288, බමුණන් දෙන්නකු ගේ වස්තුව

star_outline

තව ද කවර බානු ත් සිඳීම් බිඳීමටත් වඩා තෘෂ්ණා බාන් සිඳීමටම උත්සාහ කටයුතු නියාව හඟවන්ට බමුණන් දෙන්නකු ගේ වස්තුව දක්වමු.

කෙසේද යත් -

ඒ බමුණන් දෙන්නාගෙන් එක් කෙනකුන්ගේ චුල්ලරොහිත නම් ගොනෙක් ඇත. එක් කෙනකුන්ගේ මහාරොහිත නම් ගොනෙක් ඇත. බමුණෝ දෙන්නාම එක් දවසක් තමන් තමන්ගේ ගොන් බල ඇතැ යි ඔවුනොවුන් හා විවාද කොට ගෙන ‘විවාද කිරීමෙන් කම් කිම් ද, බල විමසම්හ’යි අචිරවතී නම් ගඟ බඩදී ගැලක වැලි පුරා ලා ගොන් යොදා ලූහ. ඒ වේලාට වහන්දෑ ත් ගඟට නාන්ට ය යි වැඩි සේක. බමුණෝ ත් ගොන් බිණූහ. ගැල බර හෙයින් සැලීමක් නැති ව ම සිට පී ය. වියබාන් කැඩිණ. වහන්දෑ ද ඒ දැක වෙහෙරට ගොසින් බුදුන්ට දැන් වූ සේක. ‘මහණෙනි, හෙම්බා, තෙල රෑන බාන් සිඳිනට කය බල පමණිනුත් පිළිවන. නුවණ බලයකින් මුත් සිඳ ලිය නො හැක්කේ කෙලෙස් බාන් ම ය.

‘තොප හැම විසින් සුන මනා එ ම ය’යි වදාරා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් අනර්ථාවහ බැවින් පැවති ක්‍රෝධයක් බඳනා ලෙසින් පැවති තෘෂ්ණාවත් අනුසය සිතත් දෙසැට දෘෂ්ටිය ත් සිඳ ගෙන සව් කෙලෙසුන්ට මුල්ව සිටිනා අවිද්‍යාවත් නසාපු නම් චතුරාර්‍ය්‍ය සත්‍ය ය ප්‍රතිවෙධ ය කොට සිටියා වු උන්ට බ්‍රාහ්මණ ය යි කියමි’යි වදාළ සේක. දේශනා කෙළවර පන්සියක් දෙනා වහන්සේ කෙලෙස් බාන් සිඳ ගෙන රහත් වූ සේක. තවත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙළෙස් මළ බානකට පය නොලන්ට සිති ය යුතු.

__________