තව ද මහ පිනැත්තවුන්ට වරද්දා කළ දෙයක් නො වරදන නියාව හඟවන්ට අක්කොසක භාරද්වාජ නම් බමුණානන් ගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
ඒ බමුණානන්ගේ ධනඤ්ජනී නම් බැමිණිනියෝ සෝවාන් වූහ. ඌ තුමූ කැස පියා ත් කිඹිස පියාත් පැකිල පියා ත් ‘සියපින් ලකුණු දරන්නා වූ නිකෙලෙස් වූ ඒ බුදුන් වඳිමි’යි කියති. ඌ එක් දවසක් බමුණානන් බත් කමින් හින්ද දී බත් ලන්ට යන ගමනේ පැකිල පියා එ ලෙසම බුදුන්ට නමස්කාර කළහ. බමුණානෝ ඒ අසා තමා මිථ්‍යාදෘෂ්ටික හෙයින් මුසුප්පුව ‘යන්තම් දෙයකටම මුඩු මහණාට නමස්කාර කෙරෙයි. බලා හිඳුව, දැන්ම ගොසින් ලා මහණ ගොයුම් හා වාද කෙරෙමි’යි කීහ. බැමිණිනියෝ ඒ අසා ‘තුන් ලෝ මුළුල්ල විමසා බැලුවත් ඔබ හා වාද කටහෙන කෙනකුන් අපට නොදැනෙයි බල, එකෙක් නම් වාද තබා ප්‍රශ්න විචාරව’යි කිවු ය.
බමුණානෝ ද බුදුන් කරා ගොසින් නො වැඳම එකත් පස් ව සිට ‘සත්වයෝ තුමූ කුමක් නසා සුව විඳිත් ද? කුමක් නසා පීමෙන් සෝක නැත්තෝ ද? කවර එක ධර්‍මයක් නසා පීමෙහි රුචි ඇත්තෝ දැ’යි විචාළෝ ය. බුදුහු ත් ‘යම් කෙනෙක් මාර්‍ග පරම්පරාවෙන් ගොසින් අනගැමි මගින් ක්‍රෝධ ය නසා පූ නම්, ඌ කාමරාග ය නැති හෙයින් සුවෙන් වෙසෙති. ඔහු ම සෝක නැත්තාහ. ශෝක කාරණ නැති හෙයින. හෙම්බල බමුණ, කරන අවස්ථාවෙහිදී සලකා ගත නොහීමෙන් යහපත සේ සිතෙත් මුත් පසුව බොහෝ අවැඩ එළවන්නා වූ ක්‍රෝධ ය පමණකු ත් නසා පීවොත් සෙස්ස නිරායාසයෙන් නැසිය හැකි හෙයින් තනි ක්‍රෝධ ය පමණක් නසා පීම යහපතැ’යි කියමි’යි වදාළ සේක. බමුණානෝ ද ඒ බණ අසා බුදු සස්නෙහි පැහැද මහණ ව රහත් වූහ.
අනිකුත් උන් වහන්සේගේ එම නම් වූ මලණු කෙනකුත් සුන්‍දරී භාරද්වාජ නම් මලණු කෙනකුත් බිළඞ්ගක භාරද්වාජ නම් වූ මලණු කෙනකුත්ය’යි මල්ලු තුන් දෙනෙක්ම බෑණන් වහන්සේ මහණ වූ නියාව අසා මුසුප්පු ව බුදුන්ට බණන්ට අවුත් ඔබගේ බණ අසා මහණ ව රහත් වූහ. මෙසේ සතර නම ම බුදුන්ට බණන්ට ගොසින් හැඳ පැකිළී තිල්ලේ හුණුවා සේ රහත් වූ කල්හි ධම් සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, බුදුන්ගේ ආනුභාවයක් බැලුව මැනව. සතර බෑයන් කෙලෙස බිණුව ත් ඇඟ අසුචි ගෑවන්ට උන් ඇඟ සඳුන් ගානා සේ උන්ට පිහිට වූ සේකැ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ත් ඒ මුල් ව බණ වදාරන සේක් ‘යම් කෙනෙක් මරන්නවුන්ට වත් බණන්නවුන්ට වත් නො කිපී ක්‍ෂමා පර බැවින් ඉවසත් ද එ ලෙසින් ක්‍ෂමා ඇත්තවුන් සියලු ගුණයට ම ආධාර වන බැවින් උතුම් කොට කියමි’ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්‍ෂමා පර වීමට උත්සාහ කටයුතු.