතාඞ්ග පූරණයෙහි පවතිත් ද, පන්සිල් ආදියෙහි ත් පිහිටියෝ ද තෘෂ්ණා වසඟ නො වෙත් ද, අධිකයක් ම ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටියෝ ද, පශ්චිම භවිකයෝ ද, එ සේ වූවන් උත්තම යයි කියමී” වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් මෛත්‍රී නමැති ප්‍රළය මන්ත්‍රයෙන් මහ කෝ රකුස්සාගෙන් හා ක්ලේශෝපද්‍රවයෙන් දුරුවන්ට උත්සාහ කටයුතු.